“අනුන්ගේ ගෑනු එක්ක බුදිය ගත්තම යකෝ මිනිස්සුන්ට සිෆිලිස් වගේ සමාජ රෝග හැදෙනවා කියලා උඹ දන්නවා. ඒ වගේ දැනගනින් අනුන්ගේ නිර්මාණ මංකොල්ල කන්න එපා."
නිලේන්ද්‍ර දේශප්‍රියගේ උපන් දිනය දා මම මෙවැනි සටහනක් ලියා ඔහුගේ අත තැබීමි.
‘චිත්රපටකරුවෙකු වෙලා මැරෙනවා ද? නිකම් ම නිකම් කවන්ධයක් වෙලා උඹ මැරෙනව ද?‘
මමත්, ලක්සිරි වික්රමගේත් නිලේන්ද්‍රට චිත්රපටකරුවෙකු වෙයන් යැයි කියා බොහෝ කාලයක සිට වද දුනිමු. චිත්‍රපට සියයක් පමණ සහය අධ්‍යක්ෂණය කළ මේ නිර්මාණශීලි මිනිසා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කිරීමේ සිහිනය ඔහුට වදයක් වන තරමට ම අපි වද දුනිමු. සිරස සුපර් ස්ටාර් පළමු අදියර අවසන් වූ දා රාත්‍රියේ අප පවුල් තුනක සාමාජිකයෝ පාන්දර ජාමයේ එක වහලක් යට හමු වී සිහින පිළිබඳ සාකච්ඡා කළෙමු. මගේ පවුලේ සාමාජිකයෝ ද ලක්සිරි වික්‍රමගේ ගේ නිවසේ සාමාජිකයෝ ද නන්දන වික්‍රමගේ ගේ නිවසේ දී එදා සිහින දැක දැක නිදි වැරූමු. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන බව ලක්සිරි එදා පැවසී ය. රංගාභිෂේකය නමින් තවත් රියැලිටි ෂෝ එකක් ආරම්භ කරන බව නිලේන්ද්‍ර අපූරුවට එදා පැහැදිලි කළේ ය. පසුව සිරස කුමරිය නමින් අනාථ කොට විනාශ කරන ලද්දේ නිලේන්ද්‍රගේ එම සංකල්පයයි. රංගාභිෂේකය වෙනුවෙන් මමත්, අනෝජා වීරසිංහත්, ස්වර්ණා මල්ලවආරච්චිත්, පූර්ව ප්රචාරක පටවල පෙනී සිටියෙමු. රූපවාහිනී වැඩසටහනකින් චිත්‍රපටයක් කිරීමේ සංකල්පය නිලේන්ද්‍ර එදා පැහැදිලි කළ අතර සුපර් ස්ටාර් දෙවන වාරය අවසන් වූ සැණින් නිලේන්ද්‍ර එම චිත්‍රපටයේ වැඩ ආරම්භ කළේ ය.
මේ කාලයේ මම ද වාණිජ චිත්‍රපටයකට දායක වීමේ අලුත් ගැබ්බර වේදනාවකින් පෙළෙමින් සිටියෙමි. දිනක් හදිසියේ ම සුසාර දිනාල් කලබලයෙන් මට කතා කළේ ය.
‘උපුල් අයියේ, මට ඔයාව ඉක්මනින් හමුවෙන්න වෙලාවක් දෙන්න’ යැයි ඔහු කීය. මම නගර ශාලාව ආසන්නයේ සිටි නිසා 'ODEL එකට එන්න’ යැයි කීවෙමි. ODEL හි ෆුඩ් කෝට් එකේ පැත්තක වාඩි වූ මම ඔහු එන තෙක් බලා සිටීමි.
