සිංහල සිනමාවේ පැවැත්ව තීරණය වන මුඛ්‍ය මෙන්ම ප්රමුඛ සාධකය ප්‍රේක්ෂකාගාරය වූවත් සිනමෝත්තේජන කාර්යෙහිලා සබහුමානික අවස්ථාවන් සිදුකරන කාර්යභාරය අතිමහත් ය. ඒ අනුව ලාංකේය සලරූ සැබිය ඔද වඩනු වස් සරසවිය, ජනාධිපති, සිග්නීස්, දෙරණ සහ හිරු යනාදී වශයෙන් ප්‍රධානතම සිනමා උළෙල පහක් අද්‍යතනයේ පැවැත්වෙන බව නොරහසකි. ඉන් 2019 වසරෙහි එළිදැක්වෙන 2018 සිනමා වසර උක්ත කොටගත් පළමු සිනමා සම්මාන උළෙල වන දෙරණ ලක්ස් සිනමා සම්මාන ප්රදානය හත්වෙනි වරට ඊයේ (ජුනි 28) සන්ධ්‍යාවේ කොළඹ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ දී පැවැත්විණි. එනමුදු "සම්මාන උළෙල" යනාර්ථය තුළ මෙම අවස්ථාව ස්ථානගත කළ හැකිද යන්න සිතා බැලීමේදී ඊට සුදුසු ම වචනය ලෙසින් මා මෙම සටහනෙහි මෙම අවස්ථාව හඳුන්වනුයේ දෙරණ සිනමා සම්මාන ප්රදානය ලෙසිනි. මන්ද උත්සවය යනු වර්ණාලිප්ත සන්ධ්‍යාවකට එහා ගිය ගුණාත්මකත්වයක් රජයන ප්‍රමිතිගත උත්කර්ෂයක් නිසාවෙනි. කෙසේ නමුදු 2018 සිනමා වර්ෂයෙහි තිරගත කර ප්‍රදර්ශනය අවසන් කෙරුණු චිත්‍රපට 25 ක් සලකා බලමින් කරළියට නැංවුණු දෙරණ සිනමා සම්මාන ප්රදානයේ තිරය ඉදිරිපිට දෘෂ්‍ය ප්‍රශංසනීය අවස්ථාවන් ඇගයීමත්, ආසාධාරණ ප්‍රකට කළ අවස්ථාවන් විවේචනාත්මක ව හෙළා දැක්මටත් මෙය අවස්ථාවක් කරගනිමි.
චිත්‍රපටයක ගුණාත්මක බව රඳා පවතිනුයේ තිර නාටකය මත මෙන්ම සම්මාන උළෙලක ගුණාත්මක බව මෙන්ම හදවත වන්නේ උත්තරීතර ජූරී සභාව හෙවත් විනිශ්චය මණ්ඩලයයි. ජනතා මනාපයෙන් වෙන්වන සම්මාන හැරුණු විට සෙසු ප්‍රධාන සියලු සම්මානයන් හි වගකීම ජූරිය සතුය. හත්වැනි දෙරණ සිනමා සම්මාන ප්රදානයේ ගරු ජූරිය සිනමාවේ නම් දැරූවන් පස්දෙනෙකුගෙන් සැදුම්ලත් අතර ඔවුහු නම් ජේෂ්ඨ ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියානි අමරසේන, ජගත් කීර්තිධර සිනමා කලා අධ්යක්ෂ එරල් කෙලී, චිත්‍රපට විචාරිකා සහ සිනමාවේදිනී අනෝමා රාජකරුණා, සිනමා නිර්මාණවේදී සහ දෘෂ්‍ය ප්‍රයෝග ශිල්පී බුඩී කීර්තිසේන සහ ජනප්‍රිය ප්‍රතිභාන්විත සංගීතවේදී, සම්මානනීය ගායක සහ සංගීත අධ්‍යක්ෂක නදීක ගුරුගේ වැන්නෝ ය. චන්දන වික්‍රමසිංහ, ගයාන් ශ්‍රීමාල් සහ සතිෂ් හෙට්ටිතන්ත්‍රිගේ ප්රමුඛ නර්තන ඉදිරිපත් කිරීම් මැද වොරැදෙමින් ඇරඹි සිනමා සම්මාන රාත්‍රියෙහි පළමු සම්මානය වූයේ ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවෙකු හට හිමිවෙන යාවජීව ගෞරව සම්මානයයි. සිංහල සිනමාවේ අනුපමේය අමිල නිමල තාරුණ්‍යයේ රූපණ පෞරුෂය වූ හිතුවක්කාර සිනමා යෞවනයේ හැත්තෑවේ දාංගලය ලෙසින් සබහුමානිත ජේෂ්ඨ සිනමා රංගධර අමරසිරි කලංසූරිය කලාකරුවාණන් එම යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ අතර එය අතිශය ප්‍රශංසා කටයුතු කර්තව්‍යයකි. මන්ද සිංහල සිනමාව අද්‍යතනයේ අන්තර්ජාතික තලය මත වැජඹෙන්නට පවා මුල්කාලීන ප්‍රාණ ජීවයන් වූයේ ඔවුන් බැවිනි. ඉන්පසු රංගනය ප්‍රධාන සිනමා කාර්මික අංශයන් ද නියෝජනය කරමින් සම්මාන ප්‍රධානය ඇරඹුණි. ඒ මෙසේය,
