දැකලා පුරුදු කෙනෙක් හඳගම 'ද්විත්වකරණය' කිරීමක් ද ?
අද 'දැකලා පුරුදු කෙනෙක්' සිනමාපටය බැලුවා. කැපිටාල් මහාරාජා, ඊ.ඒ .පී. වගේ සමාජ ප්‍රාග්ධන හෙජමොනියේ සිනමාපට එක්ක ගත්තම මේක ධනාත්මකයි කියලා හිතෙනවා. මේ සිනමාපටය බැලුවට පස්සෙ මට සිනමාව ගැන නොතිබුණ අලුත් ප්‍රශ්නයක් ඇති උනා . ඒ ප්රශ්නයේ කොනක් අසන්ධිමිත්තා එක්කත් පැටලෙනවා. මේ සිනමා පටයේ තිර රචනය බුපති නලින්ගේ. අධ්‍යක්ෂණය මලිත් හෑගොඩ ගේ. සාමාන්‍යයෙන් සිනමාපටයේ වගකීම හෝ අනන්‍යතාව බාර කරන්න අපි පුරුදු වෙලා තියෙන්නේ සිනමා අධ්‍යක්ෂකවරයාට. ඒ උනාට සමහර සිනමාපටවල සාරය තියෙන්නේ කතාව හා දෙබස් වල. කතාවක් තුළ චරිත පිහිටුවලා එම චරිතවලට දෙබස් දීලා චරිත හා පරිසරය කැමරාවට ග්‍රහණය කර ගැනීමට අදාළ විධිය මෙහෙමයි කියලා තිර රචනය කිරීම සිනමා කෘතියක වගකීම හා අනන්‍යතාව හැටියට අධ්‍යක්ෂකවරයා තරමටම බැඳෙන දෙයක් කියලා මට දැනිලා තිබුණේ හඳගමගේ සිනමාපට වලින්. මොකද හඳගම තමයි එයා හදන හැම සිනමාපටයක ම කතාව, දෙබස් හා තිර රචනය ලියන්නෙත්. ගීත උවනමානම් ඒවා පවා ලියන්නේත් හඳගමමයි . හඳගමගේ සිනමාපට වල දෙබස් හරි තීරනාත්මකයි. ප්‍රභලයි . වචනයේ භාෂාවට වැඩිපුර අවධානයක් යොමු කරන හින්දා සමහරු කියන්නේ හඳගමගේ සිනමාව විමුක්තිගේ වගේ සිනමාත්මක නැහැ කියලා. හඳගම මෙම ඊනියා සිනමාත්මක ස්වභාවය බිඳින තැන තමයි හඳගමගේ අනන්‍යතාව තියෙන්නේ. හඳගම හැර වෙනත් කෙනෙකුගේ කතාවක් හා දෙබස්වලට එයා සිනමාපටයක් හදනවා කියන එක මට හිතා ගන්නවත් බැහැ. හඳගමගේ වාචික භාෂාව, එහි ලයත් එක්ක එකට පැටලෙන සිනමා භාෂාවක් තමයි කාලාන්තරයක් තිස්සේ එයා මෙහෙයවන්නේ. ඒක හඳගමගේ සමාජ දේශපාලන දෘෂ්ටියක අනුහසට යටත් උන සිනමා භාෂාවක්. වේදිකාව, හඳගම කැලණිය විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලේ විශ්ව විද්‍යාල කලා උළෙලවල්, ඒවායේ උප කලා සංස්කෘති, ශිෂ්‍ය ව්‍යාපාර වල කලා වැඩ, ජනහිතකාමී කලා ව්‍යාපෘති ඔය වගේ එතිහාසික සන්දර්භයකින් උත්පාදව කාලයාගේ ඇවෑමෙන් ව්‍යක්ත උන ඒ වගේම පිරිපහදුවට ලක් වෙලා අරටුවක් බවට පත් වෙලා ඔහුටම ස්වායක්ත උන සිනමා ලයක් තමය් හඳගමට තියෙන්නේ. සරලව කිව්වොත් එයාගේ සිනමාපට දේශපාලනිකයි. හඳගමට අනන්‍ය ය. plot එක, චේදන ක්‍රම, කැමරා කෝන ඔය මොනවා හරි ලෝක සිනමාවක කෑලි හැටියට අරගෙන කව්රු හරි මොන කතා කිව්වත් නාටකීය අයුරින් වාචික භාෂාව ප්රමුඛව ගෙන හඳගම කරන සිනමාවේ විශේෂත්වයක් තියෙනවා .. දැකලා පුරුදු කෙනෙක් තුළ බුපති නලින් හරහා හඳගමගේ පරිසමාප්ත සිනමා බස නොවන එහෙත් හඳගමගේ 'වාචික ප්‍රකාශන මාවත' හඳගමට වෙනස් ලයකින්, අනන්‍යතාවකින් බුපති දැකලා පුරුදු කෙනෙක් සිනමාපටය තුළ අතුරුවල තියෙනවා. මේ සිනමා පටයේ එක තැනක සචිත්රගේ බිරිඳ සහ සොහොයුරෙකු පාරේ ඇවිදගෙන කතා කර කර කුඩයක් ඉහලාගෙන යන ගමන තුළ දෙබස් රටාව, දෙබස් මගින් වේදිකා නාට්‍යයක මෙන් හඳගම වාචික ප්රකාශනයට ප්‍රමුඛතාව දෙමින් එයාගේ සිනමා භාෂාව භාවිතා කරන විලාසයකි .එය එහෙම වෙද්දී කැමරාව වෙත සියුම්ව නළු නිලියන් මෙහෙයවා අපූරුවට කතාන්දරය හඳගමට වෙනස් ලයකින් හෑගොඩ සිනමාත්මක කරලා තියෙනවා.
