රහස් පරීක්ෂක ශානරයේ කතාවක් ලියන්නට ලොකු කැමැත්තක් දිගු කළෙක පටන් සිතේ විය. ඒ කැමැත්ත , ආසාව ඇති වූයේ ප්‍රංශයට පැමිණි මුල් කාලයේදීම කියවන්නට පටන් ගත් ඉංග්‍රීසි නවකතා (සිංහල නවකතා සොයා ගන්නට නොහැකි වුනු නිසා ) නිසා විය යුතුය. මේ වර්ගයේ නවකතා පොත් වල මහා ගැඹුරු සාහිත්‍යයක් දකින්නට නොමැත. කියවන්නට පහසුයි. රසවින්දනයෙන් ඉහළය .
පැරිසියේදී මගේ මුල්ම රැකියාව (1992 වසරේ දෙසැම්බර් මාසය ජිවිතයේ මුල්ම ශීත ඍතුව ) ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට ඇතුළු වී නොයෙක් ප්රචාරක පත්‍රිකා ඒවායේ ලියුම් පෙට්ටි වලට දැමීමයි. එය දවස් වැටුප් රැකියාවකි. මේ රස්සාවෙන් ලද පළමු වැටුප එනම් ෆ්රෑන්ක් 80 ක් මුදලින් මම මුලින්ම කළේ ප්‍රකට ප්‍රංශ චිත්‍රපට අධ්යක්ෂ Jean Jaques Annaud ගේ L'amant (The Lover) නැරඹීමයි. (Marguerite Duras ගේ සුවිශේෂ නවකතාව පාදක කර ගෙන සැදුණු මේ සිනමා පටයේ එක වදනක් වත් මට තේරුණේ නැත. ) ඉතිරි මුදලින් Patricia Cornwell ගේ Post Mortem නැමති පොත මිලයට ගතිමි.
මෙය පැට්‍රිසියා කොන්වෙල් ගේ මුල්ම නවකතාවයි. රහස් පරික්ෂක ශානරයේ පොත් වලට ලබා දෙන ලොව ප්‍රධාන පෙළේ සම්මාන හතරක් වසරක් තුළදී දිනා ගැනීමට සමත් වූ එකම පොත ලෙස මෙය හදුන්වා දිය හැකිය. ඇගේ දෙවන හා තෙවැනි පොත් වූ Body of Evidence සහ All that Remains අන්තර්ජාතික පාඨක ප්‍රශංසාවට පත් වී මිලියන ගණනක් අලෙවි විය. (අද දවසේ ඇය මිලියන 150 ක් පොත් අලෙවි කර තිබේ. භාෂා 30 කට ඇගේ පොත් පරිවර්තනය වී තිබේ. ) විශාල සාර්ථකත්වයක් පළමු කෘති කීපයෙන්ම පැට්‍රිසියා කොන්වෙල් ලැබුවේ නවකතාකාරියක් වන්නට පෙර ඇය යෙදුණු රැකියාවක් කීපයක්ම නිසාවෙනි. ඇය Chrlotte Observer වෙනුවෙන් සේවය කළ සම්මාන ලැබූ අපරාධ වාර්තා කාරියක් විය. ඉන් අනතුරුව ඇගේ රැකියාව වූයේ "වර්ජිනියා" ප්‍රාන්තයේ ප්‍රධාන පොලිස් රස පරීක්ෂක වරයාගේ පරිගණක දත්ත ගබඩා කරන්නියගේ තනතුරයි. අනෙක් අතට කොන්වෙල් තමන්ගේ පොත් වෙනුවෙන් දීර්ඝ සොයා යාම් කරන්නියකි. ඇය 2002 වසරේදී Portrait of a Killer: Jack the Ripper : Case Closed නමින් අපුරු පොතක් ලීවාය . ලන්ඩන් නගරයේ , Whitechapelle නම් ප්‍රදේශයේ 1888 වසරේ වාසය කල දාම මිනීමරුවෙකි . කාන්තාවන් 11 දෙනෙකු මරා දමා ඔවුන්ගේ සිරුරු කොටස් මතක සටහන් ලෙසින් ගෙන යන්නන්ට පුරුදු වී සිටි මේ මිනීමරුවා පොලිසිය විසින් Jack the Ripper යනුවෙන් හැදින්වූ මුත් කවුදැයි කියා සොයා ගන්නට නොහැකි විය. වසර සියයකට ආසන්න කාලයක් පුරා විවිධ පුද්ගලයන් විසින් මිනීමරුවා ගැන නොයෙක් සාක්ෂි සොයා ගත්තද සත්‍ය වශයෙන්ම මිනීමරුවා හඳුනා ගත්තේ පැට්‍රිසියා කොන්වෙල් විසින් 1999 වසරේ සිට පුරා වසර දෙකක් පුරා කරන්නට යෙදුණු සුවිශේෂ සොයා යාම් තුළිණි . පැරණි පොලිස් දත්ත ගබඩා වලට ඇතුළු වී , නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන , සැබෑ මිනීමරුවා ප්‍රකට සිත්තරෙකු වූ Walter Sickert බව කොන්වෙල් සොයා ගත්තාය. තමන්ගේ මේ අපූරු සොයා ගැනීමේ කතාව Portrait of a Killer: Jack the Ripper : Case Closed යනුවෙන් පොතකට නැගුවාය.
ලෝක සාහිත්‍යයේ අපිට හමුවන ප්‍රකට රහස් පරීක්ෂක චරිත අතරේ මුලින්ම කියවෙන චරිතයක් Kay Scarpetta නමින් පැට්‍රිසියා කොන්වෙල් නිර්මාණය කළාය . වර්ජිනියා ප්‍රන්තයේ රිච්මන්ඩ් හි රස පරීක්ෂණ අංශයේ සේවය කරන Kay Scarpetta ගේ කාර්යය වන්නේ අපරාධ කරුවන් සොයා ගැනීමට රහස් පරීක්ෂකයන්ට සහය වීමයි. මේ සුවිශේෂ චරිතය මගේ සිතේ තදින් සනිටුහන් වුණු චරිතයකි. පසු කාලයක 12.12.12 ලියනා විට පැරිස් පොලිසියේ රස පරීක්ෂක අංශයේ දොස්තර ඉමාන් පතන්ග් ගේ චරිතය මා ගොඩ නැගුවේ Kay Scarpetta මතකයට නගා ගනිමින්ය.
කොන්වෙල් තම පොත් වලට එකතු කරන්නේ විර චරිත නොවේ. රහස් පරීක්ෂකයෝ , පොලිස් පරීක්ෂකවරු සාමාන්‍ය මිනිසුන් වෙති. අනාගතය පෙර දැකීමේ හැකියාවක් හෝ එදිනදා දිවියේ කර්කෂ බැවින් පැන යාමේ අදිසි බලවේගයක් ඔවුන්ට නැත. මේ කියනා Kay Scarpetta චරිතය පාදක කර ගනිමින් පොත් 24 ක් කොන්වෙල් ලීවාය. මම ඇගේ නිත්‍ය පාඨකයෙක් වීමි. එහෙත් පොත් 10 ක පමණ කියවද්දී කොන්වෙල් තමන්ගේ අනන්‍යතාවය , එමෙන්ම පොත් වල රැදී කුතුහලය අහිමි කර ගත් බව මම වටහා ගතිමි. මුල් කාලයේදී තමන්ගේ පාඨකයාව පොතෙන් බැහැර යන්නට නොදී බැඳ තබා ගැනීමේ හැකියාවෙන් පිරුණු කොන්වෙල් පසු කාලීනව අලස ලේඛිකාවක් බවට පත් විය. ඇයව මගේ ප්‍රියතම ලැයිස්තුවෙන් ඉවත් කර දමන්නට මම තීරණය කළෙමි . දැන් දස වසරකින් ඇගේ පොතක් කියව්වේ නැත.
