අසන්ධිමිත්තා චිත්‍රපටියේ ඇතුළෙහි තියෙන පොඩි පොඩි අවස්ථා සමස්ත ආඛ්‍යානයක් විදියට සම්බන්ධ වෙනවටත් වඩා තනි තනි කවුළු අරිනවා. අසන්ධිමිත්තා නගරයේ කාර් පාර්ක් සේවිකාවක ලෙස තමයි වැඩ කරන්නෙ. දවසක මේ පාර්ක් එකට එන කළුපාට වෙසල් එකක ඉන්නවා ගෑනු තුන් දෙනෙක්. පොෂ් වගේ පේන කෙල්ලෙක් එහෙම. ඒත් ඒ අය රුපියල් පනහක් හෝ සීයක් අසන්ධිමිත්තාට දෙන්නත් ලෝබයි. "ටිකට් එක එපා ඔයා මේක තියාගන්න කියන්න තිබුණනෙ. අඩුතරමින් ගෑනුකමට. " දැන් මේ වෙසල් එක තියෙන්න යථාර්ථයෙ. පහුගිය කාලෙ වෙසල් රැල්ලක් ලංකාවෙ මධ්‍යම පන්තිය හරහා හමා ගිය නිසා වෙසල් එක මෙතෙන්ට නියම වාහනේ. ඒක එස්යූවී මායාවක් සපයන කාර් එකක්. දැන් මේ වෙසල් එක තියෙන්නෙ යථ කියන තලයෙ. ඒ ගෑනු තුන් දෙනා තමයි අසන්ධිමිත්තාට සහ විකීට පස්සෙ හම්බවෙන්නෙ. ඒ අයගේ මරණ වෙනුවෙන් තමයි අසන්ධිමිත්තා එල්ලුම් ගහට යන්නෙ. ඒ සියල්ල තියෙන්නෙ යථ කියන තලයෙ නෙමේ.
අසන්ධිමිත්තාගෙ ෆැන්ටසිය විනිවිද ගෙන මතුවෙන යථ නමැති තලයේ තුඩක් තියෙනවා. ඒ තමයි ඩබ්ලිව්. ජයසිරි. ඒ ඇගේ තථ්‍ය සැමියා වගෙයි පෙන්නෙ. ඔහු ඉන්නෙ අර මුලින්ම වෙසල් එක තියෙන තලයෙ.
මට දැනට මතක විදියට ජයසිරිව අපිට පෙන්නෙ අසන්ධිමිත්තගෙ දෘෂ්ටිකෝණයෙන් විතරයි. ඒ කියන්නෙ ඇය ඔහුව දකින විට විතරයි අපි දකින්නෙ.
ඒ වෙසල් එකේ ආපු ගෑනු ඉන්න ගෙදර ලිපිනයම සහිතව තවත් එක්තරා ස්ත්‍රියක අසන්ධිමිත්තට ලියුමක් එව්වද නැද්ද? මේ වගේ සිනමා රීතියක් තියෙන්නෙ ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නොවේ.
ඒත් දිලිසෙන වෙසෙල් එකෙන් නොවැසුණු ඛේදවාචකයක් ඒ තුන් දෙනාගෙ ජීවිතවලට තිබෙන බවත්, වික්‍රම වගේ කපටියෙකුට ඒ තිදෙනාගෙ ජීවිත වෙත ඉක්මනින් රිංගිය හැකි බවත් බවත් අපට පේනවා.
ඒ ජීවිතය වෙත සැබවින්ම රිංගා ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි බව පසක් වෙන කොට දරුණු කම්පනයක් ඇති වෙනවා.ෆැන්ටසියෙහි ඇති වේදනාවක් නම් එහි ඕනෑම තැනක තථ්‍ය හෙවත් යථ ඇනෙනසුලු යමක් සේ සැංගී සිටීමයි.
අප්පා මේ හදයා චිත්‍රපටියක් හදලා අපිට තියෙන කරදර. Barthes කිව්ව වගේ the really real ඇත්තටම real ද කියල අපට දැන ගන්න ලැබෙන්නෙ නෑ. (Ranciere. The Lost Thread. p. xiv) තර්කානුකූල කතා වින්‍යාසයේ කුරිරුකමින් කතාව බේරාගැනීම ගැන Ranciere වැනි අය කතා කරනවා.එහෙම කතාව බේරාගත්තම රසිකයාට වෙන දේ තමයි මේ!!
ලියනගේ අමරකීර්ති