හොඳම චිත්‍රපට රංග වස්ත්‍ර නිර්මාණය වෙනුවෙන් "නෙලා" චිත්‍රපටයේ අතුල සුල්තානාගොඩ, "ඝරසරප" චිත්‍රපටයේ පියතිස්ස අකුරම්බොඩ, "මධුර චාරිකා" චිත්‍රපටයේ ශාන්ති වර්ණසූරිය සහ "කෝමාලි කිංග්ස්" චිත්‍රපටයේ මෙලනි ගුණසේකර යන නිර්දේශ අතුරින් මෙලනි ගුණසේකර වසරේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානයට පාත්‍ර වූවාය. එනමුත් "නිදහසේ පියා DS" වැනි චිත්‍රපටයක වස්ත්‍ර නිර්මාණය සඳහා වූ වෙහෙස නිර්දේශයක රන්ඳවන්නට ජූරිය උත්සුක වී නොතිබිණි. ඉන්මතු හොඳම වේෂ නිරූපණය නොඑසේනම් අංග රචනය වෙනුවෙන් වූ සම්මානය සඳහා රංජිත් මතඟවීර සහ ඊබට් විජේසිංහ "වෛෂ්ණාවි" චිත්‍රපටය වෙනුවෙන් ද, වසන්ත පූර්ණවංශ "කෝමාලි කිංග්ස්" චිත්‍රපටය වෙනුවෙන් ද, ප්‍රියන්ත දිසානායක "නෙලා" සහ "දැවෙන විහඟුන්" චිත්‍රපට සඳහා ද නිර්දේශ වූහ. ඒ අතුරින් හොඳම වේෂ නිරූපණය සඳහා "දැවෙන විහඟුන්" චිත්‍රපටය සඳහා දායක වූ ප්‍රියන්ත දිසානායක සම්මානයට පාත්‍ර විය. නූතන සිනමාවේ ආකර්ෂණීය නිර්මාණාංගය වූ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග භාවිතාවේ ප්‍රශස්තම නිර්මාණකරු වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සඳහා "කළුහිම" චිත්‍රපටයේ සිද්ධාර්ථ නයනානන්ද, "වෛෂ්ණාවි" චිත්‍රපටයේ චමත් පරණවිතාන සහ "ඝරසරප" චිත්‍රපටයේ අනුජ බාසුරු නිර්දේශ වූ අතර සම්මානය සිද්ධාර්ථ නයනානන්ද හට හිමිවිය. ප්‍රශස්තම ආලෝකකරණය සහ වර්ණ සංයෝජනය සඳහා දෙරණ සිනමා සම්මානයන් වෙන් නොවුණු අතර සිනමාවේ අත්‍යන්තයෙන්ම අවශ්‍ය අංගයන් ද්විත්වයක් එලෙසින් සම්මානයට බඳුන් නොකළේ කුමන හේතුවක් නිසාවෙන් දැයි උපන්නේ ප්‍රශ්නාර්ථයකි. ශබ්ද සැලසුම්කරණ සහ පරිපාලනය වෙනුවෙන් "මැතිව්" චිත්‍රපටය සඳහා ජේම්ස් රත්නම් සහ අරුණ ප්‍රියන්ත කළුආරච්චි ද, "නිදහසේ පියා DS" චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවීන් ජයරත්න ද, "ඝරසරප" චිත්‍රපටය වෙනුවෙන් ඩිලාන් ගුණවර්ධන ද සහ "ගෝල්" චිත්‍රපටය වෙනුවෙන් යළි අරුණ ප්‍රියන්ත කළුආරච්චි ද නිර්දේශ වූහ. ඉන් අරුණ ප්‍රියන්තයන් සහ ජේම්ස් රත්නම් "මැතිව්" සිනමාපටය උදෙසා හොඳම ශබ්ද සැලසුම්කරණය සඳහා සම්මානයට පාත්‍ර විය. චිත්‍රපටයක මනෝඥ විචිත්රත්වය අගය කරණු පිණිස පිරිනැමෙන හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා "බිම්භා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටයේ බිමල් දුෂ්මන්ත, "කළුහිම" චිත්‍රපටයේ ජයන්ත අමරසිංහ, "නෙලා" චිත්‍රපටයේ ලාල් හරින්ද්‍රනාත් සහ "වෛෂ්ණාවි" චිත්‍රපටයේ උපතිස්ස ඉලංගකෝන් යන ශිල්පීන් නිර්දේශ වූහ. ඒ අතරින් පසුගිය කාලයේ අභාවප්‍රාප්ත වූ උපතිස්ස ඉලංගකෝන් සූරීන් සම්මානයට පාත්‍ර වූ අතර නැසීගිය පුද්ගලයෙකු වෙනුවෙන් හෝ චංචල නොකළ ස්වාධීන විනිශ්චයක් ලබා දීම හේතුවෙන් ජූරිය පැසසුම් හිමිවිය යුතු වුවත් පෙර පරිදි ම "නිදහසේ පියා DS" වැනි නිර්මාණයක් නිර්දේශ අතර හෝ නොමැති වීම පිළිබඳ ඇත්තේ අසතුටකි. චිත්‍රපටයේ පළමු