බොහොමයක් මිනිස්සු සතුට හොයන්නේ අන්ධයෝ වගේ. මිනිස්සු ජීවත් වෙන්නේ සංතෘෂ්ටි අන්ධභාවයක. මොකද බොහෝ වෙලාවට අපිට දැනෙන්නේ සතුට කියන්නේ අපෙන් හැතැප්ම දහස් ගාණක් තරම් දුරින් තියෙන දෙයක් කියලා. ඒ නිසාම මිනිස්සු ඒ සතුට හොයාගෙන සෑහෙන්න දුර යනවා. ඒක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙනවා. අන්තිමේ තමන් යන්න දැඟලුව තැනට ආවටත් පස්සේ දැනෙනවා සතුට තියෙන්නේ එතැනත් නෙමෙයි කියලා. මිනිස්සු සතුට හොයාගෙන කොච්චර වටරවුම් ගැහුවත් සමහර වෙලාවට සතුට තියෙන්නේ තමන් ළඟම වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපිටම ඒක නොපෙනෙන එක. සතුට හොයාගෙන ජීවිතේ හැතැප්ම දාස් ගණන් ඇවිදපු සමහර මිනිස්සුන්ට මතක් වෙනවා ගමන පටන් ගත්ත තැනම සතුට තියලා ආවා නේද කියලා. ඒක තමයි මම කියපු අන්ධභාවය. සංතෘෂ්ටි අන්ධභාවය. Njan prakashan කියන්නේ "සතුට" ගැන හරි අපූරු උදාහරණයක් අරන් එන සිනමා සිත්තමක්.
ප්‍රකාශන් කියන්නෙ හඳට පොලු ගහලා අඹයක් විතරක් කඩාගත්ත ජාතියේ මනුස්සයෙක්. මොකද දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කරපු ප්‍රකාශන්ට සිද්ද වුණේ පිරිමි නර්ස් කෙනෙක් වෙලා නවතින්න. උත්සාහයේ තරමට ප්‍රථිපල නැති නිසාම ප්රකාශන්ගේ ජීවිතේ ගෙවුණේ කණස්සල්ලෙන්. ප්‍රකාශන් තමන්ගේ රස්සාව ගැන තඹ සතේකට සතුටු වුණේ නෑ. ඒ නිසාම ප්‍රකාශන් රස්සාවක් නැතුව වෙන විකල්ප හෙවුවා. ප්‍රකාශන්ට ඕන වුණේ ජර්මනියට යන්න. ජර්මනියට ගිහින් හොඳ වැටුපක් ලබන හෙද නිලධාරියෙක් වගේ සැපපහසු ජීවිතයක් ගෙවන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැතුව ලේසිම සහ කෙටිම ක්‍රම හොයාගන්න ප්‍රකාශන්ට ඕන වුණා. කොහොමින් හරි ජර්මනියට යන හෙදියක් වෙච්ච සැලොමි කියන කෙල්ලව කසාද බැඳගෙන හරි තමන්ගේ ගමන යන්න ප්‍රකාශන් උත්සාහ කරනවා. තමන්ගේ සතුට තවත් කෙනෙක්ගේ කර උඩින් තිබ්බට පස්සේ තමයි ප්‍රකාශන්ට තේරෙන්නේ තමන්ට වැඩේ වැරදුණා කියලා. වැරදිච්ච හැටි කියන්න ගියොත් හරි සිනමාපටයේ ඉතුරු ටික කියන්න ගියොත් ඒක සිනමාපටය බලන්න ඉන්න අයගේ කුතුහලයටත් රසවින්දනයටත් බාධාවක් වෙන හින්දා ඒ කොටස් නොලියා සිටීම හොඳයි.
කොහොමවුණත් ප්රකාශන්ගේ ජීවිතය හැරෙන්නේ ඔහුට සිද්ද වෙන වැරදීම් එක්කමයි. තමන් ඉගෙන ගත්ත හෙදකම පාවිච්චියට ගන්න වෙන තැනට ප්‍රකාශන් වැටෙනවා. ඒ විදිහට ගිහින් වැටෙන තැනත් ප්රකාශන්ගේ වෙනසට හේතුවක් වෙනවා. ඔහුට සිද්ද වෙනවා කිසියම් අසනීපයකින් පෙළෙන ඉස්කෝලේ වයසේ කෙල්ලෙක්ව බලාගන්න. මේ දැරිවිගේ නම ටීනා. ටීනාව බලාගන්න එක එසේ මෙසේ වැඩක් වෙන්නේ නෑ. ටීනා ඒ තරමට ඇට්ටර කෙල්ලක්. විකල්පයක් නැති කමින්ම ප්‍රකාශන්ට සිද්ද වෙනවා ටීනව බලා කියා ගන්න. ප්රකාශන්ගේ ඇතුලේ ජීවත් වෙච්ච වෙනස් මිනිහා එතැනදී ඇහැරෙනවා. ඒ ටිකත් ලිවුවේ නොබැලූ අයගේ කුතුහලය වෙනුවෙන්. නොබැලූ අය හොයාගෙන බලන්න.
සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙච්ච අකාෂ් නොහොත් ප්රකාශන්ගේගේ චරිතයට පණ පොවන්නේ මලයාලම් සිනමාවේ විශිෂ්ට චරිතාංග නළුවෙක් වෙච්ච ෆහාඩ් ෆසීල්. තමන් කරන්නේ රංගනයක් කියන දේ එක මොහොතකටවත් ප්‍රේක්ෂකයාට නොදැනෙන්න ඇරීම තමයි මම ඔහුගේ දුටුව විශේෂත්වය. මේ සිනමාපටය බලද්දී මට සිහි වුණේ 2016 වසරේ නිකුත්වුණු ඔහුගේ Maheshinte Prathikaaram සිනමාපටය. ගමක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ ගති ස්වභාවයන්වලට අනුගත වෙලා රංගනයේ යෙදෙන්න ඔහුට තියෙන්නේ අසමසම රංගන හැකියාවක්. ඒ ස්වභාවය මේ සිනමාපටය පුරාවටත් හොඳට දැනෙන දෙයක්. Njan prakashan ජීවිතය ගැන කියන කතාවක් වුණත් ආරම්භයේ ඉඳන් අවසානය වෙනකල් හිනා වෙවී බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. අපිට අපේම ගති ස්වභාවයන්වලට හිනාවෙන්න අවස්ථාව හදලා දෙන සිනමාපටයක්.
සටහන - අයේෂ් ලියනගේ