"සමහරු සටන් වදින්නේ ජයග්‍රහණය වෙනුවෙණි. සමහරු සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි. එහි දී නොසිතූ අරගලයන්ට මුහුණ දෙන්නට වෙයි. සමහරු විරුවන් ලෙස නම් කෙරේ. සමහරු ද්‍රෝහීන් ලෙස නම් වේ. ඉතිහාසය වැලලේ. මළවුන් නැගිටී. ඒ අතරින් සැබෑ මනුෂ්යයේ සුවඳට පණ එයි. එයින් ලොවක නිරුවත වසා දමයි. ගිලුහුණ ධජයන් යලිත් ලෙළදෙයි."
(ගින්නෙන් උපන් සීතල)
සිනමාව යනු අපගේ සංජානනය අප්‍රමාණ අයුරින් තීව්ර කරන භාෂවකි. කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ ඒ යකඩ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ කතාව "ගින්නෙන් උපන් සීතල" ලංකාවේ එක්තරා විප්ලවීය ඉතිහාසයක මතකය නැවත ප්‍රතිනිර්මාණය කළ සිනමා පටයකි. මාක්ස්වාදී විචාරකයන්ගේ අදහසට අනුව සාහිත්‍ය නිර්මාණය සමාජ සත්තාව පිළිබඳ සම්බන්ධ විය යුතුය. එය ඉතිහාසය, සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ දෘෂ්ටිමය ප්‍රකාශයක් වුවමනාය. කලාකරුවා ධනේශ්වර සමාජයට නොරිසි වූද පොදු මානව ගුණ මතු කරන්නා වූද අයෙක් බව ඔවුහු අදහති. පුද්ගල ජීවිතය සුපුෂ්පිත කිරීමට වුවමනා සතුරු බලවේග පෙරළා දැමීමේ ශක්තිය සද්කලාව තුළින් ලබා දෙන්නක් බවද ඔවුහු තිරසරව දක්වති.
අනුරුද්ධ ජයසිංහ විසින් "ගින්නෙන් උපන් සීතල" සිනමා පටය නිර්මාණය කර ඇත්තේ ද එම කාරණාව සිහිතබාගෙන දෝ යැයි මෙම සිනමා පටය නැරඹීමෙන් විටක සිතේ. සිනමාපට සාරංශය සැකවින් ඉදිරිපත් කරන්නේ නම් 6 වසරක සිර දඩුවමින් පසු නිදහස් වන විජේවීර යළි ක්‍රියාකාරී දේශපාලනයට එළඹෙයි. 1982 ක වර්ෂයේ ජනාධිපතිවරණයෙන් රටේ තුන්වන දේශපාලන බලවේගය බවට පත්වීමට විජේවීර සමත් වනවා. නමුත් 1983 දි ජනවාර්ගික ගැටුම් දඩමීමා කරගනිමින් ජනතා විමුක්ති ව්‍යාපාරය තහනම් කරයි. එම මර්ධනකාරී වාතාවරණය හමුවේ යටිබිම් දේශපාලනයක් ක්‍රියාත්මක කරන විජේවීරයන් සිය සගයන් සමඟ සිය ආරක්ෂාව පතා තැනින් තැනට සංක්‍රමණය වෙයි.
මේ අතරතුර ඔහුගේ දේශපාලන ක්ෂේත්රයේ මිතුරෙකුගේ නැගණිය චිත්‍රාංගනි හෙවත් පසු කාලීනව ඔහුගේ බිරිඳ හමුවන්නේ ද මේ කාල සීමාවේ දීය. ඇය මෙම විවාහයට අකමැත්ත පළ කළ ද පසුකාලීනව සිය සොහොයුරාගේ පෙරැත්ත පරිදි මෙම විවාහ යෝජනාවට කැමති වෙයි. ඒ සමඟම බිරිඳ සහ සිය දරුවන්ටත් තැනින් තැනට යාමට සිදුවෙයි. විටක යාල කැලයේ සැඟව සිටින විජේවීර රෝගාතුර වෙයි. ඉන් පසු මධ්‍යම කඳුකරයේ රහසිගත ස්ථානයක සැගව සිටින ඔහුට උපකාර කරනු ලබන්නේ වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳයි. 1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව නිර්මාණය වූ දේශපාලන තත්ත්වයන් හා උත්සන්න වූ මර්ධනයන් හමුවේ සන්නද්ධ ක්‍රියා මර්ගයකට අවතීරණය වූ විජේවීර පසුකාලීනව අත්අඩංගුවට පත් වෙයි.