ප්රමුඛ නේත්රයෙහි ගුණාත්මක ඇගයුම උදෙසා පිරිනැමෙන හොඳම සිනමා කැමරාකරණය සඳහා වන සම්මානය වෙනුවෙන් "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ කාලිංග දේශප්‍රිය, "මැතිව්" චිත්‍රපටයේ චන්දන ජයසිංහ, "කළුහිම" චිත්‍රපටයේ පූර්ණ ජයසිරි සහ "එකදවසක අපි" චිත්‍රපටයේ චින්තක සෝමසිරි නිර්දේශ වූ අතර ම චන්දන ජයසිංහ සම්මානයට පාත්‍ර විය. කෙසේ නමුදු "ඝරසරප" හි ප්‍රභාත් රෝෂන් සහ "ගෝල්" හි විශ්වජිත් ගුණසේකර හා සසඳන කළ "එක දවසක අපි" නිර්දේශ කෙරුණේ කුමන නිර්නායක් මතදැයි සිතාගැනීමට අපහසුය. අතිශය සාධාරණ වශයෙන් කැපීපෙනෙන ජූරී තීරණ ත්‍රිත්වයක් ලෙසින් තිර රචනය, අධ්‍යක්ෂණය සහ සංස්කරණය සඳහා සම්මානයන් හිමිවුණ අතර පිළිවෙළින් එම සම්මානයන් "ඝරසරප" හි තිර රචක ජයන්ත චන්ද්‍රසිරි හටත්, "දැවෙන විහඟුන්" හි අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර හටත් මෙන්ම "මැතිව්" හි ජේම්ස් රත්නම් හටත් හිමිවීම සාධාරණය. ඒ සමගින් කාර්මික සිනමා කාර්ය සපිරිවර සඳහා වූ ඇගයුම් පිරිනැමීම පිළිබඳ අදහස නිමා කළ හැකි අතර ඉන්පසු වටිනාම කොටස වන්නේ සිනමා පෝෂක මාධ්‍යයන් ය. සිනමාපටයක රූපණය තරමට ම එහි සංගීතය තුළින් ගොඩනැගෙන නාදානුභාවයට ද ප්‍රේක්ෂකාගාරය බෙහෙවින් ම ඒකාත්මික ය. එහෙයින් ප්රශස්ත සංගීත අධ්‍යක්ෂණයක් සාර්ථක චිත්‍රපටයක් නිර්මාණයෙහිලා සිදුකරනුයේ අපිරිමිත ක්‍රියාන්විතයකි. දෙරණ සිනමා සම්මාන ප්රදානයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා නිමල් මෙන්ඩිස් "වෛෂ්ණාවි" චිත්‍රපටය සඳහාත්, ඩේවිඩ් ෂෙපර්ඩ් සහ ආර්. අබූජි "දැවෙන විහඟුන්" සඳහාත්, මොරිස් හෙයිස් "මැතිව්" සඳහාත් මෙන්ම නවරත්න ගමගේ "එක දවසක අපි" සඳහාත් නිර්දේශ වූ අතර අභාවප්‍රාප්ත කෘතහස්ත සංගීතවේදී නිමල් මෙන්ඩිසුන් සම්මානිත වූයේය. එය අත්‍යන්තයෙන්ම පෙර සේ අගයන අතරම නවරත්න ගමගේ වැනි විශේෂ සංගීත නිර්මාණකරුවෙකු පවා තම දස්කම් නියමාකාරව නොදැක්වූ "එක දවසක අපි" වැනි චිත්‍රපටයක් නිර්දේශ කිරීම ජූරිය විසින් අප මවිතයට පත් කළ අවස්ථාවකි. එමෙන්ම ජනතා සම්මානයක් ලෙසින් පිරිනැමෙන ජනප්‍රියම ගීතය උදෙසා සම්මානය "ඝරසරප" චිත්‍රපටයේ එන "හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ............." ගීතය සඳහා හිමි වූ අතර එහි ගීත රචකයා වූ ජයන්ත චන්ද්‍රසිරි හට ද, තනු රචකයා සහ සංගීත සංයෝජකයා වූ චින්තන ජයකොඩි හටද මෙන්ම ගැයූ භාචි සුසාන් සහ සමිතා එරන්දතී මුදුන්කොටුව හට ද සම සම්මාන පිරිනැමීම පිළිබඳ අප අතිශය සතුටු වුවත් ඉන්මතු හොඳම සංගීත තනු රචකයෙක්, ගීත රචකයෙන් සහ පුරුෂ වනිතා වශයෙන් ප්රශස්ත ගායනයක් සඳහා සම්මාන නොපිරිනැමීම හමුවේ භාවුත්ප්රේරික තනුවක් "දිව්‍ය නදී ගලා........." ගීතයට නිර්මාණය කළ චින්තකට ද එම ගීය ගැයූ දුමාල් වර්ණකුලසූරිය හට ද සිදුවූයේ විසල් අසාධාරණයකි. නව සම්මාන හමුවේ ඇගයුම් අවශ්‍යතාව යටපත් වනවා නම් එය පිළිබඳ රසික අප්‍රසාදයක් ඇතිවේද ජූරි සිත් යොමුවීම අතිශය වැදගත් වේ.