මෙමගින් මට කියන්නට ඔනෑ කරේ දැකලා පුරුදු කෙනෙක් යන සිනමාපටය දෙබිඩි ද්විත්ව අනන්‍යතාවක් විශද කරන බවය. එතකොට කව්රු හරි මගෙන් අහාවී මෙතෙක් ලංකාවේ බිහි උන සිනමාපට එහෙම ඒවා නොවේද කියලා. එහෙම නැහැ. ඒවා හඳගම ගෙ වගේ වාචික භාෂාවට වැඩි බරක් තියපු සිනමාපට නෙමෙය්. අපි අසවල් අධ්යක්ෂ කගේ කියලා සිනමාව හැඳින්නුවාට එකම කෙනාගේ සිනමාපට බොහෝදුරට එකින් එක වෙනස්. උදාහරණයක් ගත්තොත් ප්‍රසන්නගේ පවුරු වළලු හා පුරහඳ කළුවර එකිනෙක සපුරා වෙනස්. හඳගමගේ සිනමාව එහෙම නැහැ. හඳගම ටෙලියක් කරත්, කෙටි චිත්‍රපටයක් කරත්, යුද්ධය තේමා කරගෙන කරත්, දාර්ශනික තලයක් තේමා කරගෙන කරත්, විදූ වගේ සරළ ජනප්‍රිය සිනමාපටයක් කරත් හඳගමගේ සිනමා අනන්‍යතාව කැපිලා පේනවා. මේකට හේතුව හඳගමගේ සිනමාරුපික භාෂාව හා හඳගමගේ වාචික භාෂාව එක්ක බැඳුණ නාටකීය විලාසය. දැකලා පුරුදු කෙනෙක් තුළ තියෙන්නේ දෙදෙනෙකු හැටියට මෙම විලාසය එකට එක් කිරීම. සිනමාව කර්මාන්තමය සහ පිරිසක් සමග කරන කලාවක් නිසා එය ආවේශයකින් පිළිපන් අව්‍යාජ කලාවක් හැටියට ගැනීම අපහසු ය. කර්මාන්තමය සහ පිරිසක් සමග කරන කලාවක් උවත් හඳගමගේ කලාව හරියට චිත්‍රයක් වගේ ආවේශය, පුදගලානුබද්ධකම කිසියම් දුරකට රැඳුණ aesthetic ගණයට දැමිය හැක්කේ හඳගමගේ සිනමාරුපික භාෂාව හා හඳගමගේ වාචික භාෂාව එක්ක බැඳුණ නාටකීය විලාසය නිසා ය.
බුපති සහ හෑගොඩ හැටියට පමණක් නොවෙය් එම සිනමාපටය විචාරය කර ගැනීමට බුපතිලාට ජගත් වීරසිංහ ලා වගේ සිනමා විචාරකයන් නොවන ෆීල්ඩ් එකෙන් පිටස්තර අය ගෙන්වා ගන්න පුළුවන් වන්නේත් මේ සබුද්ධිකකම නිසා ය. ජගත් තීර්ථ NGO ව මගින් කළ සියලු ප්‍රකාශන එලි දැක්වුයේ අද ජගත් ගෙන්වලා ඔහු ලවා සිනමාපටය ගැන කතා කරවන මහවැලි කේන්ද්‍රයේ නොවේ. මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, ජාතික පුස්තකාල ශ්‍රවනාගාරය, නව නගර ශාලාව කියන තැන් වල නෙමේ. එයා තොග ගණන් පොත් එලි දක්වූයෙ හොර රහසේ චිත්‍ර කලාවට සම්බන්ධ එයාගේ ම පිරිස් පමණක් කැන්දගෙන අප්‍රකට පුංචි පුංචි තැන් වලය. ඒ පොත් සඟරා විකුනන්න තියෙන්නෙත් පොත් සාප්පු වල නොව ආර්ට් මෙටීරියල් ෂොප් වල ය. නැත්නම් එයාගේ බුවල්ලන් පිහිට වූ විශ්ව විද්‍යාල පීඨ වලය. ජගත් ඔහුගේ නමින් ඇති උනාය කියන බහු විලාස ප්රවනතාවක් වෙනුවෙන් කරන ලද ව්‍යාපෘතිය මේ වනවිට අවසාන වී ඇති අතර සංරක්ෂණ ප්‍රයෝගයක් හැටියට දැන් ඔහු කරන්නේ බුපතිලගේ combined සිනමාව සමග පබ්ලික් තැන් වලට අද වනවිට ඇවිත් සිනමාව ගැන කතා කිරීම ය. මෙහි පුදුම උපදවන කාරණය ජගත් බුපතිලගේ සිනමාව ගැන කතා කරාට තවම බුපතිලා ජගත්ගේ චිත්‍ර ගැන, අහිංසකයන්ගේ ආරාමය ගැන කතා නොකර තිබීම.
