ප්‍රංශ මහා විප්ලවයට උත්තේජනයක් වූ එසේත් නැත්නම් ප්‍රංශ මහා විප්ලවයේ කලාව ලෙස හැඳින්වූ නව සම්භාව්‍යවාදයට (Neo-Classicism) අයත් කෘතියකි. විප්ලවයේ සිත්තරා ලෙස ශාක් ලුවී ඩේවිඩ් ට අවශ්‍ය වුයේ ප්‍රභූ පන්තියේ කිරුළ දැරූ රොකෝකෝ කලාවෙන් කරන්න බැරි වූ දේ ග්‍රීක රෝම කලාවෙන් ආවේශ ගැන්වූ නව සම්භාව්‍ය වාදය හරහා විප්ලවයට මග පැදිමටයි.
ප්‍රංශ මහා විප්ලවයට සමගාමිව නව සම්භාව්‍යවාදයේ පැනනැගීම ප්‍රංශ ප්රබුද්ධතාවාදය ආවේශ ගැන්වීමට වගබලා ගත්හ. මෙවන් පසුබිමක ඩේවිඩ් විසින් අඳින ලද සොක්රටීස්ගේ මරණය ප්‍රංශ විප්ලවය අභියස සිට කරන ලද අසහාය නිර්මාණයකි. ග්‍රීක මහා දාර්ශනික සොක්රටීස් මාරාන්තික හැම්ලොක් විෂ බඳුන පානය කිරීමට සැරසෙන ඓයිතිහාසික මොහොත මෙයින් නිරූපණය වෙයි. කම්පනය දරාගත නොහැකි ශ්‍රාවකයන් නරඹන්නා සමග අනන්‍ය වන්නේ තම ගුරුවරයාගේ වෙන්වීම දරාගත නොහැකි වලප්නාවක නාටකීය ජවනිකාවක් ලෙසිනි .අඳුරු සිර කුටිය තුළ සොක්රටීස් නොබිඳුණු සිතින් එඩිතරව සහ සත්‍යවාදී ලෙස ඔහුගේ දකුණු අත ඉහළට එසවී තිබීම සංකේතාත්මක අර්ථයක් ජනනය කරයි. සත්‍යයේ ගිනිසිළුව ලෙස දඹරගිල්ල ඉහළට දික් කරමින් දේශනාවක ඉරියව්ව පෙන්නුම් කරන්නේ භෞතිකව දිළිඳු වුවත් චින්තනයේ මහා ධාරිතාවයි. සාධාර්මික ජීවිතය සහ භාවිතය සොක්රටීස් මැරෙන මොහොතේත් ප්රත්යක්ෂ කළේය. ඔහු ඒ වෙනුවෙන් ජීවිතය පුජා කළේය.
මෙම අනුවේදනීය ප්රතිවිරෝධතාවය තුළින් ගෙනෙන ආතතිය ඩේවිඩ් අපූරුවට සිතුවමට හසුකරගැනීමට සමත් වේ. සිය කැමැත්තෙන් මරණ තීන්දුවට යටත්වන සොක්රටීස් ගේ මෙම තීරණය ප්රතිවිරෝධතාවයට හේතුවයි. තම ගුරුවරයා ස්ව කැමැත්තෙන්ම මරණය තෝරා ගැනීම කෙසේ දරාගන්නද? ප්රතිවිරෝධතාවයත් සමග කුතුහලය වේදනාව වික්ෂිප්තභාවය, තැතිගැන්ම ක්ෂතිමය අත්දැකීමක් බවට පත් කරන්න ඩේවිඩ් සමත් වෙයි. හැඩිම්, වැළපීම් මැදම සොක්රටීස් ගේ උඩට එසවුණු හස්තය කියා සිටින්නේ කුමක්ද? ආචීර්ණකල්පිත පුරවැසි චින්තනය ඉවත දැමීමටත් නව චින්තනය මත ස්ථිරසාර දැක්මක් ඇතිකරගැනීමටත් පොළඹවන සුළු බලකිරීමකට එහි සලකුණු කරයි. සොක්රටීස් සත්‍ය ඉතිරි කර තබා මරණය වැළඳ ගත්තේ ශිෂ්‍යන්ට සත්‍ය සමග ඊ ළඟ පියවර තැබීමට අවශ්‍ය මානසික උත්තේජනය සලස්වමිනි .රළු මතුපිටක් සහිත ගල් බිත්තිය, පිටුපස අඳුරු දෝනාව, නාට්‍යානුසාරී ශ්‍රාවක හැසිරීම් ආදිය සංරචනයේදී ඩේවිඩ් ග්‍රීක රෝමසංස්කෘතියේ කලා ශානරයන් නව සම්භාව්‍යවාදයට ගළපා ගන්නේ ඒ අර්ථයෙන්ම නොවන බව පැහැදිළිය .ගුරුවරයා මරණය තෝරගනිද්දී ශිෂ්‍යන්ගේ චිත්තාභ්‍යන්තරයේ හැඟීම් කලාපය එළියට ඇඳ පෙන්වන්නේ ඉතාමත් ශුකෂ්ම අන්දමිනි. නිවට නියාලු බිඳ වැටුණු මානසිකත්වය කැන්දාගෙන නොඑන සොක්රටීස් තාමත් ශිෂ්‍යන්ගේ වීරයෙක් කිරීමට ඩේවිඩ් සමත් වෙයි. චිත්රයේ හරි මැද වීරයා වික්රමන්විතව සිටින අතර වම් කෙලවර චිත්රයේ අඳුරු දෝනාව කියාපාන්නේ ශිෂ්‍යන්ගේ චිත්තාභ්‍යන්තරයේ අන්දකාරයද විය හැකිය .එකවර එලිය සහ අඳුර යන සහ -සම්බන්ධ ප්රතිපක්ෂය මානසික ලෝක දෙකක් හරහා ඩේවිඩ් අපට සම්මුඛ කරන්නේ පේලියට කියවිය හැකි අනගි සිතුවමක් ලෙසිනි.
The Death of Socrates is an oil on canvas painted by French painter Jacques-Louis David in 1787
ප්‍රගීත් රත්නායක විසිනි