‘උපුල් අයියේ, මට ඩාන්සින් ස්ටාර් ගැන ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලියලා ඕන. සිංදු හයක් ඕන. ඒ වෙනුවෙන් ඔයාට ලක්ෂ 10 ක් ගෙවනවා. මම ඉක්මනින් චිත්‍රපටය කරන්න ඕන’ යැයි සුසාර කීවේ ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය දැයි සුසාරගෙන් මම විමසීමි. මේ අවස්ථාවේ අප අසලින් යමින් සිටි මංජු ගුණවර්ධන තමාගේ ජංගම දුරකතනයෙන් අපගේ ඡායාරූපයක් ගත්තේ ය. මංජු ෆේස්බුක් ආවේ මාක් සකර්බර්ග්ටත් පෙර දී යැයි සිතෙන තරමට හේ තාක්ෂණයෙන් අප විස්මලන මිනිසෙකි. මගේ ප්‍රශ්නයට පිළිතුර ලෙස චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මම යැයි සුසාර කීවේ ය. ‘උඹට පුළුවන් ද බං චිත්‍රපට කරන්න’ යැයි මා කී විට සුසාර කීවේ ‘නෑ නෑ අරුණ ඉන්නවනේ. අපේ අරුණ ජයවර්ධන. මිනිහා ෆිල්ම් කෝපරේෂන් එකේ කෝස් එකක් කරලා ඉන්නේ. සුමිත් ඉන්නවනේ කැමරා කරන්න. ඉතිං සිම්පල් නේ’ කියා ය. මම ඔහුට නිශ්චිත ව කිසිවක් නො කියා මේ යෝජනාව පිළිබඳ නිලේන්ද්‍ර දේශප්‍රියට කීවෙමි. තිරනාටකය ලියන ලෙසත් ඒ සඳහා ඔහුගේ අද්දැකීමෙන් අවශ්‍ය උදව්වක් ඇත්නම් එය ඉටු කරන බවත් නිලේන්ද්‍ර කීවේ ය. නිලේන්ද්‍ර සිරස හැර යන්නේ හෝ කිලී මහරාජා සිරසෙන් නිලේන්ද්‍ර හරවන්නේ මේ කාලයේ ය.
තිරනාටකයක් ලිවීමේ මගේ වසර පහළොවක පමණ ආධුනික උත්සාහයන් පිළිබඳ ව මම නාමල් ජයසිංහට කීවෙමි. එයට හේතුව මා පූර්වයෙන් ලියු තිරනාටක යැයි හැඟෙන කිසිවක් සාර්ථක නැතැයි මට සිතුණු නිසා ය. තිරනාටකයක් ලිවීමේ මගේ වත්මන් ගුරුවරයා වන්නේ ද නාමල් ජයසිංහ ය. නාමල්ගේ මේ මොහොතට මඳක් ඔබ්බෙන් ඇති මිනිස් ජීවිත සංවාදයට කැඳවන විශිෂ්ට තිරනාටක මා පිස්සු වට්ටවා තිබූ හෙයින් නිවැරදි ව තිරනාටකයක් ලියන’යුරු මම නාමල් ජයසිංහගෙන් ඉගෙන ගතිමි. රටේ බොහෝ දරුවන්ට සිංහල උගන්වා ඇති මට සිංහලෙන් තිරනාටකයක් ලියන අයුරු ඉගැන්වූයේ නාමල් ය.
පසු දින මැදියම් රාත්‍රියේ දී ඩාන්සින් ස්ටාර් තරු ලියක් ද රැගෙන සුසාර මත්තේගොඩ මගේ නිවසට ආවේ ය. ඔවුන් දෙදෙනා පසුපසින් අරුණ ජයවර්ධන ද ආවේ ය. 'මෙයා තමා ප්‍රධාන නිළිය. ඔයාට පෙන්නන්න එක්කන් ආවේ’ යැයි කියමින් සුසාර තරුණ කාන්තාවක් මට හඳුන්වා දුන්නේ ය. මා ඩාන්සින් ස්ටාර් වැඩසටහන අඛණ්ඩ ව නරඹා නො තිබුණු හෙයින් එහි වී.සී.ඩි පට කිහිපයක් ද ඔහු මා අත තැබුවේ ය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම පිළිබඳව විවිධ කතන්දර එදින රාත්‍රියේ දී මම සුසාරට කීවෙමි. ඉන්පසු ව තිරනාටකය පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කළෙමි. තිරනාටකයක් යනු නිශ්චිත නිවසක් ගොඩනැඟීමේ සැලැස්මක් වන හෙයින් සැලැස්මට පිටින් පලංචි ගහන්නට, ඇණ ගහන්නට, බිත්ති වෙනස් කරන්නට, වහලවල් බාන්නට, පාට ගාන්නට, හැඩය වෙනස් කරන්නට බාස්ලාට ඉඩ දිය නො හැකි බවත් මම ඉතා කැපවීමෙන් මහන්සියෙන් නිර්මාණය කරන මේ තිරනාටකය විනාශ නො කර චිත්‍රපටය කිරීමට සුසාර එකඟ ද යන්නත් විමසීමි. චිත්‍රපටයේ කතා සාරය කියූ පසු ඔහු කීවේ ‘පිස්සු හැදෙනවා නියමයි’ යනුවෙනි. චිත්‍රපටයේ චරිත පිළිබඳව කෙටි හැඳින්වීමත්, සෙසු චරිතත්, කතා සාරාංශයත්, දර්ශන තල පිළිබඳ හැඳින්වීමත් මුලින් ලබා දිය හැකි බව ද මම කීවෙමි. එවිට චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බවට ද ඔහුව දැනුම්වත් කළෙමි. දෙසතියකට මා මැලේසියාවේ නිවාඩුවකට යන බවත් එම නිවාඩුව මෙම කාර්යය වෙනුවෙන් වැය කළ හැකි බවත් කීවෙමි. ජුනි මාසයේ දී මගේ පන්තිවල ඉගෙන ගන්නා වූ දරුවන්ට ද ඩාන්සින් ස්ටාර් රූපවාහිනී වැඩසටහන තේමා කරගෙන මම තිරනාටකයක් කරන බව ප්‍රසිද්ධියේ කීවෙමි. තිරනාටකයේ තේමාව පිළිබඳ දීර්ඝ ව සමන් වික්‍රමාරච්චි මහතාට ද කීවෙමි.