සිනමා පටය තුළ වූ දෘෂ්‍යමාන අර්ථයට එහා ගිය ගැඹුරු අර්ථය කුමක් ද? විමසා බැලිය යුතුය. සිනමාපටය පුරාවට ඉස්මතු වී පෙනෙන්නේ ඔහුගේ දේශපාලන ක්‍රියාවලියට එහා ගිය කුටුම්බ රක්ෂාව යැයි විටක හැඟේ. දේශපාලනික, සමාජීය වශයෙන් විශාල පෙරළියක් ඇති කළ විජේවීරයන් පිළිබඳ අප පොතපතින් , හෝ වෙන යම් ක්‍රමයකින් අසා දැනගත් පරිදි නිර්මාණය වූ චරිතයට වඩා සිනමා පටය තුළ මතුවන්නේ ස්වාමියා සහ පියාගේ භූමිකාව නිරූපණය කරන මානුෂිය පුද්ගලයෙකි. චිත්‍රපටයේ බොහෝ අවස්ථාවල දී ඔහුගේ බිරිඳ ගැබ්බරය. දරුවෙකු අතින් වඩාගෙනය. විටක සිය පවුල කෙරෙහි අතිශය සංවේදී වන විජේවීර අත්අඩංගුවට පත් වන්නේ ද සිය දරුවන්ගේ ඉල්ලීමට අවනත වූ බැවිණි. යාල කැලයේදී කැලෑ ජීවිතය නුහුරු විජේවීර රෝගාතුර වෙයි. ඔහුව බලා ගනු ලබන්නේ ද සිය සඟයන්ය. ඇතැම් විට ඉතිහාසයේ විජේවීර ලෙස මවා තිබූ ප්‍රතිරූපය සිනමා පටය තුළ නිරූපිත මිනිසා හා සමපාත නොවී සැබෑ විජේවීරව හඳුන්වා දීමක් කිරිමට අධ්‍යක්ෂකවරයා උත්සහ දරා ඇති සේයකි.
කෙසේ වෙතත් රෝහණ විජේවීරගේ ජීවිත කතාවට එහා ගිය, එම විප්ලවීය අරගලයට නායකත්වය දුන් චරිතය ප්‍රතිනිර්මාණය කිරීම සැබෑවටම අභියෝගයකි. අනුරුද්ධ ජයසිංහයන් එම අභියෝගය ජය ගැනීමට යොදාගත් තෝරා ගැනීම අති සාර්ථකයි කීම අති ශෝක්තියක් නොවේ. රෝහණ විජේවීරයන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ කමල් අද්දරආරච්චි ය. ඔහු එම චරිතයට කළ සාධාරණත්වය පිළිබඳ ප්‍රවීන ගීත රචක නිලාර් එම්. කාසිම් සිය මුහුණු පොතේ සටහන් තබා තිබූ දෙයට මා තුළ ඇත්තේ එකඟතාවයකි. එනම් සිනමා පටය තුළ "රෝහණ විජේවීරව දුටිමි. කමල් අද්දරආච්චිව නොදුටුවෙමි." යන්නයි. කමල්ගේ රංගන හැකියාව තවත් තීව්ර කිරීමට අංග රචන ශිල්පි නාරද තොටගමුව ගෙන ඇති වෑයම ප්‍රශන්සනීය වේ.විජේවීරයන්ගේ බිරිඳ ලෙස රංඟන දායකත්වය ලබා දෙන සුලෝචනා වීරසිංහයන්ගේ රංඟන කුසලතාවය ද ඊට නොදෙවිනි නොවන බව කිව යුතුමය.
සිනමාව යනු තාක්ෂණය තුළින් බිහිවන කලාවක් වුවද එහි හෘදයාංගම ලකුණු ඔහු විශ්ලේෂණය කරයි. අනුරුද්ධ ජයසිංහ විසින් ද දැන හෝ නොදැන විජේවීරයන් තුළ සැඟවුණ මානුෂීය බව ඉස්මතු කරගැනීම සිනමා පටය තුළින් නිරූපණය වේ. එමගින් දේශපාලන දර්ශනය ඉක්මවා විජේවීරයන්ගේ කුටුම්බ ජිවිකාව ඉස්මතු වනවා යැයි එකවරම කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් අනුරුද්ධ ජයසිංහයන්ගේ සිනමා රූපනය තුළ ඉන් එහා ගිය යටි පෙළ අරුත් බොහෝ බව සිනමා පටය එකින් එක කඩා වෙන් කර බැලීමේ දී ප්රත්යක්ෂ වනු ඇත. එම කරුණු සාක්ෂාත් කරගැනීම සඳහා අධයක්ෂකවරයා භාවිත උපක්‍රම බොහෝය. සංස්කරණය, ආලෝකකරණය, සංගීත භාවිතය, දෙබස් සහ චරිත නිරූපණය ආදීය ඒ අතරින් ඉස්මතු වේ.
