‘වස්සාන සිහිනය’ චිත්‍රපටය නිර්මාණය කිරීමේ අදහසින් ගීත විසි දෙකක් පමණ පෞද්ගලික මුදලින් මම නිෂ්පාදනය කළෙමි. ඉන්දිකා උපමාලි ගායනා කරන ‘සඳ පහන් රැයේ’ ගීතයත් මොරිස් විජේසිංහ ගායනා කරන ‘ඔබ එන්න ඇවිත් යන්න එන්න’ ගීතයත් මරියසෙල් ගුණතිලක ගායනා කරන ‘කුමරාණනේ’ ගීතයත් දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන ‘ඔබ හීනයක් වගේ’ ගීතයත් අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව ගයන ‘සඳ එබෙන්නෙපා’ යන යුග ගීතයත් එම ගීත පොකුරට අයත් ය. එම ගීත රසිකයන් අතරට යැවීමට අද මෙන් සයිබර් අවකාශයේ නිදහස් ඉඩක් හෝ විකල්ප වෙනත් මගක් එදා තිබුණේ නැත.
ගුවන් විදුලිය වල් වැදුණු කෞතුක කනත්තක් බවට පත් විය. පන්නිපිටියේ මොන්ටිසෝරිය නමින් හැඳින්වූ සිරස මුළු රට පුරා ම ගුවන් විදුලි ඉතිහාසයේ වෙනසක් කරමින් රටේ වනස්පතියෙකු වී වටේ වනන්නට විය. සාහිත්‍ය, කලා, සිනමා යනාදී ඕනෑ ම ක්ෂේත්රයක විශිෂ්ටයන්ගේ තිඹිරි ගෙය වූයේත් නිජබිම වූයේත් එදා ගුවන් විදුලියයි. අදත් වල් වැදුණු ගුවන් විදුලියේ බිත්ති සරසන්නේ තේමිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති ද අල්විස් යනාදී විශිෂ්ටයන්ගේ ආලේඛ්‍ය රූපමය සංකේත සමූහයයි. ගුවන් විදුලිය මරාගෙන සිරස උපදින්නේ තාක්ෂණය පිළිබඳ ආචීර්ණකල්පිත ඛේදවාචකයක් ගුවන් විදුලියට ආරූඪ වී තිබූ නිසාවෙනි. එසේ නොමැති ව සිරසේ ප්‍රෝග්‍රෑම් කොලිටිය ගුවන් විදුලියට වඩා විශිෂ්ට වූ නිසා නො වේ.
විසිවන සියවසේ දෙවන දශකයේ ලෝක ප්‍රකට මාර්කෝනි සවුන්ඩ්ස් තාක්ෂණය ගුවන් විදුලියේ ස්ථාපිත කරන්නේ ය. විසිවන සියවසේ අටවන දශකය ආරම්භ වන විට මාර්කෝනි සමාගම බංකොලොත් විය. එක්දහස් නවසිය හැත්තෑ අටේ මාර්කෝනි සමාගමේ නියෝජිතයෝ දෙදෙනෙක් ගුවන් විදුලියට පැමිණියහ. මාර්කෝනි සන්නාමය වෙනුවෙන් ගොඩනඟන කෞතුකාගාරය සඳහා ගුවන් විදුලියේ ස්ටුඩියෝ පහ සහ ස්ටුඩියෝ දහයේ කන්ට්‍රෝල් පැනල් ඔවුහු ඉල්ලා සිටියහ. දශක හයක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වර්කින් කන්ඩිෂන් තිබූ මාර්කෝනි සවුන්ඩ්ස් පිළිබඳ ව ඔවුහු පුදුම වූහ. කෞතුකාගාරයට ලබා ගන්නා එම කන්ට්‍රෝල් පැනල් වෙනුවට වඩා කොලිටියට සහ නවීන තාක්ෂණයට ගැළපෙන