‘ඔය තේමාවට අදාළ නැතත් ඔය වගේ නන්නත්තාර පිරිසකගෙන් එන තරගකාරී ස්ත්‍රී චරිතයක් ගැන කියවෙන නිසාත් මිලියන් ඩොලර් බේබි චිත්‍රපටයත් බලන්න’
යැයි ඔහු උපදෙස් දුන්නේ ය. මම මේ පිළිබඳ ව නිර්මාණාත්මක චිත්‍රපට විචාරකයෙකු වන ප්‍රියන්ත ජයරත්නට ද කීවෙමි. ඔහු එම ආරංචිය මගේ පශ්චාත් උපාධි ගුරුවරයා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාට සැල කොට තිබිණි. ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහාචාර්යතුමා පවසා තිබුණේ
‘මහ ඇමතිකම ඉල්ලන්න ගියා වගේ ම මෝඩ වැඩක්’ යැයි කියා ය.
මම මගේ බිරිඳත් දරු දෙදෙනාත් සමඟ 2008 අගෝස්තු මුල් සතියේ මැලේසියාවේ සංචාරයකට ගියෙමි. මැලේකා නගරයේ ෆමෝසා හෝටල් සංකීර්ණයේ සතියකට වැඩි කාලයක් ගත කර ඉන්පසු මැලේසියාවේ ජෙන්ටින් හයිලන්ඩ්වලට පැමිණියෙමි. ෆමෝසා හෝටල් සංකීර්ණයේ දෛනික කාර්යයක් ලෙස සැම රාත්‍රී කාලයක ම Cowboy Town යනුවෙන් නම් කළ වෙනම ම බිම් තීරුවක අපූරු සංදර්ශනයක් පැවැත්වෙයි. සුසාර යෝජනා කළ චිත්‍රපට තේමාව පිළිබඳ පරිකල්පනයේ වද විඳිමින් සිටි මම මේ තිරනාටකය Cowboy Town යනුවෙන් නම් කළෙමි. මම සති කිහිපයක් ටියුෂන් පන්ති නිවාඩු දමමින් ද තිරරචනයේ වැඩකටයුතු සඳහා සහයට කීපදෙනකු යොදා ගනිමින් ද දිනපතා එය සුසාර දිනාල් වෙත ෆැක්ස් කළෙමි. මෙම තිරනාටකයේ A4 ප්‍රමාණයේ පිටු තුන් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ඉන් ඔබ්බේ නිර්මාණය විය යුතු ජවනිකා පිළිබඳ සාරාංශයක් ද දෙමසක් ඇතුළත සම්පූර්ණයෙන් ම සුසාරට ලබා දුනිමි. චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්ට ලැබුණු මගේ තිරනාටකය පිළිබඳ ඔවුහු බොහෝ ප්‍රශංසාවෙන් කතා කළෝ ය. මුහුරත් උළෙල පැවැත්වූයේ කිලී මහරාජාගේ ප්‍රධානත්වයෙන් බ්‍රේබෲක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාලයේ දී ය. මුහුරත් උළෙල පැවැත්වූ දින ආධුනික නළු නිළියන් සමඟ රවීන්ද්‍ර රන්දෙනිය ද උළෙලට සහභාගී විය. තිරනාටකය පිළිබඳ තොරතුරු දැනගත් රවීන්ද්‍ර රන්දෙනිය එය අගය කරමින් කතා කළේ ය. මුහුරත් උළෙලට පැමිණි පිරිස ඇමතු සුසාර දිනාල් පැවසුයේ තිරනාටකයේ සියයට අනූවක් පමණ අවසන් කර ඇති බවත් ආන්දෝලනාත්මක චරිතයක් වූ සන්නස්ගල එය මැනවින් ඉටු කළ බවත් ය.