සත්‍යයකි. රහස් පරීක්ෂක ශානරයේ කතා ලියන්නෝ කාලයාගේ අවෑමෙන් තමන්ගේ පෙර පැවති ස්පර්ෂය , භාවිතාව අහිමි කර ගනිති . මා දන්නා තරමින් කුමන වර්ගයේ කතාවක් ලීවත් තමන්ගේ පාඨකයාව කළකිරීමට පත් නොවන්නට වග බලා ගන්නා ලේඛකයන් සිටින්නේ අද දවසේ එක් අයෙකි. ඒ ඇමරිකානු ජාතික මහා ලේඛක ස්ටීවන් කිංග් (Stepehn King) ය. ඔහුගේ පරිකල්පනයට සිමා නැත. කතාව , ඉදිරිපත් කිරීම , චරිත, ආකෘතිය මේ සියල්ලම ඔහු මනාවට අප ඉදිරියට ගෙන එයි. එපමණක් නොවේ. ඔහු භාෂාවෙන් වැඩ පෙන්වන ලේඛකයෙකි . මගේ සාහිත්‍ය අත් පොත වන්නේ ඔහු විසින් ලියූ On Writing නම් පොතයි. ( ඒ ගැන පසු දවසක ලියමි ) පොත් ගැන ඔහු මෙසේ කියයි .
Books are the perfect entertainment: no commercials, no batteries, hours of enjoyment for each dollar spent. What I wonder is why everybody doesn't carry a book around for those inevitable dead spots in life.
කෙසේ හෝ වේවා අද දවසේ ජීවත්ව සිටින බොහොමයක් CRIME THRILLER ලේඛකයන්ගේ පොත් කියවද්දී මේ මේ ශානරයට මුල් අඩිතාලම දැමූ දැවැන්තයාගේ පොත් මට මග හැරී ගියේය. මගහැරී ගියා නොව උවමනාවෙන් මග හැරියා යැයි මට සිතේ . එයට හේතු වුයේ සිතේ ඇතිවුණු අනුවන සිතුවිල්ලකි. මා වටා සිටියේ අද දවසේ ලෝකය ගිල ගෙන ඇති තාක්ෂණ ඥානය උපයෝගී කර ගෙන පොත ලියනා සයිබර් යුගයේ ලේඛකයෝ පිරිසකි. මේ පිරිස හමුවේ දැවැන්තයා හෙවත් Arthur Conan Doyle ගේ Sherlok Holms පොතක් කියවන්නට මට සිත් නොවූයේ 19 වන සිය වසේ ලියවුනු පොත් මාලාවක් දිරවා ගන්නට නොහැකි වේ යැයි සිතුණු නිසාය. මේ අනුව 2010 වසර වන තුරුම ෂර්ලොක් හෝම්ස් මට මග හරි තිබුණි.
අද දවසේ මා සතුව Sherlok Holms මාලාවේ පොත් 09 ක් තිබේ. වැදගත් කම එය නොවේ. එය වනාහි 1951 වසරේ Penguin ආයතනය මගින් ඒ වසරේ ලංඩන් නගරයේ පැවැත්වුණු පොත් ප්‍රදර්ශනයක් වෙනුවෙන් මුද්‍රණය කරනා ලද විශේෂ , ඒ වගේම සීමිත පිටපත් කීපයක් වීමයි. සත්‍ය වශයෙන්ම මිලෙන් වැඩි මේ මහානර්ඝ වස්තුව මගේ අතට පත් වූයේ අරුම පුදුම ආකාරයකටයි. ඇතැමෙක් විශ්වාස නොකරන්නට පුළුවන. එහෙත් මෙය ඇත්ත කතාවකි.