ඡායා අයිතිය මුල් අයිතිකරුවන් සතුය
ඉන්පසු සාකච්ඡාවට බඳුන් කළ හැකි සහ යුතු විසල් ම සම්මාන ඛාණ්ඩය වනුයේ රූපණ ඇගයුම් සම්මානයන් ය. මින් සම්මාන හතරක් ජනතා මනාපයෙන් තේරුණු අතර ඉතිරි සියලු ඇගයුම් ජූරිය මගින් තෝරා පත්විණි. ජනතා පරමාධිපත්‍යයේ දශකාධික කාලයක් ජනාදරය දිනූ හදවතේ රංගන ශිල්පියෙකු ජනප්‍රියම නළුවා ලෙසින් අබිසෙස් ලබන දුලබ අවස්ථාවක් මෙම සම්මාන ප්‍රදානයෙහි දක්නට ලැබුණු අතර උක්ත සිනමා වර්ෂයේ "ඝරසරප" සහ "උදුම්බරා" චිත්‍රපට සඳහා රංගධර ජැක්සන් ඇන්තනී ජනප්‍රියම රංගන ශිල්පියා ලෙසින් සම්මානයට පාත්‍ර විණි. ජනප්‍රියම නිළිය ලෙසින් "පෝරිසාදයා" සහ "ඇලඩින්ගේ පුදුම පහන" චිත්‍රපටයන්හි රංගනය කළය උදාරි වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර විණි. එම සම්මානයන් ජනතා මනාප ලබාගෙන වරණයකින් අනතුරුව ප්රදානය කළ බැවින් ඒ පිළිබඳ කීමට දෙයක් නැත. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුකළ මනාප පළකිරීමකින් අනුග්‍රාහක භවතුන් විසින් පිරිනමන ලක්ස් සුරූපි සිනමා තාරකාව අබිසෙස් ගන්වන "Most Glamourous Star Of The Year" සම්මානයෙන් ශලනි තාරකා පිදුම් ලැබූ අතර ඇය ද උක්ත සිනමා වර්ෂයේ "නෙලා" චිත්‍රපටයේ අවධානයට ලක්වන චරිතයක් කළ ජනකාන්ත නිළියකි. ඒ පිළිබඳව ද කිසිත් කුකුසක් නැති නමුදු ඊයේ දිනයේ ම කණවැකුණු නව සම්මානයක් සමස්ත සියල්ලේම ප්‍රමිතිය අසුරු සැණින් සුනු විසුනු කර දැමිණි. වසරේ ජනප්‍රියම නැගී එන නිළිය සඳහා වන ලක්ස් සම්මානය යන මැයෙන් අනුරුද්ධ ජයසිංහගේ "එක දවසක අපි" චිත්‍රපටයේ රංගනය කළ නයනතාරා වික්‍රමාරච්චි සම්මානයට පාත්‍ර කළ අතර එහි පදනම් විරහිත බව කිසිසේත් රහසක් නොවිණි. "ජනප්‍රියම" යන වචනය සම්මානයක් හා ඈඳෙත් ම එයට සෘජුව ම ජනතා මනාපය ලැබිය යුතු වුවත් මෙම සම්මානය වෙනුවෙන් කිසිවෙකු මනාපය පළ කළ ආකාරයක් පිළිබඳ කිසිවෙකුට දැනුවත්භාවයක් නොමැත. එමෙන්ම මෙතෙක් කල් නොපිරිනැමුණු සම්මානයක් හඳුන්වාදෙමින් පිදුම් ලබන්නට තරම් ඇගේ සිනමා හැසිරීම මෙම සම්මාන ප්‍රදානයට වැදගත් වී ඇත. එසේ ම ජනප්‍රිය කිරුළු මහ පොළොවේ පයගසා සිටින පිරිස් හට පමණක් පළඳන්නේ නම් එහි වන ප්‍රමිතිය ද රැකෙන බව අදාළ වගකිව යුතු පාර්ශව දැනුවත් විය යුතුම ය. සම්මත සම්ප්රදායේ පිරිනැමෙන ප්රශස්ත ළමා රංගනයන් මෙවර නොඇගයුණු නමුදු ඒ හරහා "පුංචි අන්දරේ" වැනි චිත්‍රපටයක ප්‍රවීන් කටුකිතුල, "මධුර චාරිකා" වැනි චිත්‍රපටයක සුදම් කටුකිතුල, "ගෝල්" වැනි චිත්‍රපටයක ඩේවිඩ් කරුණාරත්න, "උදුම්බරා" වැනි චිත්‍රපටයක හර්ෂි රසාංගා සහ කෞෂල්‍ය නිර්මාණ සහ "බිම්භා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටයේ නෙත්සුක මුළුතැන් රාළ වැනි බොහෝ ප්‍රතිභාපූර්ණ ළමා ශිල්පීන් හට වටිනාකමක් හිමිවීම වැළක්විණි. එවැනි වටිනා සම්මාන කප්පාදු කොට පිරිසකගේ රිදෙන සිත් සනසන්නට පිරිනමන ඉහත කී සැනසුම් සම්මාන ප්රදානය කිසිසේත් ම අනුමත කළ නොහැකි අතර එය නිර්දය ලෙස විවේචනය කරමි. එමෙන්ම චිත්‍රපට සම්මාන උළෙලක වැදගත් ම් අංගයක් වන මතු බලාපොරොත්තු තැබිය් හැකි නළුවා නිළිය