"සිනමාව" ශ්‍රව්‍ය දෘෂ්‍ය පමණක් නොව විටෙක ඉන්ද්‍රීය ගෝචර වශයෙන් ද ප්‍රේක්ෂකාගාරය තුළ නියෝජිත රසික සහෘදයාගේ රසඥතාව සහ ඥාණ මණ්ඩලය ප්රාසාරණය කරමින් ඔහු හෝ ඇය ආස්වාදයට ලක්කරන ජනකාන්ත කලා භාවිතාවයකි. මුල්කාලීන සිනමාව තුළ ප්‍රමුඛස්ථානය රූපණයට හිමිවුවත් සෛද්ධාන්තික විෂය කොටස්හි එකතුවී සිනමාව ආවරණය වීම මත චිත්‍රපට නේකවිධ වයනයන් ලබන අයුරු දක්නට ලැබුණි. මුල්කාලීනව සිනමා ශාලාවට ගොස් අත්පොළොසන් දෙමින් සහ කෑගසමින් චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකාගාරය, අද්‍යතනය වන විට අතිශය නිහඬව නිසොල්මන්ව චිත්‍රපට කියවන ප්‍රේක්ෂකාගාරයක් දක්වා සතුටුදායක ලෙසින් විකාශය වී ඇත. එහිලා නිර්මාණකරුවන් මෙන්ම සිනමා සහෘදයා ද ඉටුකර ඇති මෙහෙවර මාහැඟි ය.
කෙසේ නමුදු නවකතාව හෝ හුදු ජනප්‍රිය සාහිත්‍යාංගයන් සිනමාරූපය මතට අවතීර්ණ වූයේ මෑතකදී බව පැවසීම සාවද්‍ය වේ. ඩබ්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ටී. බී. ඉලංගරත්න, ගුණදාස අමරසේකර, මහගම සේකර වැනි විදග්ධ සාහිත්යශූරීන්ගේ නිර්මාණයන් රාශියකින් ලාංකේය සිනමා සභ්‍යත්වය අතිශය ශාස්ත්‍රීය අන්තයකට ප්රවිශ්ට වුණි. ඒ අතරතුර තමාට ම ඖචිත්‍ය වූ වයනයකින් තමාට ම උරුම සහෘද පිරිසක් භාව සහ රස ද්විතවයෙන් ම පොහොසත් කළ යතාර්ථවාදී කතා රීතියෙහි නවමු මං පෙත් විවරණය කළ සාහිත්‍යකරුවා සයිමන් නවගත්තේගම යන් ය. "සුද්දිලගේ කතාව" වැනි අතිශය චිත්තප්රසාදිත නවකතාවක් සහ "ස්නේහය" වැනි ග්‍රහණ සුපහසු කෙටිකතාවක් කියවන; පිරික්සන කරන කල්හි නවගත්තේගම දෘෂ්ටිකෝණය පිළිබඳ දළ අදහසක් ප්රාමාණිකව හෝ සපයා ගත හැකිවේ. එවැනි පුරාවතක පන්හිඳ පහස ලත් "දඩයක්කාරයාගේ කතාව" කෘතිය ආශ්රයෙන් සිනමාරූපයට සමීප වන නවතම සලරූ ප්රයත්නය "සංසාරේ දඩයක්කාරයා" ය. එය කීර්තිධර සිනමාවේදී ප්‍රසන්න ජයකොඩි චලරූ වෑයමකි. මේ ඒ පිළිබඳ කෙරෙන නිර්මාණ විමර්ෂණයකි.
