-සිංහල වේවා දෙමළ වේවා හමුදාවේ වේවා මේ සන්නද්ධ අරගලයන් වල මිය ගියේ එකම සමාජතලයක තරුණ මිනිසුන් පිරිසකි. එක් පාර්ශවයකට ඔවුන් විරුවන් වන විට තවකෙකුට ඔහු සතුරෙකි. මතු දිනෙක හෝ මෙවන් අර්බුදයකදී විනාශ වන්නට නියමිත වන්නේ ඒ සමාජ තලයමය. මෙවන් විනාශයකින් පසු ඉන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියකට අනාගතයක් නැත-
1988/89 ගැන ලියවුනු හා චිත්‍රපට තුලින් අප බොහෝ විට දකින්නේ ඒක පාර්ශවීය දෘෂ්ඨිවාදයක් පමණයි.මේ දිනවල ප්‍රදර්ශනය වන "ගින්නෙන් උපන් සීතල" ඇතුලෙත් නිර්මාණකරු කරල තියෙන්නේ ඒක. නමුත් තවමත් තිරගත නොවූ විසාකේසගේ පාංශූ සිනමාපටය එම වකවානුව පිළිබඳව වෙනස් කියවීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන විත් තිබෙනවා. රාජ්‍ය හමුදාව විසින් පැහැර ගෙන ගිය දරුවාට අත් වූ ඉරණම සොයමින් ජීවත් වන අම්මෙකුගේ ජීවීතය වටා නිර්මාණය වී ඇති මෙහි කිසිදු චරිතයක් කලු හෝ සුදු ලෙස ඒකමානීය ලෙස වර්ගීකරණය කල නොහැකි ලෙස නිර්මාණය කරන්නට විසාකේස සමත් වී තිබේ. එම කැරල්ලට සම්බන්ධ වූ කිසිවෙකුත් සත්‍ය ලෙසම අහිංසක නැහැ. ඔවුන් සියලු දෙනාටම ඒ වූ මහා විනාශය වෙනුවෙන් වන වරදකාරී බවින් මිදිය නොහැක. මේ යථාර්ථවාදී ලක්ශනය බොහෝ නිර්මාණකරුවන් අත් හරිනු ලබන්නක්. එය අත හරිනු ලබන්නේ බොහෝ විට හිතාමතාය. ඒ තමුන් නියෝජනය කරනා මතවාදය වෙනුවෙන් විය හැකිය.නමුත් මේ සිනමා කෘතියේ මෙන්ම අජිත් පැරකුම් ගේ කේ. පොයින්ට් නවකතාව තුල මේ වෙනස් කියවීම අපට හොදින් පෙලගස්සවා ඉදිරිපත් කිරීමට නිර්මාණකරු සමත් වී තිබෙනවා.
මේ චිත්‍රපටය තුල එන අතුරුදහන් වූ තරුණයා මෙන්ම ඊට සම්බන්ධ යැයි කියන සොල්දාදුවා යන දෙදෙනාම ඒ විනාශකාරී යුගයේ පීඩීතයන් දෙදෙනෙක් ලෙස අපට හදුනාගත හැකිය. කැරලිකරුවාට සේම සොල්දාදූවාට තමන්ට ඉහලින් එන නියෝග අනුව ක්‍රියා කිරීම හැර අන් විකල්පයක් තෝරාගන්නට හැකියාවක් එම යුගය විසින් නිර්මාණය කොට තිබුනේ නෑ. හමුදා සොල්දාදුවාට කේසේ වෙතත් විප්ලවවාදී ව්‍යාපාර වෙනුවෙන් සිටි තරුණයන්ට පවා ඉහලින් ආ නියෝග ගැන ප්‍රශ්න කිරීමේ ඉඩක් තිබුනේ නෑ.එසේ කලා නම් ඔවුන්ට වන ඉරණම හතුරන්ට අත් වූ ඉරණමටත් වඩා දරුනු විය හැක. ඒ ගනු ලැබූ ක්‍රියාමාර්ග ගැන ඔවුන්ට තිබූ පශ්චාත්තාපය මේ සිනමා කෘතිය තුල අපූරූවට පෙළගස්සවා තිබේ. පලාත් සභාවට තරග කිරීමේ වරද වෙනුවෙන් තම අසල්වැසි කාන්තාව ඝාතනය කල පසුව කැරලිකාර තරුණයා හැසිරුණු ආකාරයත්. මේ කැරල්ල මර්දනයෙන් පසු සොල්දාදුවා මුහුණ දෙන අව පීඩීත අත්දැකීම් හරහා එය හොදින් පෙලගස්සවා තිබේ. මෙම කතාව ආරම්භයේදී එම තරුණයාගේ මව එම සොල්දාදූවාගේ නූපන් දරුවාට පවා වෛර කරන තැනක සිට ඔහුට සමාව දෙන තැන දක්වා සිදුවීම පෙලගස්සවා ඇති ආකාරය තුලින් සිනමා පටයේ දේශපාලන කියවීම අපට හොදින් ග්‍රහණය කර ගත හැකිය. ඇත්තෙන්ම අප වටහාගත යුත්තේ එවන් මොහොතක සියලු දෙනාම කිසියම් ලෙස වින්දිතයකුග් භූමීකාව නියෝජනය කරන බවය. එය කැරලිකරුවාට සොල්දාදුවාට සේම වෙනත් විකල්ප දේශපාලනයක නියෝජනය කරන්නෙකුට කියා වෙනසක් නැත.
සිනමා පටයේ කුඩා චරිත තුලින් පවා මහා දේශපාලන කියවීම ඉදිරිපත් කිරීමට විසාකේස සමත් වී තිබේ. පන්සලේ හාමුදුරුවන්ගේ චරිතය තුලින් එය හොදින් කියවා ගත හැකිය. පන්සලේ හාමුදුරුවන්ගේ චරිතය සංකේතාත්මකව නියෝජනය කරන්නේ සිංහලබෞද්ධ දෘෂ්ඨිවාදයයි. හමුදා සෙබලුන් උසාවියට ගෙන ඒම ගැන එදා තිබුනේද අද කියවීමට වඩා වෙනස් මතවාදයක් නොවේ. එය සිංහලබෞද්ධ දෘෂ්ඨිවාදය සේම මෙම කැරලිකරුවන්ගේ දේශපාලන නියෝජයනය ඉන් වසර දහයකට පසු උතුරේ දේශපාලනය කියවා ගත් ආකරය අතර කිසිදු වෙනසක් නොමැත.එය කෙලවර වූයේ එදා පීඩකයන් නියෝජනය කල වුන්ට හට මානෙල් මල් පලදවා විරුවන් ලෙස උත්කර්ශයට නැංවීමෙනී. සිංහල වේවා දෙමළ වේවා හමුදාවේ වේවා මේ සන්නද්ධ අරගලයන් වල මිය ගියේ එකම සමාජතලයක තරුණ මිනිසුන් පිරිසකි. එක් පාර්ශවයකට ඔවුන් විරුවන් වන විට තවකෙකුට ඔහු සතුරෙකි. මතු දිනෙක හෝ මෙවන් අර්බුදයකදී විනාශ වන්නට නියමිත වන්නේ ඒ සමාජ තලයමය. මෙවන් විනාශයකින් පසු ඉන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියකට අනාගතයක් නැත.
©KF 02. 02.2019