මේ පුපුරා යාම අද ඊයේ ආරම්භ වුවක් නොවේ..එහි ඉතිහාසය 2007 වසර දක්වා දිව යයි. වසර 2005 පමණ වන විට ස්වර්ණවාහිනිය මෙරට රුපවාහිනී ක්ෂේත්රයේ ජාතික රූපවාහිනිය පවා අභිබවා හිනිපෙත්තටම නැගුණු බව දන්නෝ දනිති. එහි රහස වුයේ H.D. ප්‍රේමරත්න, රොස්මන්ඩ් සේනාරත්න, හේම නලින් කරුණාරත්න (එදවස සේවකයන් ත්‍රිවිධ රත්නය බඳු යැයි හැදින්වූ ), ජැක්සන් ඇන්තනී, කැලුම් පාලිත මහීරත්න, චන්දන සූරියබණ්ඩාර, සිඩ්නි චන්ද්‍රසේකර වැනි ප්‍රවීන විෂය ප්රාමාණිකයන් සමගින් සැලසුම්සහගත මාධ්‍ය මෙහෙවරක නිරතවීමයි.
ඒ වනවිට ගොඩ නැගී තිබූ සැබෑ ශ්‍රී ලාංකේය අභිමානය සහ අනන්‍යතාව සිද බිද දමන ඔලමොට්ටල අදහසක් ෂකලක බේබිලා හරහා EAP හිමිකාරිත්වයෙන් මතුවද්දී ඊට එරෙහි වූ H.D. ප්‍රේමරත්න, නලින් කරුණාරත්න වැන්නවුන් යටපත් කරන වන්දිබට්ටයන් ක්‍රමයෙන් මතු වෙමින් තිබිණ. ඛේදවාචකය වඩා උත්සන්න වනුයේ H.D. ප්‍රේමරත්නයන්ගේ හදිසි අභාවයත් සමගයි. අධ්යක්ෂ වැඩසටහන් ධුරයට නලින් කරුණාරත්න පත්වන විටම, ඔහුට පිටුපසින් පහරදීම ඇරඹී තිබුණේ ඔහුගෙන්ම කිරි බී වැඩුණු ළාමක, එහෙත් රංගනයේ ඉතා දක්ෂ, රටට සමාජයට කවරක් වුවද ඕනෑම ගොසරෑවක් විකුණා කෑමට හිරිකිතයක් නොමැති චරිතයකගේ මැදිහත්වීමෙනි. ඒ වනවිටත් තම ආයතනය සතු පුහුණු මානව සම්පතේ වටිනාකමක් නොදත් හිමිකාරිත්වය එම සම්පත් එකිනෙක ගැලවී යාමට ඉඩ සලසා ගොළුවන් බිහිරන් ලෙස සිටියදී සෙසු මාධ්‍ය ආයතන ඔවුන්ගෙන් අදටත් සේවය ලබා ගනිමින් සිටී. (චන්දන සූරියබණ්ඩාර, සිඩ්නි චන්ද්‍රසේකර, හෙන්රි වර්ණකුලසූරිය, සුසාර ඩිනාල් අතුලු විශාල පිරිසක්) එහි ප්‍රතිපලය වුයේ පසුව ඇරඹි නාලිකා පවා ස්වර්ණවාහිනිය අභිබවා මෙරට ප්‍රේක්ෂකයා අතර ප්රසාදයටත් නාලිකා ලෙස ඉහළ දියුණුවක් අත්පත් කර ගැනීමයි. නලින් කරුණාරත්නට ස්වර්ණවාහිනී දොරටු වැසීමත් සමග ඛේදවාචකය උත්සන්න විය. ඔව් දෙයක් වීකුණා තුටු වීමේ න්‍යාය අනුව ඇතැම්විට ස්වර්ණවාහිනීය ලාභ ලබන්නට ඇත. එහෙත් ගුණාත්මක අතින් පහළටම ඇද වැටීම ඇරඹිණ. තේ වතු පාලකයෙකු මානව සම්පත් කළමණාකරණයටත් එවැන්නෙකුම මුදල් කප්පදුවටත් පත්කරගත් ස්වර්ණවාහිනීය සේවකයන් සතයකට මායිම් නොකළේය. රාත්‍රී සේවාමුරය නිමවා නමයට දහයට නිවෙස්වලට යන කාන්තාවන් පවා ප්‍රධාන මාර්ගයෙන් බස්සවා එතැන් සිට හැකි ලෙසකට යන මෙන් දන්වමින් මූලික සේවක අයිතීන් පවා උල්ලංඝනය කළ ද සමබර පුවත් ප්‍රකාශයට හෝ දවසේ වැරැද්දට හෝ ඇත්ත දැනගන්න හෝ රටටම ඇහෙන්න හෝ අටට කියන්න හෝ ස්වර්ණවාහිනී සේවකයන්ට නොහැකි විය. අසීමිත ලාභ ලැබූවද මෙරට අංක එකේ මාධ්‍ය ආයතනයක් ලෙස, සේවකයන්ට හෝ දිනපතා නාලිකාව වෙත පැමිණෙන අතිවිශාල ශිල්පී හා වෙනත් පුද්ගලයිනට රැදී සිටීමට සුදුසු ස්ථානයක් හෝ සනීපාරක්ෂක පහසුකම් හෝ ලබාදීමට තරම්වත් සමත්ව නැති බව දන්නෝ දනිති. අද මෙරට ඉතා කුඩා ආයතන පවා මෙම මූලික මිනිස් අයිතිවාසිකම් ගැන ඉතා ඉහලින් කටයුතු කරයි. තත්වය එසේ වුවද
පුහු තනතුරු සකසාගනිමින්, ඉහළින් වැජඹෙන කිහිපදෙනෙකු අති විශාල වැටුප් හා වරප්‍රසාද ලබමින් පහළ සේවකයන් වැඩවසම් කම්කරුවන්ගේ තත්වයට ඇද දැමූ මෙවන් මාධ්‍ය ආයතනයක් මෙරට තබා අන් රටක නොමැති බව දැඩි විශ්වාසයයි. 10 වසරක් සේවය කර ඉවත්ව ගිය පසු (2011) ආදරණීය ස්වර්ණවාහිනිය ගැන මෙලෙස සටහනක් තැබීමට මා කිසි දිනක නොසිතුවෙමි. මේ සටහන තබනුයේද කිසිදු සතුටකින් නොව. දැඩි කණගාටුවෙනි. හිතවත් මාධ්‍ය සගයනට මෙන්ම සන්නිවේදනයේ සොඳුරු සිත්තම් මැවූ ඒ සොඳුරු ආයතනයට ඇති ආදරයෙනි. සහෘද මාධ්‍ය සගයනි, ඉවසලා ඉවසලා බැරිම තැන පුපුරා ගිය ඔබේ පීඩනය මා හොදින් දනිමි. ඔබේ සාධාරණ අරගලයට ජයවේවා යැයි පතනු හැර අන් කිසිවක් කිරීමට මා හට නොහැකිවීම ගැන කණගාටුවක් ඉතිරිව ඇත. පාලකයිනි, සේවකයින් අති බහුතරයක් මෙලෙස නැගී සිටිනුයේ බොහෝ සෙයින් ඔබලාට වැරදී ඇති බැවිනි. නිවැරදිවීමට තාමත් ප්‍රමාද නැත.
නාලක ස්වර්ණතිලක