කුමාරි අක්කා කියන්නෙ සිංදු කියන්න බැරි ගායිකාවක්. සිංදු කියල අපි විශ්වාස කරන ස්වරානුගත කර්නරසායන තනු වෙනුවට කුමාරි අක්කා කියන්නෙ වෙන මොකද්ද තාලයක්. ඒක සිංදුවෙන් අරමුනු කරන ප්‍රේමනීය මූඞ් පලාගෙන එලියට ඇවිත් අපිව හිනස්සනවා. සිංදුවකින් වෙනත් විනෝදයක් නිර්මානය කරනවා. කුමාරි අක්කාගෙ සිංදු කියන්නෙ එන්ටර්නේමන්ට් කියන කැටගරියට අයිති වෙන සංගීතය කියන කැටගරිය දෙදරවන ස්වරවලට අකීකරු ගායනා.
ඒවා බලන අය කුමාරි අක්කාට හිනාවෙන්න ගත්තා. හිනාවෙද්දි හිනාවෙද්දි කුමාරි අක්කා තව සිංදු කිව්වා. හිනාවෙවී හිනාවෙවී මිනිස්සු පොදි කකා ඒ සිංදු ඇහුවා. හැමදාම උදේ පාන්දර මගේ මැසෙන්ජර් බොක්ස් එකටත් කොහෙන් හරි කුමාරි අක්කාගෙ සිංදුවක් එනවා. මගේ දවස හිනාවකින් පත්තු කරන්න එයාගෙ පට්ට අවුට් සිංදුවකට පුළුවන් වෙනවා.
ගීතය කියන එක නූතනවාදී අදහසකින් ඇදහිල්ලක් කරගත්තු මගේ බුද්දිමත් යාලූවො පවා කුමාරි අක්කාට උඩ පැන පැන හිනාවුනා. එක යාලූවෙක් කොයිතරම් ඉක්මන් වුනාද කිව්වොත් කුමාරි අක්කවයි අජිත් කුමාරසිරිවයි එකට තියාගෙන හිනාවෙන්නත් පටන් ගත්තා. මොනවා වුනත් ඒ යාලූවා අහම්බයක් විදිහට කරපු වැඬේ නිවැරදියි.
කුමාරි අක්කව කියවාගන්න පුළුවන් සංගීතයේ දර්ශනයක් ලංකාවට අඳුන්නලා දුන්නෙ අජිත් කුමාරසිරි (අජිත් මුතුකුමාරන නොවේ) නාද හෙවත් ස්වර ව්‍යවස්ථාවෙන් අනුමත සංගීතයෙන් එලියෙ විශාල පරාසයක් එක්ක ගනුදෙනු කරන්න මුලින්ම ඉස්කෝලෙන් එලියට බැස්සෙ අජිත්. එයා නාද වෙනුවට නොයිස් හෙවත් ශබ්ද එක්ක ගනුදෙනු කරන්න පටන්ගත්තා. අනුන්ව පිනවන ලස්සන සංගීතය වෙනුවට ආත්ම ප්රකාශනයක් විදිහට නැගෙන ගොරහැඩි සංගීතය නිර්මාණය කරන්න ගත්තා. අජිත් සංගීතයේ කන්‍යාභාවය නැති කළා. මගේ සුභාවිත ගීතයේ අනුහස අදහන යාලූවන්ට අනුව නම් අජිත් සංගීතය දුෂනය කළා වෙන්න පුළුවන්.
ඊට පස්සෙ ඉසුරු කුමාරසිංහ මේ නොයිස් ප්‍රොජෙක්ට් එක ඊට වඩා සංවිධිත පළල් අධ්‍යනයක් කරා අරගෙන ගියා. කේජ්ගේ සංගීතය ගැන සංවාද මතුවුනා. හෙටත් ඩවුන්ටවුන්වල ඉසුරු තමන්ගේ සංගීතමය ප්රකාශනයක් කරන්න නියමිතයි.