විටෙක චමත්කාරජනක රූපයක් මවා අභ්‍යන්තරික භයානක බව වසන් කරන්නට වෙර දරන කුරිරු මෙන්ම කටෝර වූ සංසාරය, නවගත්තේගම සාහිත්‍ය භාෂාවෙන් ම හඳුන්වන්නේ නම් "සංසාරණ්‍යය" චිත්‍රපට ආරම්භයේ දී ම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත් විය. අඩ නිරුවත් තරුණියක් භාවාතිශ පසුබිම් හඬ සැරයක් මතින් තිරය පූර්ණය කරනා අතර සනිටුහන් වූ චිත්‍රපටයේ ආරම්භය තුළින් සංකේතවත් වූයේ බියකරු සසරේ පවා ආශාවන් අවශ්‍යතාවන්ට අධික ලෙස ලොල් වන සත්ත්වයා එහි භයංකර බව නොදකින බවයි. චිත්‍රපටය තුළ ප්රමුඛ චරිතය වන්නේ වන ලැහැබේ සැරිසරන ; හැසිරෙන දඩයක්කාරයා ය. ඔහුගේ චරිතය පෝෂණය කරමින් ගොඩනැගෙන උප ප්‍රධාන චරිත ත්‍රිත්වයකි. එනම් අවිඳු අඳුරේ ගිලෙන තම දායක කාරකාදීන් සුමගට ගැනුමට වෙර දරන භික්ෂූන් වහන්සේ, දුෂ්කර ජීවිතයක අමිහිරියාව තුළ ස්ථානගත නොවන වන මැද කෙළනා තරුණ කත සහ දඩයක්කාරයා සමගින් ම නිතර හැසිරෙනා කුඩා දරුවා ය. චිත්‍රපටය තුළ වැඩි අවධානයකට ලක්වන මෙම චරිත හතර සතර වයනයකින් යුතු අතර ම ඒ ඒ චරිත සීරුමාරුවට ප්‍රේක්ෂකාගාරයට සමීප කරවන්නට තරම් අධ්යක්ෂවරයාගේ සිනමා භාෂා භාවිතාව මනරම් ය. දඩයක්කාරයා චරිතය තරමක ගූඪ සිතිවිලිවලින් පිරි එකවර තේරුම් ගැනීමට නොහැකි චරිතයකි. සලරූ ප්රයත්නයක කලාතුරකින් දක්නට ලැබෙන දියුණු ස්ංකේත භාවිතාවක් සහිත මෙම චිත්‍රපටයේ කතා හරය ප්‍රේක්ෂකාගාරය වෙත සුළු කරනුයේ දඩයක්කාරයාගේ සහ හිමිනමගේ සංවාදයන් ය. දඩයක්කරුවා තමා ජීවත් වන වටපිටාව පිළිබඳ මනා අවබෝධයක් සහිත, තමාට ම අභිමත වූ න්‍යායන් මත පිහිටා සිටින සියලු ගම්වැසියන්ගේ පව් තම කරමත පටවාගත් අයෙකි. ඔහුට හොඳ නරක සහ යහපත අයහප පිළිබඳ ඇත්තේ ඔහුගේ ම කියවීමකි. ස්වාමින් වහන්සේ වනාන්තර මධ්‍යයේ පිහිටි විහාරස්ථානය වෙත ගම්මුන් ඒකරාශි කරගැනීමටත් ඔවුහු පවින් මුදවා පිනෙහි පිහිටුවීමටත් තම හැකි උපරිමය වෙහෙසී ක්‍රියාකරන චරිතයකි. දඩයක්කරු වන ලැහැබේ සිටින ගම්මුන්ගේ ජීවිත අකාලයේ මිලින කරන සත්ත්ව කොට්ඨාසයන් සහ එදිනෙදා ගම්මුන්ගේ ආහාර සඳහා අවැසි මස් මාංශ පිළියෙළ කිරීමට අවශ්‍ය සතුන් වෙඩි තබා ඝාතනය කරන තැනැත්තා වන අතර භික්ෂූන් වහන්සේ නම් සංසාරය නැමැති වන ලහැබේ ආශාව, අකුසලය, තෘෂ්ණාව සහ කාමුකත්වය වැනි පවිටු මූලයන් සොයාගොස් ගම්මුන්ගෙන් දුරස් කර දඩයම් කරන දඩයක්කරුවා ය. එනමුදු චරිතයන් ද්විත්වය එකම කාර්ය්යක නියැලුණත් ස්වරූපය වෙනස් වනුයේ හිමිනම තම දායක