"ගින්නෙන් උපන් සීතල ඊයේ(18) බැලුවා. අද(19) ආයෙත් යනවා.
තව කිහිපවරක් බලලා දිග යමක් ලියන්න කලින් පොඩි සටහනක් මේ.
චිත්‍රපටිය එක්තරා යුගයක පුදුමාකාර කැපවීමක් තිබුණු මිනිස්සු පිරිසක් ගැන මතකය අලුත් කරන්නෙ ඇග සීතල කරමින්. ඒ අයගෙ ආත්මපරිත්යාගශීලිත්වය ගැන ගැඹුරු හැගීමක් ඇති වෙනවා. සුමිත් අතුකෝරළ අත්අඩංගුවට පත් වෙන මොහොත විශාල කම්පනයක් ඇති කළා.
ඒත් දශක කිහිපයකට පසු ඒ ආත්මපරිත්‍යාගය ගැන කලා කෘතියක් කරද්දි එක්කරා ආත්ම විචාරයකුත් ඒ වෙත ගෙන එන්න තිබුණා නම් නරක නෑ. නිදර්ශනයක් මෙහෙමයි. නන්දන මාරසිංහ, දයා පතිරණ, විජය කුමාරතුංග වැනි ඝාතන ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළෙ ඒ කාලෙ විග්රහ වුණේ කොහොමද වගේ දෙයක් ගැන යම් හෝ සදහනක් තිබුණා නම් අගෙයි. ජවිපෙට හිතවත් කලාකරුවන් අද කළ යුතු කාර්යක් තමයි එවන් ආත්ම පරික්ෂාවකට දිරිදීම.
මුලින්ම කියන්න ඕනෙ දෙයක් තියෙනවා. ගරාවැටුණු සිනමා කර්මාන්තයක් ඇති, පණ ඇද ඇද යන නාට්‍ය කලා සංස්කෘතියක් තියෙන රටක මේ වගේ විශිෂ්ට නළුනිළි පිරිසක් බිහි වුණේ කොහොමද කියන එක විස්මයක්. මේ කොල්ලො කෙල්ලො ඉන්දියාවෙ වත් හිටියා නම් ඔස්කාර් සම්මාන බරගාණක් ගේනවා. කමල් කියන්නෙ ලොකුම විස්මය. අසුව දශකයේ මතු වූ දක්ෂ නළුවන් බොහෝ දෙනාම වගේ අධිරංගන ශිල්පියො. එව්ව සමහර තැන්වලට හරියනවා. සමහර තැන්වලට හරි යන්නෑ. ඒ කණ්ඩායමේ නළුවො දෙන්නෙක් ශික්ෂිත සහ පාලිත රංගනයට දක්ෂයි. ඒ කමල් සහ මහේන්ද්‍ර. කමල් තමන්ගෙ විශිෂ්ටත්වය නැවතත් පෙන්වනවා.
ජවිපෙ අභ්‍යන්තර කතාව විදියට මේ චිත්‍රපටිය ගැන අපමණ දේ කියන්න තියෙනවා.
නමුත් මම මේකෙ තව කතාවක් දකිනවා. ඒ කතාවට යන්න දොර ඇරදෙන්නෙ සුලෝචනා වීරසිංහ. තමන් මත බලෙන් වගේ පටවන විවාහයක් ඇතුළට බයෙන් වගේ ඇවිද යන, තම සැමියාගේ දේශපාලන අරගලය කිසිම බුද්ධිමය හෝ විඥානමය සම්බන්ධයක් නැති ස්ත්‍රියක ලෙස චිත්‍රාංගනී චරිතය සුලෝචනා අපූරුවට කරනවා. ඒ නිසාම මහේක්ෂ දේශපාලනයේ කතාවට අමතර තව කතාවක් මතුව එනවා. ඒ තමයි මධ්‍යම පාන්තික න්‍යෂ්ඨික පවුල ඒ විදියටම තියාගෙන සමාජ විප්ලවයක් කළ හැකිද කියන ප්රශ්නය. හැංගිලා ඉන්න විප්ලවීය නායකයෙකුගේ පවුල ලෙස පවා අපි දකින්නෙ ඉතා සාම්ප්‍රදායික පවුලක්. දැසි දස්සන් ඉන්න, එහෙම අය අවශ්‍ය වන තරම් දරුවො ඉන්න පවුලක්. (නංගිලා මල්ලිලා කිව්වට වියූහමය වශයෙන් ගත්තම ඒ අය දැසිදස්සන්ම තමයි)
උපත් පාලනය 1950 ගණන්වල ලිංගික විප්ලවයේ (sexual revolution) කොටසක්. අපේ රටේ වැදගත්ම විප්ලවීය නායකයාගේ නිවසට ඒ ලිංගික විප්ලවයේ එළිය ලැබිලා නෑ. ඒ නිසා සෝමවංශ අමරසිංහ ඇතුළු නායකයන් ලොකු අය්යාගේ පවුල ආරක්ෂා කරන්නට පුදුමාකාර කැපවීමකින් වැඩකරනවා. ඒ නිසා සාක්කුවේ පවා ගෙන යා හැකි උපත්පාලන කොපු වෙනුවට ලොරියක වත් ගෙනියන්න බැරි ගෙවල් හොයන්න සෝමවංශ, ගමනායක වැනි අයට සිද්ධ වෙනවා. සෝමවංශ හෙවත් සිරි අය්යා කරන රහසිගත සහ දඩිබිඩි ගමන් සියල්ලේම පාහේ අරමුණ නායකයාට හැංගෙන්නට තවත් ගෙයක් හොයන එක. මෙය සිනමාකරුවාගේ සවිඥානක ක්‍රියාවක් නම් ඒකෙ දේශපාලන විචාරයකුත් තියෙනවා.