මේක සංගීතයේ විතරක් නෙමෙයි, හැම කලාවකම සීමාවක්. චිත්රවල ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එද්දි මිනිස්සු කියන්න ගත්තා අඳින්න බැරි එවුන් අඳින ආර්ට් කියලා. අපිට උගන්නලා තියෙන්නෙ නැත්තං කන්ඩිෂන් කරලා තියෙන්නෙ කැත බැහැර කරලා ආර්ට් එක හදන්න. ලස්සනෙන් විතරක් කරන ප්‍රකාශන ආර්ට් නෙමෙයි. ලස්සනට වඩා කැත ජීවිතේ ගැන ගැඹුරු තේරුම් ජනිත කරනවා. සංගීතයට වඩා නොයිස් එක ආත්මයේ ගැඹුරු තැන් ස්පර්ශ කරනවා. ඒත් අපි කැතට අකමැතියි.
කුමාරි අක්කා මේ කැත කියන එකේ පොප් රැල්ලක් නිර්මානය කළා කියන එකයි මගේ අදහස. අර මිහිරි යැයි සම්මත ගීත එයා අමිහිරි කරනවා. ඒත් ඒ ගීත ගායනා කිරීම පිටිපස්සෙ තියෙන ආසාව හෝ හැගීම මිහිරි එකක්. එයා තමන්ට දැනෙන උපරිම හැගීමෙන් ගීතය ගායනා කරනවා. ඒත් ඒක මිහිරි වෙන්නෙ නෑ. ඒ හැගීම හෝ හඬ මිහිරි අනුගත සංගත එකක් නෙමෙයි. ඒක අමු නිරුවත් එකක්.
අජිත් එක වෙලාවක ඉතාම වටින කතාවක් කියනවා. මං මගේ උගුරෙ කඩයක් දාගෙන නෑ අනුන්ට ඕනි බඩු විකුනන්න කියල. අජිත් කරන්නෙ තමන් කරන්න කැමති සංගීතය. කුමාරි අක්කා කියන්නෙ තමන් කියන්න කැමති සිංදු. ඒක අහන එක නොඅහන එක අපේ වැඩක්. ඒත් අපි පොර කකා ඒ සිංදු අහලා තියෙනවා.
කොයිතරම් හිනාවුනත් සමච්චල් කළත් එයා ඒක පයිසෙකටවත් ගනං ගත්තෙ නෑ. දිගටම තමන්ගෙ කැත සිංදු කියාගෙන ගියා. කුවේට්වල ගෙදරක වැඩ කරමින් ගතවෙන ජීවිතේ කාංසිය එයා සිංදුවක් කියල තුනීකරගත්තා. ඒකට හිනාවෙන මිනිස්සු මොකක්හරි විදිහකින් තමන්ගෙ ප්‍රේක්ෂකයෝ කියල එයා තේරුම් ගත්තා.
ගීතය එහි අපේක්ෂිත අර්තයෙන් වෙනත් හාස්‍යමය හෝ වියුක්ත අර්තයකට පෙරලීමේ කුමාරි අක්කාගේ කලාව කොයිතරම් ජනප්‍රිය වුනාද කිව්වොත් එයා මෑත ප්‍රසංගයක දැවැන්ත ගායකයො එක්ක එකට ගී කියනවා. ඒ අයගේ සුගායනීය හඩවල් අතර තමන්ගේ කර්කශ කෝටර හ`ඩ නිදහස් කරනවා. දැනුමක් තේරුමක් ඇතුව හෝ නැතුව කුමාරි අක්කා තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථකත්වයට අරන් ගිහින් තියෙනවා. මං වඩාත් ගරු කරන කාරනය වෙන්නෙ සුවහසක් ජනතාව බුලී කරද්දි ගැහැනියක් විදිහට තාමත් තමන්ගෙ සිංදුව තමන්ට ඕන විදිහට කියන්න කුමාරි අක්කාට හයිය තිබුන එක ගැනයි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව මාත් කුමාරි අක්කාගේ ප්‍රේක්ෂකයෙක්.
චින්තන ධර්මදාස