පිරිස සමගින් ම විමුක්ති මාර්ගාන්තයේ නිර්වාණය සොයා යන කල දඩයක්කරු තම වටා සිටින්නවුන් සහ ඔවුන්ගේ විමුක්ති ගමන වෙනුවෙන් තමාගේ විමුක්තිය ; ශාන්තිය පරිත්‍යාග කිරීම හේතුවෙනි. දඩයක්කරු තම දරුවා හට ආහාර ගෙනවිත් දෙන ජවනිකාවක් චිත්‍රපටයේ මසිත සොරාගන්නට සමත් විය. ඔහු තමා මෙන්ම මෙලොව අයිතිය ඇති තවත් සත්ත්වයෙකු මරාපියා ඒ ලෙයින් දෑත් කිලිටි කොටගෙන ඇතැම් විටෙක ඇතැමුන්ගේ අපවාද පවා අසා නිසොල්මන්ව සක්‍රීය ලෙස තම ජීවිකාවේ යෙදෙන්නේ තම එකම උරුමය වන දරුවා රැකගැනීමට ය. කතා මධ්‍යයෙහි පෙන්වන එම දරුවාගේ මවගේ නිසල දේහය ඔහු මිහිදන් නොකරනුයේ ජීවිත අනියත බව මෙන්ම මහපොළොවට අයිති කුනු කය එයටම ජරාජීර්ණ වීම අතිශය සුදුසු බැවිනි. හෙතෙම තම දරුවාට උගන්වන්නට යෙදෙන දිවි අභ්‍යාසයන් අමිල නිමල ය. වෙසක් සඳ එළියේ ගම්මුන් එකට එක්වී විහාරස්ථානයේ බණ අසන දඩයක්කාරයා විසින් ගිනි විද ව්‍යාඝ්‍රයා මරාදමනුයේ බණ අසා පැමිණෙන්නවුන්ගේ චිරජීවනය උදෙසා ය. එනමුත් ඔහු ඉන් අත්වන කිසිත් නැත්තේ ය. දඩයක්කරුටත් භික්ෂුවටත් අමතරව මෙහි කැපීපෙනෙන චරිතය ගෝමරියයි. ඇය තාරුණ්‍යයේ විතින් මත් වූ රාගාදී චේතානාවන්ගේ අධි ආශක්ත බවක් ගොඩනගාගත් නාඹර යුවතියකි. බියකරු ගන වනයේ තුරු ඵල වැලෙහි සුන්දරත්වය හෝ ගත වෙළන සුළඟෙහි ආස්වාදය පමණක් ඇගේ සිත් හි ඉඩහසර වෙන්කරගනී. ඉන් අධ්යක්ෂවරයා අවධාරණය කරනුයේ ද සංසාර ගමනේ භෞතික සැප සම්පත් ආඪ්‍ය ජීවිතය අතිශය තාවකාලික මෙන්ම අවිනිශ්චිත වුවත් මානවයා ඒ හා අසීමාන්තිකව බැඳී ඇති බව විය යුතුය. සනාතන හේලි දහමට අනුව ආශාවට ලොල් වන ඇය ආශා අන්තයේ දී ම ජීවිතයෙන් සමුගෙන ඇති බව තිරය මතට අධ්යක්ෂවරයා අපූරුවට එක්කළ අතරම සුජීවමාන කාලයේ දිලුණු විසිතුරු ඇගේ කාය ස්වරූපය මරණයත් සමගින් ජරාජීර්ණ වූ විට පිළිකුල්සහගත බව අපූර්ව ලෙසින් චිත්‍රපටයක චිත්රණය කළ අවස්ථාවක් මෙහි දක්නට ලැබුණි. ඉන්පසු තරමක ප්‍රමාණික අවධානයක් දිනාගන්නේ කුඩා දරුවාගේ චරිතයයි. චිත්‍රපටය පුරාවට ම දෙබසට වඩා භාව නිරූපණයට සමීප කුඩා දරුවාගේ රංගනය චිත්‍රපටයේ කතා හරය අවබෝධ කොට දෙන අනාගත පරපුර නියෝජනය කළ බව හැඟිනි. එමෙන්ම සෙසු චරිතයන් ප්‍රධාන චරිතවලට හානියක් නොකරමින් හැකි ලෙස පෝෂණ කාර්යෙහි නිරතවීය. චිත්‍රපටය තුළ චරිත සැලස්ම එසේ වන ඔවුනොවුන්ගේ රංගනය පිළිබඳව ද දැක්වීම යුක්ති යුක්තය. හේමසිරි ලියනගේ නැමැති රූපණවේදියාගේ ක්ෂණ නියාමයෙන් පැන නගින භාව