2010 වසරේ මාර්තු මාසයේ දිනක පැරිස් මහා පොලිසියේ ගමන් බලපත් නිකුත් කරනා කාර්යාලයට යන්නට මට සිදු විය. ලංකාවේ පොලිසි ගැන වැඩි දැනීමක් නැතත් පැරිසියේ පොලිස් කාර්යාල වල වැඩ කෙරෙන්නේ ඒවායේ සේවය කරන බලධාරීන්ගේ උවමනා එපා කම් අනුවය. ඉතා කුඩා දේකට පවා පැය ගණන් ලගින්නට සිදු වෙයි. මහජන අපේ බදු වලින් වැටුප් ලබා ගත්තත් අපිව සත පහකට ගණන් ගන්නේ නැත. කෙසේ හෝ වේවා පැරිස් පොලිසියේ මේ කාර්යක්ෂමතාවය ගැන දන්නා මම උදේ කාලයේ රැකියාවෙන් නිවාඩුවක් ලබා ගතිමි. නියමිත වෙලාවට එහි ගියෙමි . පුදුමයකි. විනාඩි විස්සක් ඇතුළතදී මගේ කාර්යය ඉටු කර ගන්නට හැකි විය.
කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවුණු මේ විපරියාසය නිසා පිටත පැමිණි මට කුමක් කරන්නදැයි සිතා ගන්නට නොහැකි විය. වෙලාව උදෑසන දහය පසු වූවා පමණි. එය පැහැබර දවසකි. වසන්තය පැමිණ නැතත් මහා සීතලක් නොවිණ. පැරිස් මහ අධිකරණ ගොඩනැගිල්ල ඉදිරියෙන් ගමන් කර Saint michel පාළම මතින් සේන් ගඟ තරණය කර , ප්‍රකට Shakespeare and Co පොත් සාප්පුව පැත්තට ඇවිද යන්නට පටන් ගතිමි. මේ මොහොත සේන් නදී දෙවුරේ ඇතැම් තැන් වල පිහිටි කුඩා පොත් කඩ විවර වෙමින් තිබුණු මොහොතයි. මේ පොත් කඩ හා ඒවායේ පොත් අලෙවි කරනා වෙළදුන් හදුන්වනු ලබන්නේ Bouquinistes යනුවෙනි . කතාව මොහොතකට අමතක කර දමා මේ Bouquinistes ලා ගැන තතු සොයා බලමු .
Bouquinistes යන මේ වචනයේ පැහැදිලි සරළ තේරුම පොත් වෙළෙන්දා නැතිනම් Book Seller යන්නයි.දහසය වන ශත වර්ෂයේ සේන් නදී තීරයේ මුල් වරට, භාවිතා කරන ලද පොත් (Second Hand books ) අලෙවි කරන කඩවල් දෙක තුනක් විවර වන්නට වූ විට බලවත් විරෝධය නැගුණේ ඒ වන විටත් නගරයේ තැන් තැන් වල පොත් වෙළදාම ඉහළින් කර ගෙන ගිය පොත් වෙළදුන් වෙතිනි. එහෙත් 1859 වසරේදී එවකට පැවති රජය විසින් මේ වෙළදුන්ගේ කෙරුවාව නීති ගත කරනා ලද අතර හුදෙක්ම ඔවුන්ගේ ආදායම් මාර්ගය භාවිතා කරන ලද පොත් අලෙවි කිරීම පමණක් නිසා විශේෂ පහසුකම් ද ලැබුණි. දැන් වසර ගණනාවකට පසු මේ Bouquinistes ලා රැක ගත යුතු ලෝක වස්තුවක් ලෙසින් යුනෙස්කෝ ආයතනය විසින් පිළිගෙන තිබේ.
අද දවසේ සේන් නදී තීරයේ කිලෝ මීටර තුනක් පුරා මෙවැනි කුඩා පොත් කඩවල් 240 ක් පමණ Bouquinistes ලාගේ පොත් කඩ දකින්නට ලැබෙයි. ඒවායේ අලෙවි වන ඇතැම් පොත් සොයා ගන්නට අපහසු ඉහල වටිනාකමකින් යුත් ඒවාය. ඒ අතරම භාවිතා කරන ලද පොත් ඉතාම අඩු මුදලටත් මේවායේදී මිලදී ගත හැකිය. පැරිසිය යනු ධනවත් නගරයකි. එහි වර්ග අඩියක ප්‍රමාණයේ වෙළද සැළක් වෙනුවෙන් වුව අති විශාල මුදලක් නගර සභාවට ගෙවන්නට සිදු වෙයි. එහෙත් පුදුමය නම් මේ 666 ලාගේ පොත් කඩ වෙනුවෙන් කිසිම මුදලක් රජය අය නොකිරීමයි. තවත් අයුරකින් කියන්නේ නම් කිසිදු බදු මුදලක් නොගෙවා පැරිස් නගරයේ වෙළෙදාමේ යෙදෙන එකම වෙළෙන්දෝ මේ පොත් වෙළෙන්දෝ පමණක් බවයි. බදු රහිත කිරීමේ මේ තීරණය වනාහි සාමාන්‍ය ජනයා අතර සාහිත්‍ය රසය නංවා ලීමට ප්‍රංශ රජය ගෙන් ඇති තවත් අගනා තීරණයකි.