ට්‍රැක් දහසයක තාක්ෂණික කට්ටල ගුවන් විදුලියට නොමිලේ ලබා දීමට ඔවුහු පොරොන්දු වූහ. පළමුව; මෝඩ ගුවන් විදුලිය එම දියුණු යෝජනාව පිළිගත්තේ නැත. නවීන තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේ අලුත් දැනුම ගුවන් විදුලියේ පැරණි ඉංජිනේරුවන්ට තිබුණේ නැත. ඔවුහු අතීතකාමයට ආගමක් තරම් පක්ෂ ය; තාක්ෂණයට යකෙකුට තරම් බිය ය. දෙවනුව; රටට ලැබෙන්නේ තෑග්ගක් නිසා බලධාරීන්ට කොමිස් පගාවක් නැත. ඒ වන විට මුළු රට පුරා ම ගුවන් විදුලියෙන් ඇසුණේ මුරු මුරු, චුරු චුරු, ජරා බර සද්ද සහ සිත කාලකන්නි කරන අඳුරු වාදන ය. රේඩියෝවේ මොන මීටරේ කොහාට කොහොම කැරකුවත් ඩිස්ටර්බන්ස් ය. රේඩියෝව ගෙදර සීමාවේ කොයි ඉසව්වේ තිබුණත් ගොර ගොරය මිස කිසිදු වැඩ සටහනක් නිරවුල් ව ඇසුණේ නැත. රේඩියෝව පොළොවේ ගසා මරා දමන්නට ලාංකිකයා සූදානම් වූ මොහොතේ ගුවන් විදුලියේ ඇත්තෝ තමන්ගේ මිනීවළ කපා ගත්හ. පනහේ දශකයේ ආරම්භයේ දී මැසී ෆර්ගියුසන් ට්රැක්ටර දසදහසක් ලංකාවට ගෙන්වා තාක්ෂණය සහ කෘෂිකර්මාන්තය සම්බන්ධ කිරීමට ගත් ඉදිරිගාමී උත්සාහයේ දී ලංකාවේ රාජ්‍ය නායකයා කියා තිබුණේ
‘ගොම්බෙටි දානවා නම් විතරක් ඔය ඒරොප්පේ අම්බරුවෝ ගෙනැල්ලා. ගොම්පස් දාන්නේ නැති ඔය අම්බරුවා එක්ක හැප්පෙන්න ගොවියෝ කැමති නැතැයි’ කියා ය.
ලංකාවේ සැබෑ අම්බරුවෝ ගොවියන් නො ව පාලකයෝ ය. ගුවන් විදුලිය භාවිත කළ කෙටි තරංග සහ මධ්‍යම තරංග තාක්ෂණය අතික්‍රමණය කරමින් මුළු ලෝකය ම එෆ්.එම්. නමින් හඳුන්වන සංඛ්‍යාත මූර්ජනයට හැරෙද්දී ගුවන් විදුලිය එදා යකෙකුට මෙන් බිය වූහ. නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කළ ගුවන් විදුලියේ සොහොන මත මහාරාජා එෆ්.එම්. කුළුණු සවි කරන්නේ ඉනික්බිති ව ය. ‘ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි’ කියා ජාත්‍යාලයෙන් අප නැටුවාට ලංකාවේ සන්නිවේදන කඳු පන්ති අයිති කිලී මහාරාජාට ය. ජාතික රූපවාහිනිය මට්ටු කරන්නට සිරස තග දාන්නේ මේ බලය නිසා ය. උතුරු නැගෙනහිර සන්නිවේදන කුළුණුහි බලය ටිරාන් අලස්ට දුන්නේ මේ රටේ පාලකයෝ ය. මහාරාජාගේ සිරසත් අලස්ගේ මව්බිමත් ජඩ මාධ්‍යකරණයේ නියැළෙන්නේ මහපොළොවේ ස්ථාපිත ව ඇති එකී දේශපාලන සහ සන්නිවේදන තාක්ෂණයේ හයිය නිසා ය.