නිරූපණයන්ගෙන් පොහොසත් රංග වත චලරූ සමීප රූපයෙහි ප්‍රේක්ෂකාගාරය කතාව මත ම රඳවා ගැනීමට සමත් වූ බව හැඟුණි. වයෝවෘද්ධ භික්ෂුවකගේ ක්‍රියාශීලි ඉරියව් සහ චලනවලදී දක්නට ලැබෙන වෙහෙස ලියනගේ සූරීන් තුළින් ස්වභාවිකව ම නිරූපණය විය. එමෙන්ම මෙහි ප්රමුඛ සහ කථක චරිතය රංගනය කරන සංජීව උපේන්ද්‍රගේ රංගනය සිත්ගන්නාසුළුය. මීට පෙර මා ඔහුගේ රංගනය දැක අත්තේ තිරගත වීමට නියමිත "සුපර්ණා" වැනි චිත්‍රපටයක පමණි. එහිදී සංජීව කළ රජ්ජුරුවන් නැමැති චරිතයට වඩා හාත්පස වෙනස් මෙන්ම සංවර්ධිත චරිතයක් ලෙස මෙම චිත්‍රපටයේ දඩයක්කරු මුදුන්පත් කළ හැකිය. ඔහුගේ ද මුහුණින් නිරූපණය වූ සන්තාපය, පීඩිතභාවය, බාහිර ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට අකමැති බිය, වික්ෂිප්තවීමක දී අසුරු සැණෙකින් ඇතිවන කැළඹීම ඔහුගේ රංගනයට ආලෝකයක් ගෙනදුන් හැඟීම් දහරා විය. කුඩා දරුවා ලෙස පෙනීසිටි ඉසුරු නවෝද් ද ප්‍රේක්ෂකාගාරයට සම්මුඛව නිරුවත් මුහුණින් බලා සිටින අවස්ථාව තුළ හැකි උපරිමයට ළඟාවන්නට වෙරදැරූ බවක් දක්නට ලැබුණි. එමෙන්ම තුසිත් ලක්නාත්, ක්‍රිස්ටිනා බ්‍රිටෝ ඇතුළ සමස්ත රංගකාරික සපිරිවර අධ්යක්ෂවරයාගේ චිත්ත සන්දර්භය මැනවින් උකහාගෙන ඒ ඔස්සේ තම කර්තව්‍ය තුළ ස්ථානගත වූහ.
මින්මතු ඇගයීම සුදුසු වන්නේ කාර්මික අංශයයි. එහිදී මගේ නොමද ඇගයුම හිමිවනුයේ ශබ්ද සැලසුම් සහ පරිපාලනය කළ අරුණ ප්‍රියන්ත කළුආරච්චිට සහ සංගීත නිර්මාණය කළ සුමුදු ගුරුගේ හටය. චිත්‍රපටය තුළ සහෘදයා රැඳවූයේ ද ඒ ඔස්සේ ඔවුන් කැඳවාගෙන ගීයේ ද පසුබිමින් ඇසුණ භාවතිශ හඬසැරයයි. එය ස්ත්රීත්වයේ අදෝනාවක් විලසින් මෙන්ම මිනිස් එක්වීමක කැළඹීමක් මුසු හඬක් ලෙසින් චිත්‍රපටය පුරා රැව්දීය. එමෙන්ම ශබ්ද පරිපාලනය තුළ කිසිසේත් රසිකයාගේ සලරූ ධ්‍යානය බිඳී ගියේ නැත. ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනය මෙන්ම නාරද ධනංජි තොටගමුවගේ අසහාය වේෂ නිරූපණය ද චිත්‍රපට වටිනාකම තීව්ර කරන්නට විය. විශ්ව බාලසූරියගේ කැමරා කෝණය ද චිත්‍රපට කතාවේ අභ්‍යන්තර වෙතට සහෘදයා සමීප කරන්නට තරම් උත්සුක වූ අතර සමීප රූප තුළින් චරිත මනාව විවරණය කොට දැක්වීය. මෙවැනි ප්රබුද්ධ සිනමා වියමනක් අර්බුදකාරී අවකාශයක නිෂ්පාදනය කිරීමට තරම් සුහිත් වූ නිෂ්පාදන දායකත්වය ද අගය කළ මනාය. එමෙන අවසන විශේෂයෙන් ම ඇගයිය යුත්තේ තිර රචනය සහ අධ්‍යක්ෂණය තුළින් ප්‍රේක්ෂකාගාරයේ නිම්වළලු ප්‍රසාරණය කළ ප්‍රසන්න ජයකොඩි ය.
