අසන්ධිමිත්තා සිනමා පටය නැරඹීම මට අලුත් විදියකට ලාංකීය පිරිමියා (හෙවත් මම) සම්මුඛවීමක් වුණා .
ඒක වෙන විදියකට කියනවනම් ජිම් යන , ලස්සනට කතා කරන , මම ඇත්තටම ගැහැණියකට සම්මුඛ වෙන්න තරම් වසඟකාරීද කියන එක. මේ සම්බන්ධයෙන් හදිසි අනතුරුවලට ලක්වූ ( කලබලවෙන්න එපා සුළු තුවාල පෙන්ස්ලා) අතීත අවස්ථා මට තියනවා. මට සිනමා පටය නරඹද්දී විකීට සමපාතවෙන්න බැරිවුණා . ඒ මට සිනමාපටය ක්ෂණිකව සායනිකව කියවාගන්න බැරිවුණු නිසා වෙන්න ඇති. ඒත් ඊයෙ මම පවුල ඇතුලෙත් පිටතත් හිටිය වියමන ඇතුලෙ විකීව මට හමුවුණා . " අප්පච්චී ඇවිත් " නවකතාවෙ ලංකාවෙ ගැහැණිය වසඟකාරී විය යුතුයි කියලා යෝජනාවෙනවා. මොකද නැත්නම් පිරිමියාට සංකේතීය පියාගෙන් මිදිලා ඔහුගෙ ලෝකය ගොඩනගාගන්න බැරිවෙනවා.
අසන්ධිමිත්තා කතාවෙ යොජනාවෙන්නෙ පිරිමියා වඩාත් වසඟකාරී වියයුතුයි. නැත්නම් ඔහු කොච්චර යුරෝපීය තාලයට හිටියත් ඔහු ගැහැණියට සම්මුඛ වෙන්නෙ ඒකාලෙ ගම්වල හිටිය පිහිය ඉනේ ගහගත් පච්චකොටාගත් බොරු චණ්ඩියෙක් වාගෙ. එයා හොයන්නෙ මහත ගෑණියක් ද කෙට්ටු ගැහැණියක් ද කුමන රැකියාවක් කරන ගැහැණියක් ද කියන එක නෙමෙයි. ගැහැනුකම ඉදිරියෙ ලංකාවෙ පිරිමි ( ඇමතිවරු, ලේකම්ලා, නලුවො , සල්ලිකාරයො ) මෙච්චර පදිරිවෙන්නෙ ඇයි කියන එක. ඔවුන්ගෙ මේ අංගවිකල සම්බන්ධකම් ඇතුලෙ පිරිමියා තවත් අර්බූදයකට යනවා. Jana Charmin දේශපාලකයො ඇතිවෙන තුරු ගැහැනු එක්ක සංසර්ගයෙ යෙදුනොත් මේ පීඩාකාරි ප්‍රචණ්ඩකාරී ව්‍යාපෘති වලින් මිදිලා ඔවුන් ඇන්තූරියම් මල් කපලා වාස්වලට දාන මෘදු පිරිමි වෙයි කියලා අදහසක් පලකරලා තිබුණා . ඒත් එහෙම නොවෙන්නෙ ඇයි. තාමත් ඔවුන් යෝනිය ගර්භාෂයට යන මාර්ගය ලෙස දකින නිසයි.
නිදහස වෙනුවට පරණ සංස්කෘතිය ආයිත් ඒ විදියටම ස්ථානගත කිරීමට සටන් කරන පිරිමින්ට හමුවෙන්නෙ ගෑණු නෙමෙයි. කාලි අම්මල ..පත්තිනි අම්මලා. කිල්ල.... ඉතින් අපි ගෑණුන්ඩ බය පිරිමි වෙලා.
මනසින් ජරපත් පිරිමි මහල්ලන් දිනාගන්න ගෑණු මිණී මරණ එක කොතරම් හාස්‍යජනක ද ?. මේ සිනමාපටය කෙලවර එතරම්ම හාස්‍යජනකයි. ඔබ වසඟකාරීවන්න. නැත්නම් විකී ඔබේ ගැහැණිය තුල පදිංචියට එනු ඇත. එහෙත් අන්තිමේ ඇය විකී කියන්නෙත් ඔබ මෙන්ම ගැහැනුකමට සම්මුඛ වීමට අසමත් මජර පිරිමියෙක් බව වටහාගනු ඇත. එතකොට පෙරහැර ගොස් හමාරයි.
මේ සිනමා පටයේ සිනමාත්මක ස්වභාවය ඉතාම ඉහලයි. නිල්මිනි සිගේරා ඇය මුහුණ දෙන ප්‍රථම රූප රාමුවෙන්ම ප්‍රේක්ෂකයා දිනාගන්නවා. ඉතාම සියුම් හැඟීම් පවා ඇය ප්‍රකාශ කරනවා. ඇගෙ නිවස නිදන කාමරය නොමැකෙන විදියට අපේ සිතේ තැන්පත්වෙනවා. අශෝක හඳගමගේ බොහොමයක් සිනමා පටවල මෙන්ම මෙහිදීත් අධ්‍යක්ෂකවරයාගෙ කාර්ය ඉහල තලයක රඳවා ගන්න ඔහු සමත්වෙනවා. රඟපෑම් පසුතල වාගෙම හඩ පාලනයත් කිසිම විටක බිඳවැටෙන්නෙ නෑ. සිනමාපටය තුල මා කෙතරම් දුරට ජීවත් වුණාදැයි පවසනවානම් මට එහි ධාවන කාලය ගෙවුනා දැනුනෙම නෑ.
ජයන්ත කහටපිටිය