සිව් වසරක් කාලයක් තිස්සේ දරු සෙනෙහසින් ලියූ නවකතාවකින් පිටු 100 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශකයා විසින් නොදන්වා කප්පාදු කර ඇති බව දැන ගන්නා මගේ මිත්‍ර ලේඛකයෙක් , මේ අසාධාරණය ඉවසා දරා ගනු නොහැකිව සියදිවි නසා ගන්නට සිතෙනා බව මිට මාස කීපයකට පෙර මට කිවේය. ප්‍රංශ පොත් ප්‍රකාශන නිතිය යටතේ නම් මෙවැනි අවස්ථාවකදී අධිකරණ තීරණයකින් පසුව ප්රකාශකයාට තෙමසක සිර දඩුවමක් හෝ යුරෝ 40000 ක දඩ මුදලකට යටත් වීමට සිදුවෙයි. කෙසේ වෙතත් පොත් ප්‍රකාශකයන්ගේ මෙවැනි තුට්ටු දෙකේ වැඩ ලංකාවට පමණක් නොව ලොව කොයි දේශයටත් පොදු යැයි මම ඔහුට කිමි. මෙවැනි අසාධාරණ හමුවේ ලේඛකයන් සියදිවි නසා ගත්තා නම් අද ලෝකයේ හරි අඩක්ම ලේඛකයෝ මිය පරලොව ගොස් සිටිනවා නිසැකය.
ලේඛකයෝ අපූරු සත්වයෝ වෙති. වැඩි දෙනෙක් සාමාන්‍ය ජිවිත ගත කරනා බව සැබෑය .ඒ අතරම ඇතැමෙක් තමන් විසින්ම ගොඩ නගා ගත් , එසේත් නැතිනම් තමා අවට සිදුවෙමින් තිබෙනා විපර්යාසයන් නිසා ගොඩ නගා ගන්නට සිදුවුණු අප්‍රබංස ලෝක වල ජිවත් වෙති. අද ප්‍රංශයේ වඩාත් කැපී පෙනෙන ලේඛකයා ලාංකිකයන් වැඩි දෙනෙක් නොදන්නා Michel Houlebecqය. ප්‍රංශයේ ඉහලම සාහිත්‍ය සම්මානය වන "ගොන්කුර්" සම්මානයෙන් පුද ලබා ලෝකය පුරා මිලියන ගණනක් පොත් අලෙවි කර ඇති මේ මිනිසා පැරිස් 13 ප්‍රදේශයේ විශාල වටරවුමක අටවා ඇති බැංකුවක වාඩි ගෙන සිටිනු ඇතැම් උදෑසනක දැකිය හැකිය. බැලූ බැල්මට ඔහු සතේ අතේ නැති හිගන්නෙක් වැනිය. අපිරිසිදු, පරණ ඇදුමින් සැරසී, ඉරුණු බෑගයක් කර දමා ගෙන , දුම්වැටි එකින් එක උරනා ඔහු වරෙක ප්‍රකාශ කළේ "දිවි නසා ගැනීම" නැමති සංකල්පය කෙරෙහි තමා ගේ සිත් බෙහෙවින් ඇදී ගොස් ඇති බවයි.