චිත්‍රපටයේ අවසාන දර්ශන තුනක් හැර සියල්ල පිටපත් කළ පසු මමත් සුසාර දිනාලුත් අරුණ ජයවර්ධනත් කැමරා ශිල්පී සුමිත් ප්රසන්නලාල් සමඟ ජයික් හිල්ටන් හෝටලේ පහත මාලයේ වට මේසයකට වී තිරනාටකය පිළිබඳ අවසන් සාකච්ඡාව ආරම්භ කරමින් සිටියෙමු. චිත්‍රපටයේ අවසාන ජවනිකා තුනෙහි තිරපිටපත ලැබෙන්නේ කවදා දැයි සුසාර විමසීය. පසු දින සවස් වන විට එය ලබා දෙන බවත් එවිට තිරනාටකය සම්පූර්ණ බවත් මම කීවෙමි. සුසාරත් මමත් මුහුණට මුහුණ ලා කරන සාකච්ඡාවට මුහුණ දිය නො හැකි බැවින් දෝ අරුණ සහ සුමිත් මහත් අපහසුවකින් වෙනතක් බලාගෙන හෝටලයේ සිරි විසිරි නරඹමින් වෙනත් විෂයක්, වෙනත් මාතෘකාවක් සමඟ අසීරු ව්‍යාජ සම්බන්ධයක පැටලී සිටිනු දුටිමි. සැර මත්පැන් පානයක් සඳහා සුසාර කළ යෝජනාව මම තැන්ක් යූ කියා ප්‍රතික්ෂේප කළෙමි. රාත්‍රිය නිදි වරාගෙන තිරනාටකයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට සැර මත්පැන් මත බාධාවකැයි ද කීවෙමි.
“උපුල් අයියේ, අපි හෙට උදේ ෂූටින් පටන් ගන්නවා. ලොක්කා කිව්වා වැඩේ ඇදෙනවා ඉක්මන් කරන්න කියලා”
යැයි සුසාර යටහත් පහත් ලෙස සහ ලොක්කාගේ අදහසක් ඉදිරිපත් කරන විධායක ස්වරයෙන් කිවේ ය. ලොක්කා යනු කිලී මහරාජා ය.
“ස්ක්‍රිප්ට් එකවත් ඉවර කරන්නේ නැතුව කොහොමද ෂූටින් පටන් ගන්නේ”
සුසාර හැරෙන අත නො දැන මම පිළිවිසිමි.
“ඔයාගේ ස්ක්‍රිප්ට් එක නියමයි. හැබැයි ඒකෙ සමහර සීන්ස් අපි අයින් කළා. ඔයාගේ එකට පැරලල් ස්ක්‍රිප්ට් එකක් අපිත් දිගට ම ලියාගෙන ගියා”
යනුවෙන් ඇඟට පතට නො දැනී කියමින් ම සුසාර මත්පැන් වීදුරු කීපයක් ළඟ ළඟ ම කටේ හලා ගත්තේ ය. සුසාරගේ අම්මා ද අප්පා ද බිරිඳ ද සොර අඹුවන් ද නෑදෑයන් ද හත්මුතු පරම්පරාව ද පාවා දෙමින් අමු තිත්ත කුණුහරුපයෙන් මම සුසාරට බැන වැදීමි. හද්දා පිටිසර ගමේ මෝඩ චණ්ඩියෙකු මෙන් ජයික් හිල්ටනයේ පහත මාලය දෙදුරුම් කන්නට කෑගැසීමි .
“අනුන්ගේ ගෑනු එක්ක බුදිය ගත්තම යකෝ මිනිස්සුන්ට සිෆිලිස් වගේ සමාජ රෝග හැදෙනවා කියලා උඹ දන්නවා. ඒ වගේ දැනගනින් අනුන්ගේ නිර්මාණ මංකොල්ල කන්න එපා. මගේ බුද්ධිමය ශ්‍රමය මංකොල්ල කෑවට තොගේ අම්මට... ... .”