මුළු ලෝකය ම එෆ්.එම්.වලට හැරෙද්දී රජයේ ගුවන් විදුලිය එය ප්‍රතික්ෂේප කළේ ය. සිරස එෆ්.එම්. බිහි වී වසර ගණනාවක් යන තෙක් එෆ්.එම්. තරංග සුයාමයට හැරෙන්නට ගුවන් විදුලිය අසමත් විය. මැකී, සවුන්ඩ්ස්ක්රාෆ්ට්ස් වැනි අතිදියුණු බ්‍රෑන්ඩ් නේම් සමාජගත වෙද්දී නොස්ටැල්ජියාවෙන් සහ ටෙක්නොෆෝබියාවෙන් පෙළුණු ගුවන් විදුලි ඇත්තෝ මාර්කෝනි සමග ම නිදි වැද්දාහ. මේ මොහොතේ සිරසත් මව්බිමත් බොහෝ පෞද්ගලික මාධ්‍යත් හක්ගෙඩි, ගොලුබෙල්ලෝ, චීනයේ ෆෙංෂුයි විසිතුරු, බඩමහත ලාෆින් විකුණමින් ජාතිවාදය සහ අන්තවාදය වපුරමින් මිථ්‍යාදෘෂ්ටික අවිද්‍යාව වගා කරමින් ජඩ මාධ්‍ය යගදාවක් යටත් වැසියන්ගේ අධෝමුඛයට ඇතුළ් කරද්දී ගුවන් විදුලිය කිඹුල් කඳුළු හෙළුවාට වැඩක් නැත. ඩිස්ටර්බන්ස් නැති පිරිසිදු මිහිරි කට හඬවල් මුසු වූ සුමියුරු සංගීතය සිරසෙන් ඇසෙද්දී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයෝත් සුහුඹුල් ශ්‍රාවකයෝත් සිරස වටා එකතු වූහ.
එක්දහස් අටසිය පහළොවේ මහා බ්‍රිතාන්‍යයන්ට කන්ද උඩරට ගිවිසුම් ගත ව භාර දුන් දවස මාර්තු දෙවන දා ය. එක්දහස් නවසිය අනූහතරේ සිරස බිහි කරමින් ගිවිසුම් ගත ව මහාරාජාට රටේ සන්නිවේදන බලය බාර දුන්නේ මාර්තු දෙවන දා ය. එක්දහස් නවසිය හතළිස් හතරේ මාර්තු දෙවන දා කුමාරතුංග මුනිදාස මිය ගියේ ය. කරුමයට හෝ උරුමයට අහේතුක ව මා උපන්නේ ද එක්දහස් නවසිය හැට හතරේ මාර්තු දෙවන දා ය.
මගේ අලුත් ගීත පොකුර සිරස වෙත රැගෙන යාමට හේතු වූ යථාර්ථයක් තිබිණ. එකල සිරස එෆ්.එම්.හි කිංස්ලි රත්නායකත් තමාලි පීරිසුත් අතිශය ජනප්‍රිය එෆ්.එම්. තරු දෙකකි. ඉරිදා ජාතික පුවත්පත් අතර රැඳවූ ටැබ්ලොයිට් අතිරේක සැරසුණේ ඔවුන්ගේ ජීවදත්ත, තොරතුරු, ගොසිප් සහ වෛවර්ණ පින්තූරවලිනි. සිරස වනස්පති නිමල් ලක්ෂපති මගේ සුදර්ශි ගහ යට මිතුරෙකි. කිංස්ලිත් තමාලිත් දෙදෙනා ම අපේ සිංහල පන්තියේ ආදි ශිෂ්‍ය නියෝජනයකි. මම මගේ අවශ්‍යතාව ඔවුන් තිදෙනාට කීවෙමි. එදා සවස් වරුවේ ම කිංස්ලි මත්තේගොඩ මගේ නිවසට ආවේ තවත් සිරස එෆ්.එම්. සගයන් දෙදෙනෙකු සමග ය.