නොහොත් නැගී එන නළුවා නිළිය සම්මාන, දෙරණ සම්මාන ප්රදානයේ පිරිනැනුණේ විශේෂ ජූරී ඇගයුම් ලෙසින් ය. එවැනි තීරණයක් හමුවේ අසාධාරණයට ලක්වන දෙපාර්ශවයකි. එනම් නැගී එන නළු නිළියන් ලෙස නිර්දිෂ්ට සිනමා වසරේ පිරිස නිර්දේශ අතර හෝ නොරැඳවීම මෙම කුසලතා ඇගයුම් හමුවේ වියැකී ගිය අවස්ථාවන් ය. එමෙන්ම ජූරී ඇගයුම් ලැබිය යුතු විශේෂ රංගනයන් හට ද නිසි ඇගයුමක් ලැබීමේ අවස්ථාවන් ද මේ හරහා වැළකිණි. මෙහිදී ජූරියේ විශේෂ සම්මානයක් ලෙසින් නැගී එන නළුවා ලෙසින් "ඝරසරප" චිත්‍රපටයේ දෙව්නක පෝරගේ සහ නැගී එන නිළිය ලෙස ජූරි සම්මානයට කවින්ද්‍යා අධිකාරී සම්මාන ලැබූ අතර එම සම්මාන අතිශය සාධරණය. එනමුත් නැගී එන ඛාණ්ඩය යටතේ නිර්දේශ විය යුතු තවත් පිරිසක් උක්ත වසරේ දක්නට ලැබිණි. ඒ අතර නැගී එන නළුවාගේ සම්මානය සඳහා "ගෝල්" චිත්‍රපටයේ සේවියර් කණිෂ්ක, "මධුර චාරිකා" චිත්‍රපටයේ සහන් රණුක ද නැගී එන නිළිය ලෙස "මැතිව්" චිත්‍රපටයේ බිම්සරා ප්‍රේමරත්න ද, "වස්සානේ සඳ" චිත්‍රපටයේ පියුමි හංසමාලි ද සහ "උදුම්බරා" චිත්‍රපටයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද ඇතුළත් විය යුතුව තිබුණි. එමෙන්ම වසරේ කැපීපෙනෙන රංගනයන් ලෙසින් "ගෝල්" හි නයනා හෙට්ටිආරච්චි ද, "නිදහසේ පියා DS" චිත්‍රපටයේ පූජිත ද මෙල් වැන්නවුන්ට කුසලතා සම්මාන ලැබීමේ අවස්ථාව ද අහුරා තිබිණි. නැගී එන නළුවා ජූරියේ විශේෂ සම සම්මානයක් "මැතිව්" චිත්‍රපටයේ ඩෙවින් ලුඩ්වයික් හට ද පිරිනැමුණු අතර ඔහු නැගී එන නළුවාගේ ස්ථානයට වඩා කැපීපෙනෙන සහය නළුවෙකු ලෙසින් හඳුනාගත හැකි ශිල්පියෙකි. එමෙන්ම ජනප්‍රිය සම්මානය යටතේ ජනප්‍රිය ම ප්රතිවීරයා සහ හසරංගන ශිල්පියා ද සම්මාන සඳහා තෝරා පත්කර ගැනුණේ ජනතා මනාපයෙනි. එවැනි සම්මාම ජූරි සභිකයන් විසින් ප්‍රමිතිගත නිර්නායකයන් මත තෝරාපත් කර ගත යුතු වුවත් ජනතාවගේ කැමත්තෙන් එවැනි සම්මාන තේරීම කිසිසේත් ම ඖචිත්‍ය කාර්ය්යක් නොවන බව පැහැදිලි විය. ඒ අනුව ජනතා මනාපයෙන් වසරේ ජනප්‍රිය ම හසරංගන ශිල්පියා ලෙස බන්දු සමරසිංහ "යම රජ සිරි" චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූවේය. එම සම්මානය විනිශ්චය මණ්ඩලය විසින් පිදුවත් ජනතා මනාපයෙන් තේරුවත් සම්මානය ඔහු සතු විය යුතු බැවින් එහිලා එතරම් විසල් ගැටලුවක් පැන නොනැගුණි. එනමුත් ජනප්‍රිය ප්රතිවීරයා තේරීම කිසිසේත් නුසුදුසු ක්‍රියාවකි මෙන්ම ඉන් ප්රශස්ත රංගනයන් ආසාධාරණ ලෙසින් නොසලකා හැර තිබුණි. මෙම සම්මානය සඳහා මනාප යෝජිත නිර්දේශයන් ලෙසින් දෙරණ ඉදිරිපත් කළේ "පෝරිසාදයා" චිත්‍රපටයේ අමිල කරුණායක සහ දර්ශන් ධර්මරාජ්, "ඝරසරප" චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී, "යාලු මාලු යාලු" චිත්‍රපටයේ ටෙඩී විද්‍යාලංකාර, "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා සහ "බිම්භා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටයේ දිනෙත් ද සිල්වා වශයෙනි. අමිලගේ ප්‍රතිවීර චරිතයෙහි ආධුනික ලක්ෂණ ප්‍රකට වුවත් ඔහුගේ රංගනය නොසලකාහැරිය හැකි තරම් නොවේ. නමුත් දර්ශන්, ජැක්සන්, මහේන්ද්‍ර සහ දිනෙත් පරාසයන් සතරක වයනයන් සතරකින් තම ප්‍රතිවීර චරිතයන් ප්‍රධාන චරිත අභිඹවමින් මුදුන්පත් කළෝය. එනමුත් ටෙඩී යනු දශකත්රයකට අධික කාලයක් පටන් අප හඳුනන ප්‍රවීණ සටන් නළුවා ය. සටන් නළුවෙකුගේ සහ ප්රතිවීරයෙකුගේ වෙනස සහ ස්වභාවය නොදත් ජූරිය ඊට ජනතාව ද සම්බන්ධ කර ජනප්‍රියම ප්රතිවීරයා ලෙසින් ටෙඩී විද්‍යාලංකාර සම්මානිත කළහ. ටෙඩීගේ දස්කම් පිළිබඳ නොව ගැටලුව අසාධාරණයට ලක්වූ රසිකයා සහ යෝජිත සිව්දෙනා පිළිබඳව ය. ජැක්සන් තම කළු කුමාර චරිතය තුළින් ලංකාවේ ප්‍රථම වතාවට හඬින් පමණක් මුදුන්පත් කළ හැකි ප්‍රතිවීරයෙකු ගොඩනගන විට මහේන්ද්‍ර සහ දර්ශන් තම ප්‍රතිවාදී සලරූ කාරිකයාගේ භාව වනසන නිශේධකාරිකයන් ලෙසත්, දිනෙත් චිත්‍රපටය තුළ ම තම ආධිපත්‍යය විහිදුවාලූ ප්රබලතමයා ලෙසත් තම හැකි පමණින් ඉහළට ම තම චරිතය ගොඩනැංවූහ. උක්ත සිව්දෙනාගෙන් කෙනෙකුට හැරුණු විට 2018 වසරේ හොඳම ප්‍රතිවීර සම්මානය වෙනෙකෙකුට හිමි නැති බව ඉඳුරා ම පැවසිය හැකිය. එමෙන්ම එම චරිත හතරම තම චිත්‍රපටයේ ප්‍රධාන චරිත පෝෂණයෙහිලා කළ කැප කිරීම මත ඔවුන් හතර දෙනාම හොඳම සහය නළුවා සඳහා ද නම් කළ හැකිව තිබුණි. දෙරණ ජූරිය මහේන්ද්‍ර සහ ජැක්සන් සහය නළු නිර්දේශ අතර රැඳවූවත් දිනෙත් කිසිවිටෙකත් තම නිර්දේශයක් අතරට ගන්නට සිතා නැත. එවැනි චරිතයක වටිනාකම නොතේරෙන්නට තරම් ඔවුනගේ ප්‍රවීණත්වය අවප්‍රමාණික ද ? ඒ වෙනුවෙන් "මැතිව්" චිත්‍රපටයේ ඩෙවින් ලුඩ්මයික් සහ "කෝමාලි කිංග්ස්" හි රාජා ගනේෂන් නිර්දේශ අතරට එක් කළ ජූරිය "නිදහසේ පියා DS" හි ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ රංගනය ද දැක නැතැයි සිතීම සාධාරණය. කෙසේ නමුදු හොඳම සහය නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරා සම්මානිත වීම සමගින් "සුදුස්සාට සුදුසු තැන ලැබුණේ" යැයි අපට සතුටු වීමට හැකිය. ඉන් මතු හොඳම සහය නිළිය සඳහා "දැවෙන විහඟුන්" හි සමනලී ෆොන්සේකා, "ගෝල්" හි කෞෂල්‍යා ප්‍රනාන්දු සහ "වස්සානේ සඳ" හි සුවිනීතා වීරසිංහ නිර්දේශ කර තිබූ අතර සමනලී හොඳම සහය නිළිය ලෙස කිරුළු දැරීම ද අතිශය යුක්ති යුක්ත ය. එනමුත් සුවිනීතා වීරසිංහ වැනි අතිශය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණියකගේ ප්‍රභාමත් නොවන රංගනයක් නිර්දේශ කළ ජූරිය අතිශය ප්‍රභාමත් වූ "වෛෂ්ණාවි" හි වීණා ජයකොඩිගේ රංගනය සහ "ගෝල්" හි චාන්දනී සෙනෙවිරත්නගේ රංගනයන් දැක නැත. එලෙසින් ම හොඳම නිළිය සහ වන නිර්දේශ ද සතුටුදායක නොවිනි. "දැවෙන විහඟුන්" හි අනෝමා ජනාදරී, "කළුහිම" හි සුබුද්ධි ලක්මාලි සහ "වෛෂ්ණාවි" හි යශෝධා විමලධර්ම හොඳම නිළිය සඳහා නිර්දේශ වූ අතර අනෝමා ජනාදරී හොඳම නිළිය ලෙසින් සම්මාන වීය. ඇගේ අගනා කැපවීම, රංගාභ්යාසය සහ අවේණික රංග ශෛලියේ විශිෂ්ටත්වය මත ඇය විශ්ව ප්රසාදිනියක් ලෙසින් පුනරභිෂේක වූයේද මෙම චරිතය තුළින් බැවින් ඇය හට එම සම්මානය හිමි වීම සතුටට කරුණකි. එනමුත් "ඝරසරප" හි සංගීතා වීරරත්නගේ චරිතය නිර්දේශ හෝ නොකර නොසලකාහැර සුබුද්ධි තේරීම කිසිලෙසක අනුමත කළ නොහැක. සුබුද්ධිගේ "කළුහිම" කිසිඳු ආධුනිකත්වයක් ප්‍රකට