දැන් යළිත් පරණ කතාවට යමු. පොලිසියෙන් පිටවී සෙන් නදී තිරය දිගේ ඇවිද යන මම එක Bouquinistes පොත් කඩයක් ළග නැවතුනෙමි. නොයෙක් යුග වලට අයත් ප්‍රංශ පොත් දහස් ගණනක් එහි අළෙවියට තබා තිබේ. මිලෙන්ද වැඩි නැත. එහෙත් ඒ අතරම මගේ දෙනෙතට හසු වූයේ ඉංග්‍රීසි පොත් පෙළකි . මේ පොත් පෙළ නම් ආතර් කොනන් ඩොයිල් විසින් ලියනා ලද "ෂර්ලොක් හෝම්" පොත් මාලාවයි. පොත් නවයකින් යුත් පොත් පෙළ ඉතාම මනරම් ලෙස අසුරා තිබේ. පිට කවරය දිලිසෙන සුළුය. මම එක පොතක් අතට ගතිමි. එය The Valley of Fearනම් විය
මේ පොත් කඩයේ අයිතිකාරයා යැයි කිව හැකි වයස හැට පැනපු තරමක් තරබාරු මිනිසෙක් පදික වේදිකාවේ පුටුවක් තබා ගෙන පොතක් කියවමින් සිටිනු මම දුටුමි. විනාඩි පහකට ආසන්න කාලයක් පොත් කඩය ඉදිරියේ සිට ගෙන පොත් දෙස බලා සිටියද මේ මිනිසා මා දෙස බලන්නට වත් උනන්දුවක් දැක්වුයේ නැත. එහෙත් ඉහත පොත අතට ගත් විට මිනිසා තරමක් මදෙස බලා නැවතත් පොතට නැඹුරු විය.
පොත අතට ගෙන ඒ මේ අතට හරවා බලද්දී එය මිලයට ගන්නට සිතට ආවේ ලොකු ආසාවකි. අනෙක් අතට ෂර්ලොක් හෝම් කියවා නැත. මෙය හොඳ අවස්ථාවකි. කෙසේ වුවත් පොත් කඩයේ අයිතිකාර ප්‍රංශ ලොක්කා මාව සත් පහකට ගණන් නොගත් නිසා ඔහුගෙන් යමක් මිලදී ගන්නට මට සිතුනේද නැත. අන්තිමේදී මම පොතේ මිල ඇසුවෙමි. මුලින්ම මිනිසා කළේ මා දෙස තියුණු බැල්මක් හෙලා තත්පර කීපයක් ගත කිරීමයි.
"ඕක එක පොතක් විදිහට විකුණන්නේ නැහැ.."ඔහු මිලිතුරු දුන්නේය.
"ඒ කියන්නේ....?"
"ඒ කියන්නේ ඔය පොත් සෙට් එකම තමයි විකුණන්නේ ..."
"එකක් ගන්න බැහැ ....?"
"ඒක තමයි මං දැන් කිව්වේ....."
"පොත් සෙට් එකම කියක් වෙනවද....?" මිනිසා තවත් මොහොතක් මදෙස බලා සිටියේය.
"පොත් නවයම යුරෝ 450 ක වෙනවා...." (අද දවසේ රුපියල් වලින් නම් 90 000 ක් පමණ )
"යුරෝ....450 ක් ...? මොකද ඒ තරම් ගණන් ...?"
මගේ ප්‍රශ්නයෙන් මිනිසා කෝප ගත් බවක් පෙනුණි . ඔහු නැගිට ගෙන මවෙත පැමිණ අතේ තිබුණු පොත උදුරා ගත්තේය.
"මේ පේනවද...පොතේ පිටු වල ගුණාත්මක බව. (ඔහු ඒ ගුණාත්මක බවට විශේෂ නමක් කිවත් එය මට අද මතක නැත. ) . මේක අච්චු ගැහුවේ 1951 පෙන්ගුවින් ආයතනය. ලන්ඩන් නගරයේ තිබ්බ පොත් ප්‍රදර්ශනයක් වෙනුවෙන්. අද දවසේ මේක යුරෝ 1000 ක විතර වටිනවා මම 450 ට දුන්නට. ඕනා නම් පාරෙන් එහා පැත්තේ තියනව පැරණි පොත් වල මිල ගණන් තක්සේරු කරන ආයතනයක්. ගිහිල්ලා අහගන්න පුළුවන්....." පොත යලිත් වරක් මා අතට දෙමින් මිනිසා කිවේය
"නැහැ කමක් නැහැ. මට යුරෝ 450 ක් ගෙවන්න තරම් සල්ලි නැහැ...." පොත පෙර තිබුණු තැනම තබමින් කිමි. මිනිසා ගොස් පෙර සිටියාක් මෙන් පුටුවේ වාඩි විය. එහෙත් මදෙස බලා සිටීම නැවත්වුයේ නැත.
"ගෙවන්න ගන්න...." ඔහු එක්වරම කිවේය. මම ඔහු දෙස හැරී බැලුවෙමි.
"ගෙවන්න ගන්න......?"
"ඔව් . දැන් යුරෝ සීයක් දීලා අරන් ගිහිං හැම මාසෙකම සීය ගානේ දෙන්න...50 ක අඩු කරන්නම් ...යුරෝ 400 යි "
"ඇත්තටමද....? කමක් නැද්ද...? මම එහෙනම් අර බැංකුවෙන් යුරෝ සියක් අරන් එන්නම් ..." නුදුරු තැනක ඇති බැංකුවෙන් යුරෝ සියයක් ගනිද්දී සිතට නැගුණු පැනයකි. මේ යුරෝ 100 දී පොත් රැගෙන ගිය පසු මා ඉතිරි මුදල දෙන බවට ඔහුට දිය හැකි ඇපය , වගකීම කුමක්ද...? නො ඉල්ලුවේ ඇයි ..? සත්‍ය වශයෙන්ම මේ පොත් මෙතරම් වටින්නේද.....? යුරෝ සියය සමග යළි පොත් කඩය වෙත යද්දී මිනිසා බොහෝ සීරුවෙන් පොත් සියල්ල ඔතමින් , බෑගයක දමමින් සිටියේය.
"මහත්මයා ...සමාවෙන්න අහනවට...ඔබට හිතෙන්නේ නැද්ද මම ඉතිරි මුදල දෙන්න එන එකක් නැහැයි කියලා..ඉතිරි 300 ට කිසිම ඇපයක් ඔබ ඉල්ලුවෙත් නැහැ. අනෙක මේවා ඇත්තටම මේ තරම් ගණන් කියලා කොහොමද දන්නේ...." ඔහුගේ මුවේ මුල් වරට පුංචි සිනහවක් ඇදුණි .
"පොත් වල වටිනාකම හොයලා දෙන ඕනෑම තැනකට ගෙනියන්න. ගිහින් එයාලා කිව්වොත් මේක මේ තරම් වටින්නේ නැහැයි කියලා. පොත ටික ගේන්න. මම මුදල ආපහු දෙනවා..."
"එතකොට මම ඉතිරි මුදල නොදෙයි කියලා හිතෙන්නේ නැද්ද..?"