විජේවීරයන්ගේ ජීවිත කතාව තුළ ඔහු ක්‍රියාත්මක කරන ලද දර්ශනය සම්පූර්ණයෙන් පැයක දෙකක කාල සීමාවක් තුළ ඉදිරිපත් කිරීම ඇත්තෙන්ම අපහසුය. නමුත් ප්‍රබල දෙබස් භාවිතය තුළ එම දර්ශනය කියවා ගැනීමට අධ්‍යක්ෂකවරයා ප්‍රෙක්ෂකයාට නිදහස දී තිබේ. උදාහරණ ලෙස ගතහොත් අරගලය තුළ සිය සගයන් සන්නද්ධ ක්‍රියාමර්ගයකට සිය බලය පාවිච්චි කිරීමට බල කරන මොහොතක විජේවීරයන්ගේ උත්තරය වන්නේ "මේක ප්රජාතන්ත්රවාදයෙන් ඒකාධිපතිවාදය පරද්දන උපක්‍රමයක්." යන්නයි. තවත් විටක "ලංකාවේ සිදුවිය යුතු විප්ලවය තුළ අපි බලපොරොත්තු අත්හැරලා නෑ. ඒ නිසා අවස්ථානුකූලව අපට තීන්දු තීරණ ගන්න වෙනවා." / " To save our mother land the only remedy socialism." වැනි ප්‍රබල දෙබස් භාවිතයක් දක්නට ලැබේ. අරගලයේ අවසාන මොහොත ලංවන විට රථය ගමන් ගත යුත්තේ කුමන මාර්ගයේ දැයි විමසන විට ඉදිරිපත් කරන දෙබස ද එවැන්නකි. ඒ "සහෝදරයා අපි කොයි පාරෙන් ද යන්නේ ? කොයි පාරෙන් ගියත් වැටෙන්නේ එකම පාරට." යන්නයි.
නදීක ගුරුගේ සංගීත භාවිතය ද සිනමා පටයට සාධාරණයක් එක් කළ බවක් පෙනෙන්නට තිබේ. මීට දශක කිහිපයකට එහා සිදු වූ අඳුරු අතීතය දෘෂ්‍යමාන කිරීමේ දී එහි තාත්වික බව ගෙන ඒමට සංස්කරණ හා ආලෝක ප්‍රයෝග භාවිතය කිරීමට ගෙන ඇති උත්සහය තරමක් සාර්ථක බවක් පෙනේ. කැමරාකරණය සම්බන්ධව සිනමාපටය තුළ විශාල සාධනීය පැතිකඩක් සහ ලාංකිය සිනමාවේ වර්ධනය පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇති කරගැනීමට මෙම සිනමා පටය පෙන්වා දිය හැකිය. එසේ කිවහැක්කේ සිනමාපටය පුරාවට ධනුෂ්ක ගුණතිලකගේ කැමරාකරණයේ සාධනිය ලක්ෂණයන් ඉස්මතු කරන බැවිනි. නමුත් මෙම සිනමා පටය තුළ අනුරුද්ධ ජයසිංහයන්100% ක් අති සාර්ථකයි කිව නොහැකිය. සිනමා පටය තුළ විටක අලස බවක් මතුවන්නේ තිර පිටපත තුළ වඩාත්ම අවශ්‍යම දර්ශන පමණක් චිත්‍රපටය තුළ ගලපාලීමට තවත් උත්සාහ නොගත් නිසා දෝ යැයි සිතේ.
නමුත් සිනමාපටය අවසානයට එන විට ප්‍රේක්ෂකයා සංවේදී කිරීමට අධ්‍යක්ෂකවරයා පොහොසත් වී ඇති අතර අවසානයේ දී ප්‍රේක්ෂකයාට සිතීමේ ඉම විවර කර සංකේතාත්මක අවසනයක් කරා අධ්‍යක්ෂකවරයා රැගෙන යයි. ඒ විජේවීරයන් අවසන් ගමන යන්නේ නොනවතින රථයේ දැඩි වර්ෂාව මැදින්ය. විජේවිරයන්ගේ ගමන අතිශය දුෂ්කර කටෝර මාවතකි. මෝටර් රථයේ දී ඔහු ඒ ගමන් කරන්නේ ඔහුගේ ඉරණම් ගමනය. ඔහු රථයෙන් බැස්ස ද රථය නොනැවති ගමන් ගනු ඇත. "අප මරා දැමුවද අප නැගු හඩ සදා නොමියනු ඇත. " සටහනින් සිනමා පටය අවසන්වේ. විජේවීරයන් නැවතුන ද ඔහුගේ දර්ශනය නැමැති මාර්ගය නොනවතින සේයකි. සිනමාපටය අවසන් විය. නමුත් ශාලවෙන් එළියට එනතුරුත් එක් ගීතයක් නිරායාසයෙන්ම තොල් මැතුරුමක් විය.
" යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇණ ඇඟිලි තලා - දෙතිස් වදය පමුණුවන්න .....
අලුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.... "
- ප්‍රබුද්ධිකා රත්නායක -
ප්රබුද්ධ