දහස් ගණනින් හෝ මිලියන ගණනින් පොත් අලෙවි කර ගන්නට ලැබෙන්නේ සුවිශේෂ ලේඛකයෙකුට පමණි. ජිවිතයේ වරප්‍රසාද ලත් කඩ ඉමකට පැමිණි මොහොතක , ලේඛකයෙක් දිවි නසා ගන්නේ හුදෙක්ම දරා ගන්නට නොහැකි වන මානසික පිඩනයක් නිසා බව කිව යුතු නොවේ. තමන් වටා සිටින ප්‍රියයන් ගේ හැරයාම ප්‍රියන්ගෙන් වෙන්වීම බොහෝ ලේඛකයන්ගේ ජිවිත වෙනස කරන්නට සමත් වූ බව පෙනේ. මුල්ම අවාසනාවන්ත උදාහරණය ලෙස Dhan Dopam Mukerji ගනිමු. ඔහු දිවි නසා ගත් 200 ක පමණ ලේඛකයන් අතර සිටින එකම ඉන්දියානුවාය. අද දිනයේ සිය ගණනක් ඉන්දියානු ලේඛකයෝ ලෝක සාහිත්‍ය කෙත තරණය කරන්නට පෙර , විසි වන ශත වර්ෂයේ මුල් කාලයේ එනම් G.V. Desani හෝ Mukul Raj Anand වැන්නවුන් ඉංග්‍රීසි කියවන පාඨකයන්ගේ අවධානයට ලක් වන්නට පෙර ඇමරිකානුවන්ගේ සිත් දිනා ගත් තැනැත්තා ධාන් ගොපාම් මුකර්ජි ය. ඔහු 1923 වසරේ ලියූ Cast and Outcast නව කතාව නිසා සාහිත්‍ය ලෝකයේ සුවිශේෂ නමක් හිමි කර ගත්තේය. එපමණක්ද නොවේ. වර්ෂ 1931 දී "භගවද් ගීතාව" The Song of God නමින් ඔහු ඉංග්‍රීසියට පරිවර්ථනය කළේය. එහෙත් ඔහුගේ ජිවිතයේ අදුරු සමය උදා වූයේ බිරිදගේ වෙන්ව යාම සමගයි. ඔහුට මිතුරන් අඩු නොවිණ. එහෙත් හුදෙකලාව පලා ගියේ නැත. ඔහුට කීර්තියෙන් අඩුවක් නොවිණ. එහෙත් ඇමරිකාවේ ගත කරනා දිවිය ඔහුට රිසි නොවිණ . මව්බිමට ගොස් ජිවත් වීමෙන් පවා බිරිදගේ හැර යාමෙන් ඇතිවුණු හිදැස පුරවන්නට නොහැකි වන බව ඔහු දැන් සිටියේය. ධාන් ගෝපාම් ගෙල වැල ලාගෙන මිය යද්දී වයස අවුරුදු 46 ක් වූවා පමණි.
සාහිත්‍ය සදහා වන නොබෙල් ත්‍යාගය හිමි කර ගත් අර්නස්ට් හෙමින්ග්වේ ගේ කතාව වෙනස් එකකි. ඔහුගේ ජීවිතය එකම වීර චාරිකාවක් බදුය.පළමුවැනි ලෝක යුද්ධයේ සොල්දාදුවෙකුගේ කටුක අත්දැකීම් මතින් ජීවිතය ආරම්භ කරනා හෙමිංග්වේ (පසු කළෙක ඔහු ලියූ A Farewell to Arms පොතට පාදක වුයේ යුද්ධයේ අත්දැකීම්ය ) ලොව වටා කරක් ගසමින් සාමාන්‍ය මිනිසෙකු නොලබන සුවිශේෂ අත්දැකීම් ලැබුවේය. ඔහු ජිවිතයේ අවසන් කාලය ගත කළේ පැරිස් නගරයේ දී ලබා ගත් අත්දකීම් ඇසුරින් ගෙතුණු A moveable Feast ලියන්නටයි. ඒ අතරම Life සගරාවේ ආරාධනයෙන් ගොන් පොර ක්‍රීඩාව ගැන ලිපියක් ලියන්නට ඔහු ස්පාඤ්ඤයට පය තැබුවේය. සගරාවට අවශ්‍ය වුයේ වචන 10000 ක් ලිපියකි. එහෙත් හෙමිංවේ අතින් නිමවුණු ලිපිය වචන 40000 ඉක්මවා තිබුණු අතර ජිවිතයේ ප්‍රථම වතාවට ලේඛන කාර්යයක් තමන්ට උවමනා අයුරින් ඉටු කර ගැනීමට නොහැකි වීම ගැන ඔහු පසුතැවිළි විය. ආර්ථික පසුබිමද ඔහුට විස්සෝප ගෙනවිත් තිබුණි. බදු ගෙවීම් මග හැරී තිබුණු නිසා ආදායම් බදු නිලධාරින් ඔහු පසුපස පන්නන්නට විය. ඒ දිනවල හෙමිංවේ සහ ඔහුගේ සිව්වැනි බිරිද Mary Welsh කියුබාවේ San Fransico de Paula නගරයේ ජිවත් වූ අතර ඔහු ඇමරිකාව කියුබාවට පාවා දෙන ඔත්තු කාරයෙක්ය යන චෝදනාවද ඇමරිකානු රජය වෙති එල්ල වී තිබුණි . නිරන්තරයෙන්ම තමා පිටුපස FBI නිලධාරින් පැමිණෙන්නේ යැයි විශ්වාස කළ හෙමිංවේ තමන්ගේම පිස්තෝලයෙන් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේය. තවද හෙමිංවේ ගේ පියාත්, සහෝදරයාත්, සහෝදරියත්, මිනිබිරියත් සිය දිවි නසා ගත් බව මෙහිදී සදහන් කරනු වටී.