ගීතයක් වාර කීපයක් සිරස එෆ්.එම්.හි ප්‍රචාරය කළ හැකි බවත් ඒ සඳහා සිරසට දැන්වීම් සපයා දෙන ලෙසත් සිරස එෆ්.එම්.හි ක්‍රමවේදය එය බවත් කිංස්ලි පැහැදිලි කළේ ය. අපේ සිංහල පන්තියේ ආදි ශිෂ්‍යාවක වූ කාවින්ද්‍යා ජයසේකර එම සාකච්ඡාවට සාක්ෂිකාරිය වන අතර සිරසට දැන්වීම් සොයා දී මගේ ගීතයක් සිරසේ ප්‍රචාරය කරවා ගැනීමට ඉදිරිපත් වූවා ය. කාවින්ද්‍යා දැඩි වෙහෙසක් දරා ලින්ක් කේශා ආයතනයෙන් රුපියල් හැත්තෑ පන් දහසක වෙළඳ දැන්වීමක් සිරසට ලබා දුන් පසු ‘ඔබ එන්න ඇවිත් යන්න’ ගීතය දෙවරක් ප්‍රචාරය විය. ඉනික්බිති ව ශාන්ත බණ්ඩාර ජයවර්ධන, තනූජා ජයවර්ධන, නාරද බක්මීවැව, නිහාල් වික්රමඑදිරිසූරිය, ගැමුණු ජයන්ත වන්නිනායක, එස්.එම්. මරික්කාර්, නිලේන්ද්‍ර දේශප්‍රිය සහ තවත් බොහෝ මිතුරු ඇත්තෝ නො මසුරු ව දැන්වීම් නො ඉල්ලා මගේ ගීත ප්‍රචාරය කළහ. එපමණක් නො ව විවිධ වැඩ සටහන්වලට මා නිරන්තර ව සහභාගී කරවා ගත්හ. ‘සන්නා සිරසට කඩේ යනවා. සිරස සන්නා විකුණනවා.’ යන පටබැඳි නාමය පවා සමාජගත වූයේ ඉනික්බිති ව ය.
සැබැවින් ම සිරස එෆ්.එම්.හි වැඩි ඉඩක් මට ලබා දුන්නේ කිංස්ලි රත්නායක නො ව එස්.එම්. මරික්කාර් බව සත්‍යයකි. මා සමග වැඩි රේඩියෝ සම්බන්ධයක් ගොඩ නඟාගැනීම ස්වකීය වෘත්තික ජීවිතයට අනාරක්ෂාවක් බව ඔහු සිතන්නට ඇත. කිංස්ලිගේ ඇඟ බේරා ගැනීමේ මාධ්‍ය මැදිහත් වීම්වලට වඩා මරික්කාර්ගෙ මැදිහත් වීම් සූක්ෂම ය; එඩිතර ය; දේශපාලන න්‍යාය පත්‍රයක් සහිත ය. සුපර් ස්ටාර් ගායක ගායිකාවන්ට විශාල ගීත ප්‍රමාණයක් ලිවීමේ අවස්ථාව මට ලබා දුන්නේ එස්.එම්. මරික්කාර් ය. ඒ හැම ගී පද රචනයක් සඳහා ම රුපියල් දස දහසක මුදලක් මට ලැබුණු අතර ඒවායේ අයිතිය එම්. එන්ටර්ටේන්මන්ට් සතු බවට ගිවිසුම් අත්සන් කෙරිණි. සුපර් ස්ටාර් ගායක සුරේන්ද්‍ර පෙරේරාට ‘වැහි පබළු සැලී’ ගීතය, ගීත ගොනුවකින් සුරේන්ද්‍රට තෝරා දෙන්නේ ගැමුණු ජයන්ත වන්නිනායක ය. සුපර් ස්ටාර් ගායක කණ්ඩායමට ‘දඟකාර හැඩකාරි’ ගීතය තෝරා දෙන්නේ නිහාල් වික්රමඑදිරිසූරිය ය. අජිත් බණ්ඩාරට ‘ඔබ ඉන්නවා නම් ඉන්න මා ළඟ’ ගීතය තෝරා දෙන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය ය. ඒ සම්බන්ධතා ජාලය නිර්මාණය කරන්නා එස්.එම්. මරික්කාර් ය.
හැව්ලොක් ටවුන්හි කින්ජෝ අවන්හලේ දී මරික්කාර් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මම සිරසට ජිංගල් කීපයක් ද ලියූවෙමි. ඒ සඳහා මා මුදල් ලබා ගත්තේ නැත. අඟහරුවාදා රාත්‍රී පැය තුනක ගුවන් කාලයක් මා වෙනුවෙන් වෙන් කිරීමට මරික්කාර් යෝජනා කළේ ය. ‘ආදරෙත් එක්ක තුන් පැයක්’ වැඩ සටහන බිහිවන්නේ ඒ අනුව ය. එකී පැය තුනට සැලකිය යුතු මිලක් ගෙවීමට ඔහු පොරොන්දු වූ අතර මාසික වවුචරයකින් පොරොන්දුව ඉටු කළේ ය. දෙස්විදෙස් අසන්නන් විශාල ප්රමාණයකගේ ප්‍රසාදයට ලක් වූ එම වැඩසටහනේ දී සියලු ම ගීත තෝරා ගැනීමේ අයිතිය මම ඉල්ලා ගතිමි. මරික්කාර් එකඟ විය. පැය තුනක් පුරා එම ගීත රස විඳින්නේ මගේ සිතැඟි පරිදි බවත් ඒ සඳහා වාරණයක් පිළිපැදීමට මා සූදානම් නැති බවත් කීවෙමි. මරික්කාර් එකඟ විය.