නොකළ අතිශය සිනමාරූපී භාවාතිශය රංගනයක් වුවත් එය හොඳම නිළිය සම්මානයට තරම් නොවන බව හැඟෙන අතර ම සංගීතාගේ විද්‍යා චරිතය සුළුකාලීන වුවත් දිගුකාලීන මතක දල්වන තරම් පොහොසත් භාවාලංකාරයන්ගෙන් පෝෂිත විය. එහෙයින් සුබුද්ධි අදක්ෂ යැයි හුවා දක්වනවා නොව, සංගීතාගේ රංගනයට නිසි වටිනාකම ලැබෙන අටියෙන් සටහන් කළා පමණි. හොඳම නළුවා සම්මානය මෙවර දෙරණ ජූරිය ගත් නිරවද්‍ය ම තීරණයකි. එනම් දිගුකලක් අසාධාරණයට ලක්වූ අතිශය ප්රශස්ත නළුවෙකු වන දර්ශන් ධර්මරාජ් හට හොඳම නළුවා සම්මානය ලැබීමයි. ඔහුත් සමග නිර්දේශ වූ "උදුම්බරා" හි ජැක්සන් ඇන්තනී, "ගෝල්" හි ජයලත් මනෝරත්න සහ "මැතිව්" හි ඇල්ස්ටන් කොච් නිර්දේශ වීම සාධාරණ වුවද ඒ නාම අතර "නිදහසේ පියා DS" හි ලක්ෂ්මන් මෙන්ඩිස් සහ "ඝරසරප" හි කමල් අද්දරආරච්චි නොමැති වීම අතිශය අසාධාරණ ය. මෙලෙසින් දෙරණ සම්මානයන් විසින් බහුතරය සුදුස්සන් රංගනය සඳහා අබිසෙස් ගැන්වුවත් සැලකියයුතු සුළුතරයක් අසාධාරණයට ලක්කළහ.
දෙරණ සම්මාන ප්රදානයේ වැදගත්ම සම්මානයක් ලෙසින් දෙමළ භාෂිත ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා "කෝමාලි කිංග්ස්" අධ්යක්ෂ කිංග් රත්නම් හට විශේෂ ඇගයීමක් හිමිවිණි. එමෙන්ම අනෙක් අසාධාරණය සිදුවූයේ හොඳම නර්තන වින්‍යාසය සඳහා වූ සම්මානයෙනි. එය හිමිවූයේ චන්දන වික්‍රමසිංහ හට ය. ඔහුගේ නිර්මාණ හෝ භාවිතාව පිළිබඳ කුකුසක් නැති නමුදු උක්ත වසරේ ගයාන් ශ්‍රීමාල්ගේ "ඝරසරප" නර්තන නිර්මාණය නොසලකා හැරීම නුසුදුසුය. "දිව්‍ය නදී........" ගීයට ගයාන් ඉදිරිපත් කළ නර්තන වින්‍යාසය චිත්‍රපටයට එක්කළේ නැවුම් ආරම්භයකි. එමෙන්ම චලරූපය තුළ ප්‍රාණවත් නර්තනයක් ඉන් මනාව පිළිඹිබු විය. එනිසාවෙන් එම සම්මානය උක්ත වර්ෂයේ සුදුස්සා අතැති නොවන බව කිවයුතුම ය. වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස "බිම්භා දේවි හෙවත් යශෝධරා" සහ හොඳම චිත්‍රපටය ලෙස "මැතිව්" පිදුම් ලැබීම කෙරෙහි ද කිසිඳු ගැටලුවක් නැත.
දෙරණ සිනමා අභිවෘද්ධිය වෙනුවෙන් යැයි පැවසෙන "හෙට දවසේ" සිනමාව යන මැයෙන් ක්‍රියාන්විත වූ සිනමා ප්‍රදර්ශනය තුළ චිත්‍රපට 5ක් ප්‍රදර්ශනය වූ අතර ඒවා පිළිවෙළින් කසුන් පතිරණගේ "නයිට් රයිඩර්", සුදේශ් වසන්ත පීරිස්ගේ "හුස්ම", සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ "සුපර්ණා", විජිත ගුණරත්නගේ "අමාවක" සහ සුභා සිවකුමාරන්ගේ "හවුස් ඔෆ් මයි ෆාදර්ස්" ය. ඒ අතුරින් හෙට දවස තුළ බලාපොරොත්තු දැල්විය හැකි ප්රශස්ත නිර්මාණයක් නොවන තරමේ අදාළ චිත්‍රපටයන් පූර්ණ නිර්මාණ ප්රයත්නයන් නොවන බැව් සඵත කළ ජූරිය මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂණය සඳහා සුබ සිවකුමාරන් සම්මානිත කළහ. ප්රශස්ත නිර්මාණ නැතැයි ජූරිය අනුමත කරනුයේ ඔවුන්ම තේරූ චිත්‍රපට පහකිනි. මෙරට සිනමාවට නව මානයක් ඈඳූ "විය සිදුරු" වැනි චිත්‍රපටයක් නොතෝරන්නට තරම් ජූරිය භාවිත කළ නිර්නායක අන්ධ විය. සිනමා ඇගයුම් ප්රදානයේ සම්මාන පිළිබඳ පැවසිය හැකි සියල්ල මෙසේ වන අතර මින් මනත ගොනු කරනුයේ එම අවස්ථාව අඳුරු කළ රළු භාවිතාවන් ය.