සුලෝචනාගේ රංගනය මගින් පේන්නෙ උගුලකට හසුවුණු ගැහැනියක බව මම කිව්වා. ඒ නිසා මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ලංකාවේ ස්ත්‍රිය වෙත දේශපාලන සවිඥානකත්වයක් ලබා නොදී ලංකාව වෙනස් කළ හැකිද? සැමියන්ගේ සහෝදරවරුන්ගේ දේශපාලන අරගලවල නරඹන්නියක් නොවී ඒවාගේ කොටස්කාරියන් වූ ස්ත්‍රී චරිත ජවිපෙ හිටියා. නමුත් මේ කෘතියේදී අපට හමුවන ස්ත්රින් බෙහෙවින්ම කර්මකාරකයි. ඔවුන්ගේ කාරක ශක්තිය දරුවන් වැදීම සහ හැදීමේ සීමාවට යටත්. සමාජ විපර්යකාරක චින්තන සම්ප්රදායක් ලෙස ස්ත්‍රීවාදී චින්තන සම්ප්රදාය ජවිපෙට අද පවා අගන්තුකයි. වාම ස්ත්‍රීවාදී සම්ප්රදායවලින්වත් ඒ කාලෙ ජවිපෙට එළියක් ලැබුණ බවක් පේන්නෙ නෑ. අදත් වැඩි වෙනසක් නෑ. එවන් පෝෂණයක් කරන්න ඉඩ තිබුණ උගත් ස්ත්‍රීන් අසූවෙ මුලදිම වගේ පක්ෂෙන් ඈත් වෙනවා.
නායකයාගේ පවුල් ජීවිතය ගැන සිනමාකරුවා දක්වන කේන්ද්‍රීය අවධානයෙන් පේනවා සමාන්‍ය පවුල් ජීවිතය සහ අසාමාන්‍ය දේශපාලනය අතර තෙරපුම. විජේවීර අත්අඩංගුවට පත්ව නික්ම යන අවස්ථාවේ බිරින්දෑ ඔහුට දණ ගසා වදිනවා. ඒක අනුවේදනීය අවස්ථාවක්. නමුත් ඒ තුළ ඒ අඹු-සැමි සම්බන්ධය කවර වර්ගයේ එකක්ද යන්නත් කියවෙනවා.
මල්ලිලා එපා කියද්දිත් ලොකු අය්යා පවුල සහ දරුවන් වෙනුවෙන් නතරවීම නිසා ලොකු අය්යා සහ පවුල ආරක්ෂා කරන්නට මල්ලිලා ගත් තැත අසාර්ථක වෙන්නෙ මල්ලිලා සියලු දෙනාම පාහේ ජීවිත පරිත්‍යාග කරමින්.
බෝපගේ සහෝදරයා මෑතකදී ලිව්ව විදියට පක්ෂ තහනමටත් කලින් කැලෑ ගත නොවී හිටිය නම් මේ අය්යලා සහ මල්ලිලා තවත් ජීවත්වෙන්න ඉඩ තිබුණා. එහෙම හිතන කොට සීතලක් දැනෙවා. Lionel Bopage (ලය්යා විදියට ප්‍රියන්ත කරන රගපෑමට මම හරි කැමතියි).
ඒ කාලෙ හමුදා සහ පොලීසි වැඩ කරපු ආකාරය ගැන පින්තූර ටිකක් දකින්න තියෙන එකත් අමතර වාසියක්. රාජ්‍ය උපකරණ විදියට ඒවාට පැවරී ඇති කාරිය කොයි පලාතෙදි වුණත් අකුරට කරනවා. සිංහලද දෙමළද අදාළ නෑ. කමල්ගේ රංගනය කොතරම් විශිෂ්ට වුණත්, තමන්ගේ දෘෂ්ටිවාදය සහ තීරණද හේතුවෙන් ජාතියේ දරුවන්- පාසැල් දරුවන් පවා- මර්දන යන්ත්‍රයට(රණවිරු යන්ත්‍රයට) හසු වන විට එය විජේවීරට යම් භාවමය කම්පනයක් ගෙන දුන්නේද යන්න දකින්න අවස්ථා නෑ. එහෙම කම්පනයක් නොපෙන්වීම සිනමාකරු කළ සවිඥානක දෙයක් නම් එතන ලොකු අර්ථයක් තියෙනවා.
පවුල නැමති ආයතනය ඉතා වැඩවසම් ලෙස පවතිද්දී තීරණාත්මක සමාජ පරිවර්තනයක් කළ හැකිද යන ප්රශ්නය සිත්ගන්නා සිනමා බසින් ඇසීම මේ කෘතියේ විශිෂ්ටත්වයක්.
සන්නද්ධ අරගල ගැන විශ්වාස නොකරන මගේ ඒ විශ්වාසයත් මේ කෘතියෙන් තහවුරු වෙනවා. මේ සිනමා කෘතිය ගැන තිඹිරියාගම බණ්ඩාර කියූ කරුණු කීපයක්ම හරි යැයි මමත් හිතනවා"
මහාචාර්ය ලියනගේ අමරකීර්ති