නිලාර් එම්. කාසිම්ගේ මුල් නම නිර්රූල් නිලාර් ය. ඔහු පුවත්පත්වලට ලියුවේ මාතර රාහුල පාරේ නිර්රූල් නිලාර් නමිනි. මම බන්දුල පද්මකුමාරගේ කුමරි පත්තරේ ‘ආධුනිකයෙක් හඳුන්වා දෙමු‘ යන නමින් පිටු භාගයක ඉඩත් බන්දුලගෙන් ඉල්ලා ගතිමි. එහි එක් ලිපියක මාතර නිර්රූල් නිලාර් ගැන සුවිශේෂී සටහනක් ලිවීමි. අංකුර ශිල්පියා කාලයේ පටන් නිලාර් භාෂාවේ දක්ෂයෙකි. ඔහු මුසල්මානුවෙකු නිසා ඔහුගේ භාෂා වැපුරුම් වඩා හොඳින් පල දරන්නේ ය. පසුකාලීන ව සිවිල් චරිතයක් වන නිලාර් ජාතික රූපවාහිනියේ සරසවි පෙරහැර වැඩසටහනේ නිවේදකයා විය. රූකාන්ත ගුණතිලකගේ සරසවි පෙරහර සජීවී වැඩසටහනට සහභාගී වන්නැයි රූකාන්ත යෝජනා කළ හෙයින් මම එයට සහභාගී වීමි. රූපවාහිනී මැදිරියේ රූගත කළ සරසවි පෙරහැරේ ඕඩියන්ස් එක දහදොළොස් දෙනෙකි. මම ඉන් එකෙකි. මා ලියූ ගීත දෙකක් රූකාන්ත එදා ගායනා කළේ ය. නිවේදකයා, ගායකයාත් සංගීතඥයාත් නාමික ව හැඳින්වූවත් රචකයා පිළිබඳ කිසිදු සඳහනක් කළේ නැත. වැඩසටහන අවසානයේ සුහද ව කතා කළ නිලාර් මෙසේ කීවේ ය.
‘ආනේ, ඔයා හිටියා ද? මං දැක්කේ නෑ. සොරි.’
යැයි කිවේ ය. සරසවි පෙරහැර තවත් වැඩ සටහනකට එන්නැයි සමන්ත පෙරේරා මට ආරාධනා කළේ ය. එදිනත් මම දහ දොළොස් දෙනෙකුගෙන් කෙනෙක් වීමි. මා ලියූ ‘සඳ පහන් රැයේ’ ගීතය ඉන්දිකා ගායනා කළා ය. සමන්ත ද මා ලියූ ගීතයක් ගායනා කළේ ය. එදාත් වැඩ සටහන අවසානයේ දී නිලාර් පශ්චාත්තාපය ප්‍රකාශ කළේ ය.
‘ආනේ, ඔයා හිටියා ද? මම දැක්කේ නෑ, සොරි.’
ටියුෂන් වෘත්තියේ දී හැර හැර මා නියැලුණු වෙනත් කිසිදු ක්ෂේත්රයක දී තරගකාරී ව අනෙකාට එරෙහි ව ක්‍රියා කොට නැත්තෙමි. ටියුෂන් තරගයේ දී නම් වෘත්තික ජීවිතය අවසන් වන තෙක් ම සියලු තරගකරුවන් අභිබවා පළමුවැන්නා වීමේ අභිමානය වෙනුවෙන් තරග වැදීමි. සිරසේ ‘ආදරෙත් එක්ක තුන් පැයක්’ වැඩ සටහනේ දී මම නිලාර් එන්. කාසිම් ලියූ රසවත් ගීත විශාල ප්‍රමාණයක් මම ප්‍රචාරය කළෙමි. දිනක් නිලාර් එන්. කාසිම් ලියූ නිරෝෂා විරාජිනී ගායනා කරන ‘ඔබ ගියා ම දුක මට දී‘ නමැති ගීතය පිළිබඳ හැගීම්බර රසවින්දනයක් කළෙමි. එය ශ්‍රවණය කර තිබූ නිලාර් වැඩ සටහන අවසන් වූ සැනින් මට දුරකතනයෙන් කතා කළේ ය.