යනුවෙන් ජාතක අවජාතක නො හික්මුණු අශිෂ්ට කතා කියමින් මම කෑගසන්නට වීමි. මේ ලියන මොහොතේ මගේ හැසිරීම ගැන මටම ලජ්ජා සහගත ය. සිවිලයිස් වී නැති කපටි තක්කඩියෙක් ඉදිරියේ සංයමයේ ශිෂ්ටකම පෙන්වීමට සන්න්සගලගේ ජීවිතය ඇතුළේ හුස්ම ගන්නා ගෝනමඩිත්තේ පොඩි එකා ඉඩ දුන්නේ නැත.
“උපුල් අයියා ඉවසන්නකෝ“
යනාදී වූ අර්ධ මනුෂ්‍ය කටහඬකින් සුසාර මගේ ආවේගය නිවන්නට උත්සාහ කළේ ය. අරුණ ජයවර්ධනත් සුමිත් ප්රසන්නලාලුත් ඒ මොහොතේ එක් වචනයකුදු කතා කළේ නැත. මිත්‍රවරුනි; මේ මොහොත ඔවුන් දෙදෙනා කතා කළ යුතු යැයි සිතමි.
එතැන් පටන් මාස ගණනක් යන තෙක් මා රැවටුණු බව මා ඇන්දුනු බව සහ සිනමාවට ඇති මගේ අප්‍රමාණ ආශාව හැම විට ම කලකිරීමකින් අවසන් වීම පිළිබඳව පශ්චාත්තාප වෙමින් පසු වීමි. ඔවුහු සිහින සැබෑ කරගත්තෝ ය. මිනිසා හැම විට ම අමාරුවේ වැටෙන්නේ තමන් වඩාත් ආශා කරන දෙයට පමණට වඩා ලොල් වීම හේතුවෙනි.
සිනමාවට සම්බන්ධ ව රඟපෑමේ, චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ ලස්සන සිහින සුන්නද්දූලි වූ කාලයක මගේ ආශාව දඩමීමා කරගෙන මගේ කාලයත් ශ්‍රමයත් ධනයත් මහ දවල් ප්‍රසිද්ධියේ මංකොල්ල කෑ ‘ඩේ ලයිට් රොබරියේ’ ප්‍රධාන චූදිතයා වූ සුසාරට විලාප තබමින් හඬමින් කෑගසමින් මම නිරන්තරව සාප කරන්නට වීමි. අවසානයේ දී සුසාර මට තර්ජනය කළේය.
“අපේ මීඩියා එකෙන් විමල් වීරවංශටත් මර්වින් සිල්වාටත් ගහපු ගැහිල්ල ඔයා දන්නවා නම් මීට පස්සේ මට විරුද්ධව කට අරින එකක් නෑ“ සුසාර කීවේ ය.
මම සිරසේ වැඩ කරන මිතුරන් යැයි විශ්වාස කරන එස්. එම් මරික්කාර්ටත්, චන්දන සූරියබණ්ඩාරටත්, සුසිල් කිඳෙල්පිටියටත් තවත් බොහෝ දෙනාටත් සුසාරගේ තර්ජනය පිළිබඳ ව රිපෝර්ට් කළෙමි. කිසිවෙකු තව ම කිසිවක් ඩිසයිඩ් කළේ නැත.
ඉනික්බිති ව සුසාර මට කතා කළේ මගේ හෘද සැත්කමෙන් දෙසතියකට පසුව ය. සුසාරගේ කටහඬ ඇසුණු සැනින් මගේ පපුවට දමා තිබූ මැහුම් ගැලවෙන්නට තරම් වේදනාකාරී කෝපයකින් මම නැවතත් බැන වැදුනෙමි.
“උපුල් අයියේ ඔයා කතා කරන්නේ මං ගැන වෛරයකින්“
සුසාරගේ නිවුණු කපටි කටහඬ ය.
“පකයෝ වෛරය දැනෙන්නේ බඩු අයිතිකාරයට. හොරකං කරපු වේසිගේ පුතාට කොහොමද වෛරය දැනෙන්නේ" මම කෑගැසීමි. මම නැවතත් පරණ ගොන්කම කළෙමි. අතීතයේ මා සමග පසමිතුරු වූ බොහෝ දෙනා නැවතත් මගේ ඇසුර ප්‍රිය කොට මා වෙත එති. මම අසිහියෙන් නැවතත් ප්‍රතිප්‍රහාරයේ ම කුණුරස විඳිමි. පසමිතුරෝ බෝ වෙති.