නෙළුම් පොකුණ රඟහල මහල් තුනකින් යුතු අතර සැමට එක මහළක අසුන්ගත විය නොහැක. මෙය සම්මාන ප්‍රදානයක් නිසා සම්මාන ලබන නිර්දේශිතයන්, සම්මාන ලබාදෙන්නන් සහ ජේෂ්ඨ ප්‍රවීණයන් පමණක් පහළ අසුන් හොබවිය යුතු වුවත් දෙරණාරාධනයෙන් අසුන් පිරී තිබුණේ නේක වෛවර්ණ සළු පිළි ආටෝපාදියෙන් සැරසුණු නිරූපණ ශිල්පීන්, රූපලාවණ්යශිල ශිල්පිණියන්, රියැලිටි තරු කිරුළු දැරූවන්, කණ්ඩායම් සංගීත නායකයන්, රූප රචනා නළු නිළියන් සහ හතු පිපෙන්නා මෙන් උපන් කලාකාරක ප්‍රතිරූපක පිරිසකගෙනි. ආරාධනා ලැබූ ප්‍රවීණයන් නිර්දේශ වූවන්ට පවා නිසි අසුනක් නොමැතිව ඔවුන් නැගිටවමින් අසුන් මාරු කරවන දෙරණ සංවිධායකයන් කලකරුවාගේ නිසි වටිනාකම සහ ඔවුනට දැක්විය යුතු ගෞරවය නොදන්නා පිරිසක් බව නම් කිවයුතුම ය. "ඔයා", "මෙයා" වැනි අතිශය ප්‍රාථමික ව්‍යවහාරයන්ගෙන් ප්‍රවීණයන් අමතන කරළියක ඔවුන්ගේ ඡායාරූප දර්ශන පුවරු මත පලකර "මේ සිනමා රජවරුනේ රාත්‍රියයි" යනුවෙන් හඬ නැගුවාට නිරුවත සමාජය දර්ශිත ය. එමෙන්ම උත්සවාස්ථාව ආවර්ණය කරන මාධ්‍ය වරපත් පැලඳ එහි සිටි කැමරා දරන්නන් "ඡායාරූපශිල්පියා" යන ගරු බුහුමනට බොහෝ දුර සිටින්නවුන් ය. ඔවුන් හඳුනනුයේ පස් කමින් රූප රචනාවල හඬන්නවුන් සහ වියතක දෙකක ඇඳුමින් සැරසුණු නිරූපිකාවන් පමණි. මෙවර දෙරණ උළෙලට බොහෝ පැරණි ශිල්පීන්ගේ පැමිණීමක් දක්නට ලැබීම සතුටක් වුවත් ඔවුහු එළඹෙන වසරේ පැමිණේදැයි සිතිය නොහැකිය. මන්ද ඔවුන් කෙරෙහි දැක්වු අඩු සැලකිල්ල නිසාවෙනි. කැමරා අතැති පිරිස් ජේෂ්ඨ හඳුනන්නේ නැත. එනිසා මාධ්‍යයන්හි පළවන සේයා දකින්නවුන් සිතනුයේ ද අදාළ අවස්ථාවට පැමිණියේ ආධුනිකයන් පමණක් බවයි. කලාව සිනමාව පිළිබඳ දැනුමක් නොමැති සංවිධායකවරු සහ වරියන් අදාළ වසරේ තිරගට්ග වූ චිත්‍රපටවල සිටින පිරිස පිළිබඳව ද අවබෝධයෙන් තොර ය. එනිසා සම්මාන ලබන පිරිස් පවා පසුපස අසුන්වල සිටිනු දක්නට ලැබුණි.
පුද්ගලිකව පවත්වන සම්මාන ප්‍රදානයක් සැමවිට ස්වාධින විය යුතු අතර පක්ෂග්රාහි නොවිය යුතුය. සිනමාවේ අභිවෘද්ධිය යනු දිලිසෙන්නා වූ ලෝහ කැබැල්ල හෝ පටිගත කළ අත්පොළොසන නොවේ. එනිසා සැම වසරක ම පාහේ දෙරණ අගයා ලිපියක් ලියන්නට තවමත් ඔවුන් අපට අවස්ථාවක් ලබාදී නැත. ප්‍රමිතිගත ව සිදුකිරීමට නොහැකි නම් ඔවුන් සුදුස්සන්ගෙන් උපදෙස්ගත යුතුය. නැතිනම් සම්මාන උළෙල නවත්වා චිත්‍රපටයක් හෝ චිත්‍රපට පෙන්වීමට ශාලාවක් හෝ තැනීම මීට වඩා යෝග්‍ය වේ. එළඹෙන වසරේ හෝ සිනමාවට ම වෙන්වූ අර්ථයෙන් ම සිනමා උළෙලක් දැකබලා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.
සටහන Akash Tharuka Perera