’ඔයා මගේ සිංදුවක් ගැන අද ප්‍රෝග්‍රෑම් එකේ දී කිව්ව ටික මං අහගෙන හිටියා.’
නිලාර් මට නොවක් ස්තුති කළේ ය.
‘උඹයි මායි වෙනස්. ඒ උඹ. මේ මම.’
මම කීවෙමි.
දෙරණ එෆ්.එම්.හි ‘හීන ඇහිඳින යාළුවෝ‘ වැඩ සටහන මා ආරම්භ කරන්නේ ‘ආදරෙත් එක්ක තුන් පැයක්’ සන්දර්භය ම දෙපැයකට කෙටි කරමිනි. ඒ හා සමාන වැඩසටහනක් ඊට පෙර බන්දුල නානායක්කාරවසම් විසින් ‘රෑ ඉර පාන‘ නමින් ඉදිරිපත් කළේ ය. කුමන හෝ හේතුවක් නිසා බන්දුල ගීත තෝරා ගැනීමේ දී රත්න ශ්‍රී විජේසිංහගේ ගීත තෝරා ගෙන නො තිබිණි. බන්දුලගේ නරකාදර්ශය වඩා හොඳ පූර්වාදර්ශයක් කර ගැනීමට මම ‘හීන ඇහිඳින යාළුවෝ’ වඩාත් ස්වාධීන කළෙමි. දෙරණ එෆ්.එම්.හි ‘හීන ඇහිඳින යාළුවෝ’ වැඩ සටහන නවතින්නේ මාගේ කම්මැලිකම නිසා ය. සිරස එෆ්.එම්.හි ‘ආදරෙත් එක්ක තුන් පැයක්’ වැඩ සටහන නවතින්නේ මරික්කර්ගේ මැදිහත් වීමක් නිසා ය.
යුධ භූමියේ තීව්ර ව සටන් ඇතිවුණු කාලයේ දේශාභිමානී ගීත සහ රණවිරුවන් වෙනුවෙන් ලියූ ගීත වැඩි වශයෙන් ප්‍රචාරය කොට යුද්ධයට මොරාල් එකක් දීමට එෆ්.එම්. නාලිකා එකිනෙකා පරයා තරග කළේ ය. සතියක ගුවන් කාලයෙන් පැය තුනක් මා ප්‍රචාරය කිරීම සඳහා තෝරා ගත් ගීත අතරට ජාතිවාදී ආගම්වාදී යුධවාදී ගෝත්රවාදී හෝ කුලවාදී කිසිදු ගීතයක් තෝරා නො ගැනීමට ප්‍රවේශම් වීමි. යුද්ධය වෙනුවෙන් උඩ ගෙඩි දුන් එෆ්.එම්. නාලිකා තරගයට මුහුණ දෙමින් සිටින හෙයින් අවම වශයෙන් යුද්ධයට උදව් කරන ගීත තුනක්වත් වැඩ සටහනේ ඉදිරිපත් කළ යුතු බවට මරික්කාර් වැඩ සටහනට කඩා පනින යෝජනාවක් කළේ ය. එම ගීත ඔහු විසින් තෝරා දෙන බවත් ඉනික්බිති ව කීය.
‘හැබැයි මරික්කාර් ඔයා දාන සිංදු තුන ගැන එක වචනයක්වත් මම කියන්නේ නෑ.’
මම මගේ අදහස කීවෙමි.
‘එහෙම බෑ. මේ සිංදු තුනත් ප්‍රෝග්‍රෑම් එකේ කොන්ටෙන්ට් එකේ ම ප්ලේ වෙන්න ඕනේ.’
ආයතනික මරික්කාර් කීවේ ය.
‘අපි වැඩේ නවත්තමු.’
යෝජනාව මගේ ය. මරික්කාර් ස්ථිර කළේ ය. ඊළඟ සතියේ සිට ‘ආදරෙත් එක්ක තුන් පැයක්’ වැඩ සටහන නතර විය.