මානසික අසහනය, එසේත් නැතිනම් මානසික ආතතිය (Depression) ගැන අද බොහෝ දෙනා කතා කරති. මානසික ආතතිය හට ගැනීමේ මුල් අවධිය වනුයේ සිතේ ඇතිවන නොරිස්සුම් බව, දුක, ඛේදය (Melancholy) යැයි කියනු ලැබේ. වර්ෂ 1621 දී Robert Burton විසින් ලියනා ලද Anatomy of Melancholyනම් අගනා ග්‍රන්ථය අද දවසෙත් මේ විෂය ගැන කතා කරනා විට කාගේත් අවධානයට ලක් වන්නකි. රොබර්ට් බර්ටන් විසින් පෙන්වා දෙන ලද සිත් තැවුල, කණස්සල්ල ප්‍රකට හා අප්‍රකට ලේඛකයන්ගේ ජිවිත සමග නිතර බැදී තිබුණකි. . ඒ කණස්සල්ල , සිත් තැවුල ඇතැම් විටක ඔවුන්ගේ නිර්මාණයන්ට මුල් වූ බව සැබෑය . ගී ද මොපොසොන් ගේ Une Vie හිද, ෂෝන් පෝල් සාත්ර ගේ The Words හිද , වී .එස් . නායිපොල් ගේ The Enigme of Arrival හිද ෆ්‍රැන්සිස් ස්කොට් ෆිට්ස් ජෙරාල්ඩ් ගේ Freshest Boy හිද (දිගු කෙටි කතාවකි ) වර්ජිනියා වුල්ෆ් ගේ සහ පිලිප් රෝත් ගේ බොහෝ පොත් වලද මේ කියනා මානසික කණස්සල්ල මැනවින් දකින්නට හැකිය.