"ඔබ පොත් වලට ආදරේ බව පේනවා. පොත් වලට ආදරේ මිනිස්සු හොරු නෙවෙයි. මම මේ වගේ වෙළදාමක් කරපු පළමු තැනැත්තා ඔබ නොවෙයි. මම පොත් පහසු ගෙවීමේ ක්‍රමයට දෙනවා. දන්නවද...? කවදාවත් මට කිසිම කෙනෙක් වංචාවක් කරළා නැහැ. හැමෝම ඇවිත් මට මුදල් දීලා තියනවා. ඔබ පොත් වලට ආදරේ කරනවා නම් පොත් වලට වංචා කරන්නේ නැහැ....." ඔහුගේ වදන් මට හොඳින් මතකය.
කෙසේ හෝ වේවා අනතුරුව උදා වුණු තෙමසක කාලයේදී ඉතිරි මුදල මිනිසාට ලබා දුනිමි. එහි ගොස් මුදල් ලබා දෙන සෑම විටකම හුදෙක්ම "ස්තුතියි" යැයි කීවා විනා මගේ පොරොන්දු බිද නොහෙලිම ගැන විශේෂ සැලකිල්ලක් ඔහු දැක් වූයේ නැත. ඔහු නම් අපුරු පොත් වෙළෙන්දෙක් යැයි මට සිතුණි .
Catawiki නමින් අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිය කරනු ලබන්නේ පැරණි පොත් මිලදී ගැනීමයි. මීට වසර දෙකකට පෙර 2017 වසරේ මගේ මේ ෂර්ලොක් හෝම් පොත් සමුහයෙන් එකක් ගෙන එහි නියමිත පින්තුරද සමග යොමු කළෙමි . මගේ උවමනාව වූයේ පොතේ මිල දැන ගැනීමයි. සතියකට පසු මා පුදුමයට පත් කරන පිළිතුරක් ලැබුණි . එනම් මේ පොත අයත් වන්නේ 1951 වසරේ මුද්‍රණය කරනා ලද කාණ්ඩ නවයකින් යුත් එකතුවකට බවත් ඒ පොත් නවය නැතිව තනි පොතක මිලදී ගන්නට අකමැති බවත්ය. පොත් නවය මා සමග තිබේ. ඔබ මට ලබා දෙන මුදල කොපමණද... තවත් ඡායාරුප කීපයක් සමග යොමු කළෙමි . පිළිතුරක් සතියකින් ලැබුණි. ඔවුන් මා හට ලබා දෙන්නට කැමති වූ මුදල යුරෝ 2000 ක් විය.
සෙන් නදී තීරයේ අපුරු පොත් වෙළෙන්දා කියා ඇත්තේ මුසාවක් නොවේ.
කොයි තරම් රහස් පරීක්ෂක කතා කියෙව්වත් 12.12.12 ලියන්නට මට පාඩම කියා දුන්නේ "ෂර්ලොක් හෝම්" පොත් මාලාවයි. එනම් සේන් නදී තීරයේ අපූරු පොත් වෙළෙන්දා පහසු ගෙවීමේ ක්‍රමයට මට ලබා දුන් පොත් නවයයි.
12.12.12. වෙනුවෙන් මේ මොහොතේ මතුවන යහපත් ප්‍රතිචාර හමුවේ පසුගිය දිනක අපුරු පොත් වෙළෙන්දා දැක ගන්නට ගියෙමි. ඔහු සිටියේ නැත. ඔහු ගැන ආරංචියක් දන්නා අයෙක් සිටියේද නැත.
රන් ආභරණ බොහොමයක් නැති අප නිවසේ වැඩිම වටිනාකමක් ලැබෙන්නේ මගේ ෂර්ලොක් පොත් නවයට විය හැකිය. එහෙත් බිය වන්නට දෙයක් නොවේ. නිවසට හොරු පැන්නෝතින් ඔවුහු නැති ආභරණ සොයා යනවා විනා පොත් රාක්කය ගැන අවධානය යොමු නොකරනු නියතය. පොත් කියවන්නෝ හොරු නොවෙති. හොරු පොත් වල අගය නොදනිති.
මංජුල සේනාරත්න
04.07.2019