එක්දහස් අටසිය දහ අටේ වෙල්ලස්ස කැරැල්ලට පෙර මුහන්දිරම් තනතුරට සුද්දා පත් කරන්නේ මරික්කාර් කෙනෙකි. දෙදහස් දහ අටේ මීඩියා හෙජමොනියේ කිලී මහාරාජා ව නියෝජනය කරන්නේ ද මරික්කාර් කෙනෙකි. සිරසේ සුපුරුදු තක්කඩිකම එතැන් පටන් මරික්කාර් ක්‍රියාත්මක කළේ ය. මගේ කට හඬට සමාන අනුකාරකයෙකු කැඳවා සිංදු බයිට් කිරීම ඇරඹිණ. ‘සන්නා ජෝකර් වෙලා.’ ඌන නුවණැත්තෝ කීහ. සතියේ දවස් පහේ ම ‘උදා සිරස’ ප්‍රෝග්‍රෑම් එකට මගේ කට හඬේ අනුකාරකයා ලවා සාහිත්‍ය රස වින්දනයේ දී මා කී සීරියස් කතා මගේ හඬින් ම ජෝක් කිරීම ඇරඹිණි. ‘උදා සිරස’ වැඩ සටහන කරන්නේ ඩමියක් යැයි නො සිතූ බොහෝ සිසුසිසුවියෝ මගේ ටියුෂන් පන්ති පැමිණීම නවතා දැමූහ.
‘සර් අද පන්ති එන්නෙ නෑ. උදා සිරස වැඩ සටහනට යනවා.‘
යන්න වඩාත් ප්‍රචාරය වූයේ ‘උදා සිරස’ වැඩ සටහනෙන් අධ්‍යාපනය, පාසල් ජීවිතය, යෞවන හැගීම් අනුකාරක සන්නාගේ හඬින් බයිට් කිරීමත් සමග ය. මගේ කටහඬ අනුකරණය කිරීමට මරික්කාර් යොදා ගත්තේ රොමේෂ් ද සිල්වා ය. සයිබර් අවකාශයේ ෆෑන් බේස් එක ‘රොමා‘ යනුවෙන් හඳුන්වන්නේ එදා රොමාගේ වාසනාව උදා කරගත් ශිල්පියා ය.
මම ගැමුණු ජයන්ත වන්නිනායක ඇමතීමි.
‘කවුද බන් මගේ කටහඬ අනුකරණය කරලා සිරසට පුක දෙන අර වේසිගෙ පුතා?‘
යනුවෙන් විමසීමි. සිනහව අතරින් ගැමුණු වැඩසටහන මෙහෙයවන්නේ චන්දන ත්‍රිමාවිතාන බව කීවේ ය. ත්‍රිමාවිතාන අපේ සිංහල පන්තියේ ආදි ශිෂ්‍යයෙකි. මම ත්රිමාවිතානට කතා කළෙමි.
‘ත්‍රිමා, සිරසත් එක්ක එකතු වෙලා ඔය බලු වැඩේ කරනවට වැඩිය හොඳයි වැල්ලට ගිහිල්ලා මරික්කාර්ට පුක දීපන්.‘
කියා ත්රිමාවිතානට බැණ වැදීමි.
ඌරාගේ ඇඟේ තබා ඌරු මස් කැපීම මුස්ලිම් සදාචාරයට පටහැනි බව මම මරික්කාර්ට කීවෙමි.
මරික්කාරුත් මමත් දෙදහස් පහළොවේ මහමැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූමු.. මරික්කාර් තව ම සිරසේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ය. මම සිරසේත් නැත. පාර්ලිමේන්තුවේත් නැත.
මේ ලිපියේ නම් ගම් සඳහන් බොහෝ දෙනාට දුරකතනයෙන් කතා කොට අතීත සිදුවීම් හාරා අවුස්සා සල්ලාපයේ යෙදෙන විට මට තව මත් අතීත මිතුරු සුවඳ දැනේ. එකී කිසිදු මානුෂික හැගීමක් නො දැනෙන දුර්ගන්ධය කිලී මහාරාජා සහ සුසාර දිනාල් පමණි.
-උපුල් ශාන්ත සන්නස්ගල-