රත්මලානේ ස්ටයින් මැදිරියේ පැවති වික්ටර් රත්නායකගේ ප්‍රසංගයක අමුත්තකු ලෙස සහභාගී වන්නැයි මරික්කාර් මට ආරාධනා කළේ ය. මමත් මගේ බිරිඳත් ප්‍රසංගය නැරඹීමට ගියෙමු. ප්‍රසංගය අවසන කාර් පාක් එකට එද්දී සුසාර මැදිවිය ඉක්මවූ මාතාවක් සමග රථගාල පැත්තට එමින් සිටියේ ය. මඟ හරස් කළ මම,
“කාගේ හරි ස්ක්‍රිප්ට් එකක් හොරකම් කරලා ආයේ ෆිල්ම් එකක් කරන්නේ නැද්ද සුසාර..” යැයි විමසීමි.
“උපුල් අයියා මේ මගේ අම්මා.... එයා ඉස්සරහා..”
යැයි සුසාර කී සැණින් නැවත නැවතත් පළිගැනීමේ මගේ කුරිරු සිත තන්වැසි නො තකා බුරන්නට විය.
“තොගේ අම්මත් දැනගන්න ඕනි තෝ පට්ට හොරෙක් කියලා”
යැයි මා කියත් ම අම්මාගේ අතින් ඇදගෙන සුසාර සෙනග අතර නො පෙනී ගියේය.
දෙදහස් නවයේ ජනවාරි මාසයේ අරුණ ජයවර්ධන මට කතා කළේය.
“උපුල් අයියා අපේ ෆිල්ම් එකේ ඉන්විටේෂන් එක දෙන්න මම ඔයාලගේ ගෙදර එන්නද? ඔයා මගෙත් එක්ක තරහා නෑ නේද” යනුවෙන් මෘදු හඬින් විමසීය.
“මම උඹත් එක්ක නෙවෙයි මේ මංකොල්ලෙට සම්බන්ධ වෙච්ච හැම එකා එක්කම තරහයි. අපේ ගෙදර හතර මායිමට එන්න එපා” යනුවෙන් කීවෙමි. ඉනික්බිති කාලයේ අරුණ ජයවර්ධන සිරස හැර ගියේ ය. නිකිණි වැස්ස නමින් විශිෂ්ට චිත්‍රපටයක් කළේ ය. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. මගේ තිර පිටපතෙන් කළ ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ලෙස සුසාරගේ නම සඳහන් වීම ද අරුණ ජයවර්ධනගේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය මංකොල්ලකෑමකි. සුසාර සිරසේ ගිනිපන්දම් ගෙන රටක් ජාතියක් ගිනි තියන හනුමන්තෙකි. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. කතා කරන්නට රිසි මොහොත මෙය නම් අරුණට දැන් ඇත්ත කතා කළ හැකි ය.
තිරනාටකය ලියා අවසන් කිරීමෙන් පසු සුසාර සහ සිරස මා සාහසික ලෙස මඟ හැරියේ ය. සිරස කළ වරද වරදක් නො වන්නේ යැයි මා යටහත් වූවා නම් අදත් සුසාරත් සිරසත් මහරාජාත් සිරස දායක සභාවත් මා වෙනුවෙන් ය. එදා මා කළ ප්‍රකාශ ද සයිබර් අවකාශයේ මේ ලියන දෑ ද සිරසේ කුප්‍රකට මාධ්‍ය ප්‍රහාරයකට හෝ මාරාන්තික උගුලකට හසු වීමට ලෙන් දොර විවර කිරීමක් බව මම දනිමි. මා මේ ලියන්නේ සිනමාකරුවෙකු වීමේ සිහිනයේ වේදනාකාරී පසුවදන් ය. තවමත් මම හුස්ම ගන්නා නිසා ඊළඟ වෘත්තයේ දී අප නැවත සම්මුඛ විය හැකි ය. අනාගත සිහින දකින්නන් වෙනුවෙන් මම තවදුරටත් ලියමි. රටක ශිෂ්ට මිනිසුන්ගේ සිහින මරා දමන්නවුන්ට එරෙහි ව කරන අරගලයක දී අප හුදකලාව මිය යා හැකි ය. පොළොවට පස් වන මෘත දේහ කබොක් වී කළුගල් වී මැණික් බවට පත් වී දිලිසෙන හෙට දිනක් පිළිබඳ සිහිනය ම මේ ලිවීමට සපයන ශක්තිය පමණවත් ය.
උපුල් ශාන්ත සන්නස්ගල