"සංකාරා", "කර්ම" සහ "28" වැනි නේකවිධ පරාසයන් ස්පර්ශ කරමින් සිංහල සිනමා රූපය තුළ බුද්ධිගෝචර තේමාවන් තාත්ත්වික කළ සලරූ භාෂාඥයා ඔහුය. සිනමාව යනු හුදු නිර්මාණ භාවිතාවකට එහා ගිය භාෂාත්මක භාවිතාවයක් බව ඔහු සැමදා තම නිර්මාණ තුළින් ප්‍රකට කරන්නට සමත් ය. විශේෂයෙන් කතාවේ දෙබස් සහ තිර රචනයෙහි අන්තර්ගත සංකේත රූප අර්ථාන්විතව ම ඥාණ මණ්ඩලය තුළ අවක්ෂේප වීමට තරම් ප්‍රබල ය. හුදු සිනමාපටයක් දැක සතුටුවන ප්‍රේක්ෂකාගාරයට මෙම චිත්‍රපටය විශාල ප්‍රශ්නාර්ථයක් විය හැක්කේ මෙය බැලීමට නොව කියැවීමට නිර්මාණය වූ චිත්‍රපටයක් නිසාවෙනි. සාහිත්‍ය ලෝකයෙහි ප්රබුද්ධ දැවැන්ත චරිතයක් සහ නූතන සිනමාවේ කලාත්මක පර්ෂදයේ සලරූ භාෂකයා අතර ඇතිවන මනෝඥ සංකලනය හෙවත් "සංසාරේ දඩයක්කාරයා" යනු අතිශය සිනමාකර්ෂණීය සහ සිනමාගෝචර නිර්මාණ ව්‍යායාමයකි. චිත්‍රපට අවසානයේ මේ රුදුරු සසර කතර තුළ අභ්යතරයේ සහ බාහිරයේ ආදී සෑම තැනකම ගැට ගැසී ඇත්තේ හුදු කෙලෙස් මුලික බන්ධන බව නිර්මාණයෙහි හුවාදක්වන මහා වෘක්ෂයෙහි මූල පද්ධතිය අතිශය ප්රශස්ත සිනමා භාවිතාවක් ම ය. එලෙසින් මේ සිනමාව යොදාගත හැකි නම් හෙළ සිනමාව ද ජාත්‍යන්තරය විලම්භීත කරන දවස අදට වඩා හෙටට සමීප ය. සිනමාව රස විඳින්නවුන්ට විනා සිනමාව ගවේෂණය කරන්නවුන්ට අවතංස මෙම චිත්‍රපටය අනාගත අංකූර නිර්මාණකරුවන් ට ද සිනමා භාෂා භාවිතය තුළ අධ්යනගත වීමට විසල් අවකාශයකි. එමෙන්ම් ශ්රව්යගෝචර දෘෂ්යගෝචර සංකල්ප රූපයන්ගෙන් රස ආසාදනය කොට ගැනීමට ප්‍රියැති තුන්කාලීන සිනමා සහෘදයිනට ද මෙම නිර්මාණ ප්රයත්නය තත්කාලීනව වටිනේ ම ය.
සංසාරේ දඩයක්කාරයා - Sansare Dadayakkaraya (Directed By Mr. Prasanna Jayakody )
සටහන : ආකාශ් තාරුක පෙරේරා