විසිවන සියවසේ අග භාගය , එසේත් නැතිනම් අසූව දශකයේ මුල් අවධිය වන විට කලාකරුවන්ගේ ජීවන පැවැත්ම , විශේෂයෙන් ලේඛකයාගේ පැවැත්ම පැහැදිලිවම වෙනස් වූ බව දකින්නට ලැබේ. ප්‍රංශ සාහිත්‍ය ඇසුරින් උදාහරණ කීපයක් ගනිමු. වික්ටර් හියුගෝ, වොල්තෙයා, ගී ද මොපොසොං , ගුස්තාව් ෆ්ලෝබෙයා , මාර්සෙල් පෘස්ත් , ෂෝන් පෝල් සාත්ර , ඇල්බෙයා කැමූ (යු) වැනි සාහිත්‍ය යෝධයෝ කිසි දිනක සැප පහසු ජිවත ගත කළ අය නොවූහ . තම නිර්මාණ මතින් යහපත් ආර්ථික පදනමක් ඇති කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනද, පවුල් සංස්ථාවේ සහ සමකාලින සමාජ ව්‍යුහයේ ඇති වුණු විෂමතාවයන් නිසා මානසික අසහනයට පත් වූහ . කෙසේ හෝ වේවා අසූව දශකයේ මුල් භාගයේ පටන් මුළු මහත් සාහිත්‍ය ලෝකයේම පෙරළියක් සිදුවුණු බව පැහැදිළිය . විශේෂයෙන් අනූව දශකයේ වෙළද පොළට පැමිණි වෙළඳ ප්‍රවර්ධන ක්‍රම නිසා පොත් අලෙවිය වැඩි විය. නව මුද්‍රණ පහසුකම් සහ පරිගණක තාකෂණය පැමිණි විගස ලේඛකයන්ගේ මෙන්ම ප්‍රකාශකයන්ගේ කාර්යද පහසු විය. ඉතිහාසයේ මුල් වතාවට ලේඛකයෝ අධි ධනවතුන් බවට පත් වූයේ මේ වෙනස් වීම හේතු කොට ගෙනයි. ඇමරිකානු මහා ලේඛක Stephen King ගේ පෞද්ගලික වත්කම ඩොලර් මිලියන් 400 කි. බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා J.K.Rowling ගේ ( Harry Potter ලියූ ) වත්කම ඩොලර් බිලියනයකි. වසර සියයකට එහා පැත්තේ ජිවත්ව සිටි ලේඛකයෝ මුහුණ දුන් මහා නියඟ, දරුණු රෝග වසංගත , යුධ බිය අපේ කාලයේ පොත් ලියන්නෝ නොදත්හ.
තම දිවියේ හෝ වටාපිටාවේ සිදුවන ඛේදජනක සිදුවීම් මාලාවන් හේතුවෙන් ජීවිතය ගැන කළකිරී සිය දිවි නසා ගත් ලේඛක ලේඛිකාවන්ගේ සංඛ්‍යාව දෙසීය ඉක්මවා යයි. බොහොමයක් දෙනාගේ ජිවිත අසමබර ඒවාය. ඇතැමෙක් මත්පැන් හෝ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයයි . තවත් අය දන්නා හදුනන ගෙන් වෙන සිතින් මවා ගත් අද්භූත ලෝකයන්හි ජිවත් වූ අයයි . සාහිත්‍ය රසිකයන්ගේ මෙන්ම විචාරකයන් ගේද සම්භාවනාවට පාත්‍ර වූ Ramond Chandler, Edgar Allen Poe, Kurt Vonnegut, Jack London, Yasunari Kawabata වැන්නෝ මානසික අසහනය , ආතතිය විද දරා ගත නොහැකිව දිවි නසා ගත්තෝය. යළිත් වරක් ප්‍රකට උදාහරණයක් ප්‍රංශ සාහිත්‍ය තුළින් ගනිමු. ප්‍රංශයේ වැදගත්ම සාහිත්‍ය සම්මානය වන "ගොන්කුර් " සම්මානය (මේ සම්මානය පිරිනැමීමේ ක්‍රියා පටිපාටිය අති වැදගත් ඒ ගැන පසු දවසක ලියමි ) එක් ලේඛකයෙකුට දිනා ගත හැක්කේ එක් වතාවක් පමණි. එය එක් වරක් දිනා ගත් Romain Gary ( 1956 ) ට නැවත වරක් දිනා ගැනීමේ අදහස පහල විය. ඔහු කළේ Emil Ajar යන අනවර්ථ නාමයෙන් පොතක් ලියා ප්‍රකාශකයා අතට පත් කර මෙය ප්‍රකාශයට පත් වූ පසුව "ගොන්කුර් " තරගයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමයි. තමා