Unfaithful සිනමා පටය මගින් බටහිරයන් මධම පන්තියේ මෙබඳු තේමාවක් කතා කරේ 'න්‍යෂ්ටික පවුල' පදනම් කරගෙන ය. ලංකාවේ දැකලා පුරුදු කෙනෙක් මගින් මධ්‍යම පන්තියේ මෙබඳු තේමාවක් කතා කරන්නේ 'විස්තෘත පවුල' පදනම් කරගෙන ය. Unfaithful සිනමා පටය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. දැකලා පුරුදු කෙනෙක් අවසන් වන්නේ ඛේදවාචකයකින් නොව විස්තෘත පවුල්වල උදවිය ප්රශ්නය සමතුලිත කිරීම් මධ්‍යයේ හිඟන්නාගේ සුව නොවන තුවාලයක් හැටියට ය. අනාගතයට ඉතුරු කරලා ය. එසේ වෙන්නේ සැබෑවටම ලංකාවේ මධ්‍යම පන්තිය එසේ වන නිසාද නැත්නම් සිනමා නිර්මාපකයන්ගේ ජීවන දැක්ම සිනමාව සමග අතිපිහිත වන නිසාද ? හඳගමගේ තනි තටුව ෂාප් ඛේදවාචකයකින් අවසන් කොට ස්වදෙශිකයාට හිතන්න දෙයක් දී එය ලංකාවේ මඩගොහොරුවට දේශපාලනික වෙන විට යලි යලි ගෙතී ගෙතී තුවාලය සමග විඳවන්න අපටද ආරාධනා කිරීමේ අවසානයකින් දැකලා පුරුදු කෙනෙක් නිමා කිරීම එහි අදේශපාලනිකකම ය. යුගයේ වේදනාවේ උපයෝගීතාවාදය ය. කාන්ස් සිනමාවාදී පෙරේතකම ය. හඳගමගේ දේශපාලනික නාටකීය සිනමා භාෂාව අවභාවිතයට ලක් කිරීම ය.
එහෙත් මේ සිනමාපටයේ මගේ සිත් ගත් මා මෙතෙක් නොදැකපු අපූරු සිනමාත්මක යෙදවුමක් වන්නේ සිය ස්වාමියා සිය බිරිඳ සියල්ලෙන් කොටු කර තිබුණත් මුළු ලෝකයට හොරා අනියම් ආදරවන්තයා මුළු සිනමාපටය පුරාම කෝප්පයක් හැටියට 'ආදරයේ වස්තුවක් ' වේශයෙන් නිවස තුළම බිරිදට ආත්මීය කිරීම ය. එහෙත් විශ්මයජනක කාරණය වන්නේ මංගල මුදුව සිනමාපටය අවසානයේ ප්‍රේක්ෂකාගාරයට පෙන්වා නැවත ප්‍රේක්ෂකාගාරයට හඳගමගේ සිනමා භාෂාවෙන්ම සරදම් කොට චිත්‍ර කලා සමාජයේ 'පවුල' යන සංස්කෘතික සංකල්පය කෙලසූ ජගත් වීරසිංහ ලා වැනි නිදහස් පොරවල් මහවැලි කේන්ද්‍රයට ගෙන්වා දෙවෙනි කොටස හැටියට අපට සරදම් කිරීමයි.!
නවකතාවකට හඳගම අසන්ධිමිත්තා කරපු නිසා මේ combined සිනමාව එක්ක පැටලෙනවාද නැද්ද හඳගමගේ ලකුණ දිය වෙලාද නැද්ද කියලා කියන්න තවම බැරි මම ඒක තවම බැලුවේ නැති නිසා. අද 'දැකලා පුරුදු කෙනෙක්' බලලා අනෙක් පැත්තට 'අසන්ධීමිත්තා' නොබලා මම ගෙදර ආවේ මට තාම එක මනෝභාවයකින් තව මනොභාවයකට මාරු වෙන්න බැරිකම නිසා.
-සුජිත් රත්නායක