මේ කාලෙ ලෝකෙ පුරාම ස්ත්රීවාදී සිනමා රැල්ලක් වැඩ කරනවා. හැම ෆිල්ම් එකකම වීරත්වය ගැහැනියකට පැවරෙනවා.
ගොඩක් වෙලාවට ඒක අමු මැටි විදිහට සිද්ද වෙද්දි අතරින් පතර ඉතාම විශිෂ්ට විදිහට මේ වැඩේ කරන ෆිල්ම් හැදෙනවා. බර්ඩ් බොක්ස් ඒ වගේ එකක්. හොලිවුඩ් වැඩක්. සුසෑන් බියර් කියන ඩැනිෂ් ගෑනු ඩිරෙක්ටර් කෙනෙක්ගෙන්. ගොඩක් වෙලාවට මේ සංයෝගය ඉතාම හොඳට වැඩ කරන එකක්. යුරෝපියානු සිනමා ඇහෙන් හොලිවුඩ් සිනමා තාක්ෂණය අල්ලද්දි වැඩේ සුපිරි වෙනවා. මේ ෆිල්ම් එක පෝස්ට් ඇපොකැලිප්ටික් වර්ගයේ ත්රිලර් එකක්. ඒ කියන්නෙ ලෝක විනාසය පාදක කරගෙන හැදෙන වෙන චිත්රපටි කාන්ඩයේ වැඩක්. මේ එන විනාසයම මට දැනෙන්නෙ අලුත් ක්රියේටිව් සිතීමක් විදිහට. ඒක සිද්ද වෙන්නෙ ඇස්වලට නොපෙනෙන සත්ව වර්ගයක් අතින්. ඒ සත්තු පියවි ඇහෙන් දැක්කොත් ඒ අය එක එක විදි වලින් දිවි නහගන්නවා. ඇත්තටම මේ සතා කවුද? එක එක අය තම තමන්ගේ ඇතුලෙ ගිල්ට් එක මේ සතා හරහා දකිනවා. මේ අතර සැන්ඩ්රා බුලොක් කතා නායිකාව තාත්තෙක් නැති දරුවෙක් බිහි කරන්න බලන් ඉන්නවා. මුලු ලෝකෙම මේ විදිහට විනාස වෙද්දි මේ ගැබිනි මව ගැලවීම වෙනුවෙන් සටන් කරන්නෙ කොහොමද? මේ චරිතය හරහා ඉතාම දැනෙනසුලු විදිහට ගැහැණුකමේ ගැඹුරු හයිය නිරූපනය කරනවා කියල මට හිතෙනවා. ''ලෝකෙ ඉන්නෙ ජාති දෙකයි. එක ජාතියක් ඈස්හෝල්ස්ලා. අනිත් උන් මැරිලා'' ෆිල්ම් එක මැද්දෙ ජෝන් මැල්කොවිච් කියනවා.
''නෑ. තව ජාතියක් ඉන්නවා. ඒ අපි'' කියල සැන්ඩ්රා උත්තර දෙනවා.
චිත්රපටිය ඇතුලෙ ගැහැනුකමේ විවිධ පැතිකඩ විවිධ චරිත හරහා තියුනු කැපීමක් සහිතව අරන් එනවා. අන්තිමට ඇස් පේන මිනිස්සුන්ට මෙතෙක් නොපෙනී හිටිය මිනිස් කාන්ඩයක ආදරය ඉස්සරහ කතාව නතර වෙනවා. ජනප්රිය ලක්ෂන සියල්ලක්, ඉතාම ශූර පිටපතක් සහ දෙබස් ගොන්නක් එක්ක ඔලුව ඇතුලෙ තැන්පත් වෙන චිත්රපටියක් බර්ඩ්බොක්ස් ඇතුලෙ තියෙනවා. නෙට් ෆ්ලික්ස් තියෙනවා නම් බලන්න පුළුවන්. නැත්තං මේ වෙද්දි අනිවාර්යෙන්ම ඩීවීඩී එක ඇවිත් ඇති.
චින්තන ධර්මදාස