කවුරුන්දැයි හදුන්වා දීමට ඔහු ඉදිරිපත් වුයේ නැත. සම්මානය ඔහුට හිමි විය. එය භාර ගන්නට කිසිවෙක් පැමිණියේ නැත. කෙසේ හෝ වේවා Romain Gary ගේ දෙවන බිරිඳ වූයේ Jean-Luc Godard, ගේ A bout de souffle (1959) සිනෙමා පටයේ රගපෑ සුරූපී Jean Seberg ය. ඔවුන්ට ලැබුණු දෙවන දරුවා ගේ පියා තමා නොවන බවත් , බිරිද ක්ලින්ට් ඊස්ට්වුඩ් සමග ප්‍රේම සබදතාවයක් පවත්වන බවත් විශ්වාස කළ Romain Gary පිස්සෙකු බවට පත් විය. වරෙක් ඔහු ඊස්ට්වුඩ් හට කඩු සටනකට ද ප්‍රසිද්ධියේ ආරාධනය කළ බව කියවේ . අන්තිමේදී Jean Seberg සැමියාගෙන් දික්කසාද වූවා පමණක් නොවේ. වර්ෂ 1979 දී සිය දිවි නසා ගත්තාය. තවත් වසරකට පසුව Romain Gary පිස්තෝලයෙන් වෙඩි තබා ගෙන සිය දිවි නසා ගත්තේය. මේ නරුම තීරණය ගන්නට පෙර ඔහු ලියා තැබූ සටහනේ ඉහත දෙවන පොත Emil Ajar නමින් ලිවේ තමා යැයි ලියා තිබුණි.
Romain Gary ගේ ජීවිතය කටුක නොවිණ . ඔහු පොත් ලියවිල්ලෙන් යහමින් මුදල් ඉපයූ අතර රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් නිසා රටේ නම ගත් පුද්ගලයන් සමග සමීප සබඳතා ඇති කර ගත්තේය. මේ දිවි නසා ගැනීමට හුදෙක්ම හේතු වූයේ බිරිඳගේ වෙන්ව යාම සහ අකල් මරණයයි. එහෙත් Mrs. Aalloway, To The Lighthouse, Oralandao වැනි ප්‍රකට නවකතා ලියූ Virginia Woolf ජීවිතය හුදෙක්ම කටුක අත්දැකීම් වලින් පිරුණු අවාසනාවන්ත එකකි. ඇය 1931 දී ලියු The Waves නවකතාව වැඩි ජනප්‍රියත්වයට පත් නොවූවද පසු කාළීනව එය පර්යේෂණාත්මක ග්රන්ථයක් බවට පත් වි
එහි එක චරිතයක් වන Rhoda මෙසේ කියයි. "සතුරු ලෝකයක මම තනි වී සිටිමි. එය අප්‍රසන්න භයානක තැනකි..." වර්ජිනියා වොල්ෆ් මෙසේ ලියා ඇත්තේ තමාගේ ජීවිතයේ හැදින්වීම බව විචාරකයෝ පසු කළෙක පෙන්වා දුන්හ. වයස අවුරුදු හයේදී, ඒ වන විට විසි වන වියේ පසුවුණු ඥාති සොහොයුරෙකු අතින් ඇය ලිංගික අතවරයකට ලක් වූවාය . තවත් වසර කීපයකින් ඇයට තම මව අහිමි විය. වයස අවුරුදු 11 දී දෙවන වතාවටත් ඇය තවත් ඥාති සොයුරෙකු අතින් අතවරයට ලක් වෙද්දී මානසික ආතතියේ මුල් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් දෙන තිබුණි. තරුණ වියේදී කීප වතාවක්ම ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කළාය . ශ්‍රී ලංකාවේ තමන් ගත කළ කාලය ඇසුරු කර ගෙන Village in the Jungle නමින් අගනා ග්‍රන්ථය ලියූ ලෙනාඩ් වොල්ෆ් සමග 1912 දී ඇති වුණු විවාහයද වර්ජිනියා ගේ අසහනකාරී දිවියට පිළියමක් වූයේ නැත. තමන් උමතු තැනැත්තියක් බවට පත් වෙමින් සිටින්නේ යැයි තරයේ විශ්වාස කළ ඇය කබායේ සාක්කු වල ගල් කැබැලි පුරවා ගෙන නිවසට යාබද කුඩා දිය පහරකට පැන දිවි නසා ගත්තාය. එවිට අගේ වයස අවුරුදු 59 කි. ය.
අද දවසේ Bipolar Disorder නමින් හදුන්වන මානසික අසහනකාරී තත්වයේ සංකීර්ණ අවස්ථාවට මුහුණ දෙමින් දිවි නසා ගත් ලේඛකයන්ගේ ගණන බොහොමයකි. මෑත කාලීන සාහිත්‍ය ඉතිහාසයේ වැදගත්ම ග්රන්ථයක් ලෙසින් සැළකෙන , කියවන්නට නම් අපහසු (මේ පොත් ගැන පෙර දිනයක "පොතක් සමග සටන් වදිමි " යන මැයෙන් මේ බිත්තියේ ලියා තිබේ) Infinite Jest පොත් ලියූ David Foster Wallace තවත් වැදගත් උදාහරණයකි. මේ පොත වනාහි පාඨකයාට දිවි නසා ගන්නට සිත් ඇති කරවන පොතක් බදුය. පිටු 1080 ක පුරා නොයෙක් සංකීර්ණ මාතෘකා පාදක කර ගනිමින් අපහසු කටුක බසකින් පොත ලියූ වොලස් කුඩා කළ සිටම මානසික ආතතියේ ගොදුරක් බවට පත්ව සිටියේය. වෛද්‍යවරුන් නියම කරනා ලද බෙහෙත් වලින් මතුවුණු අතුරු ඵල විපාක දරා සිටින්නට නොහැකි වුණු තැන වයස අවුරුදු 46 දී ගෙල වැල ලා ගෙන ඔහු දිවි නසා ගත්තේය. ඇතැම් ලේඛකයන් පෙලුනා වූ අසහනයේ තරම ඔවුන් අතින් ලියවුණු පොත් වලින් පැහැදිලිවම දැක ගන්නට හැකි විය. ඇමරිකානු ලේඛක Hunter S.Thompson ගේ පොත් කියවන්නෙකුට විශේෂයෙන් ඔහුගේ සාර්ථකම කෘතිය ලෙසින් හැදින්වෙන Fear anda Loathing in Las Vegas පොත ( හතුරෙකුටවත් කියවන්නට නොදෙමි) ලේඛකයාගේ මානසික අසහනයේ පැතිකඩක් කියා පායි . මේ පොත මගින් ඔහු කියවන අපවද අසහනයට පත් කරයි. වයස අවුරුද් 14 සිටම මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියා යයි කියන බ්‍රිතාන්‍ය ජාතික Malcom Lowry ගේ Under the Volcano යන නිර්මාණයද වටහා ගත නොහැකි සංකීර්ණ සිතුවිලි වල ප්රතිඵලයකි.
ඇමරිකානු ලේඛිකා Sylvia Plath ගේ මහත් විචාරක සම්මානයට පත් Bell Jar පොත ගනිමු. මානසික රෝහලක ලේඛිකාව ගත කළ වකවානුවක සිද්ධීන් ඇසුරින් ලියු මේ පොත පාඨකයා සසල කරනා පොතකි. ඉන් අනතුරුව ඇගේ කෙටි පීඩාකාරී දිවිය විවර කරමින් ලියවුණු Giving Up : The Last Days of Sylvia Plath පොත නපුරු සිහිනයක් බදුය. සිල්වියා ප්ලත් ඇගේ ජිවිතයේ මුල් කාලයේදී සාමාන්‍ය දිවියක් ගෙවූ තැනැත්තියකි. ජීවිතය වෙනස් මගකට හැරුණේ සැමියා Ted Hughes අනියම් ප්‍රේමයක් පැටලී ඇති බව දැන ගත් මොහොතේදීය. ඇය සිය දිවි නසා ගන්නේ දල්වා ඇති ගෑස් උදුනකට හිස ඇතුල් කර ගැනීමෙන් වැනි දැඩි පීඩාකාරී ආකාරයකටයි. එවිට ඇගේ වයස අවුරුදු 30 කි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්ව සිටියාය.
කලා කරුවන්, ලේඛකයන් මානසික අසහනයට පත්වීමේ ප්රවනතාවය ඉහල බව අපි අසා ඇත්තෙමු. ස්වීඩනයේ Karolinska නම් ආයතනය මිලියන 1.2 දෙනා ඇසුරු කර ගනිමින් කරනා ලද සමීක්ෂණයකින් නැවත වරක් මේ කාරණය හෙළිදරව් වුවද කලා කරුවා යනු ගුණ හා අවගුණ දෙකම මනා ලෙස ප්‍රගුණ කළ අයෙක් ලෙසින් හැදින්විය හැකිය. ඔහු ඉක්මනින් කෝපයට, සතුටට , පත් වන්නාක් මෙන්ම වෛරය, කුහකකම , ද ප්‍රගුණ කළ අයෙක් බව නොකිවමනාය. ලේඛකයෝ ලෙහෙසියෙන් අනුන්ගේ සිත් රිදවති. එමෙන්ම පහසුවෙන්ම සිත් රිදවා ගනිති. තමන්ගේ අසාර්ථක බව, සමාජයෙන් තමන්ට නිසි සැළකිල්ල නොලැබෙන විට (ප්‍රකාශකයා ඔහුට නොදන්වා පොතේ පිටු කප්පාදු කරනා විට ) ඇතැම් විට විචාරකයන්ගේ පහර දීම් නිසා ඔවුහු මානසික අසහනයට පත් වෙති. කෙසේ වුවද John Kennedy Toole ඇමරිකානු ලේඛකයාගේ කතාව වෙනස් ආකාරයේ දුක හිතෙන කතාවකි. ඔහු කිසිදු මානසික රෝගයකින් පෙළුණු අයෙක් නොවේ. තම මෑණියන්ගේ උනන්දු කිරීම මත අවුරුදු 16 දී ලියන්නට පටන් ගත් කෙනඩි ටූල් A Confederacy of Dunes නමින් පොතක් ලියා ප්‍රකාශකයන් පනහක් පමණ දෙනාට යොමු කළේය. එහෙත් වසර අටක කාලයක් පුරාම ඔහුට ලැබුණේ ප්‍රතික්ෂේප කිරීම් ලිපි පමණි. ඇතැම් අවස්ථාවල ඔහු ප්‍රකාශකයන්ගේ කාර්යාල වලට ගොස් ප්‍රතික්ෂේප කිරීමට හේතු විමසා , වැරදි ඇත්නම් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටියේලු. අත් පිටපත සියක් වාරයක් නැවත සංශෝදනය කර ලියා ඉදිරිපත් කළත් ඵලක් නොවිණ. අන්තිමේදී දැඩි මානසික අසහනයට පත් කෙනඩි ටූල් වයස අවුරුදු 31 දී ගෙල වැල ලාගෙන සිය දිවි නසා ගත්තේය. මේ අවාසනාවන්ත මරණයෙන් වසර දෙකකට පසුව ඔහුගේ මව විසින් යළිත් වරක් එක් ප්රකාශකයෙකුට අත් පිටපත ඉදිරිපත් කළ අතර ඒ වාරයේදී පොත එළි දුටුවේය. එපමණක් නොවේ. මේ පොත් 1969 වසරේ ඇමරිකාවේ ඉහලම සාහිත්‍ය සම්මානයක් වන පුලිට්සර් සම්මානයද දිනා ගත්තේය. කෙනඩි ටූල් ගේ මව කියා සිටියේ පොත් ප්‍රකාශකයන් තම පුතුගේ මරණයට වග කිව යුතු බවයි.
MANJULA SENARATNE
16/01/2019