ප්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා‘ චිත්‍රපටය නැරැඹිමෙන් ලත් ආස්වාදය නිසා ඊට පාදක වූ සයිමන් නවගත්තේ ගමගේ ‘දඩයක්කාරයාගේ කතාව ‘ යළි කියවන්නට ගත්තා. එය කියවද්දී යළි යළිත් පසක් වූයේ ඒ මහා නිර්මාණවේදියාගේ අප්‍රමාණවූ නිර්මාණවේශයේ මහිමය මෙන්ම වනාන්තරයේ සතා සිවුපාවා, , ගහකොළ ඇසුරුකළ සැබෑම දඩයක්කාරයකු සේ ඔහු භුක්ති විඳි සැබෑම අත්දැකීම් ස්වකීය නිර්මාණකරණය පෝෂණය කරන්නට උපකාරි වී ඇති ආකාරයයි.
සැබැවින්ම විවිධ තරාතිරම්වල විවිධ ආකාරයේ ගැහැනුන් මිනිසුන් පමණක් නොව මේ තරම් වනාන්තරයේ ගහකොළ සහ සතාසිවුපාවුන් ඇසුරු කරමින් ඔවුන්ගේ ජීවන ලාලසාවන් විනිවිද දකින්නටත් වරම් ලද නිර්මාණකරුවකු සිංහල සාහිත්‍ය වංශයේ අපට හමු නොවේ.
සයිමන්ගේ ඒ නිර්මණකරණය අරබයා මීට පෙර මා මේ මුහුණු පොතට ලියූ මේ සටහන යළි මෙසේ පළ කරන්නට අදහස් කළේ අද දවසේ ප්‍රසන්නගේ ‘සංසාරේ දඩයක්කාරයා‘ චිත්‍රපටය ඔස්සේ සයිමන් යළි කියවන්නට නවපරපුරේ පාඨකයන් පොළඹවනු පිණිසය.
පේරාදෙණි සාහිත්‍යය බිඳවැටීමත්- හැත්තෑව දශකයේ දී ඊනියා ජනතා සාහිත්‍යය උත්කර්ශයට නැංවීමත් සමග පුරන්වූ සිංහල සාහිත්‍ය කෙතට සරු බිජුවට වැපුරූ අපූර්ව නිර්මාණවේදියා සයිමන් නවගත්තෙගම යි.
වන්නියේ හද්දාපිටිසර සිවලාකුලමෙන් සිදාදියට ආ මේ අපුරු නිර්මාණවේදියා වේදිකාවේ සහ සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියකු පමණක් නොව විශිෂ්ට නාට්‍ය වේදියකු මෙන්ම විශිෂ්ට සාහිත්‍ය වේදියකු සහ විචාරකයකු ලෙසද 70 දශයේදී මතුවුණා.
‘ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්‘ – ‘ඔරුව එනතුරු‘ ‘ගගන සරණ කුරුල්ලනේ ‘පුස්ලෝඩං‘ ‘ සුබ සහ යස‘ ‘ස්ත්‍රී ‘ ඇතුළු ඔහුගේ නාට්‍යවල විෂය ක්ෂේත්රය දාර්ශනික සහ දේශපාලනික වශයෙන් වැදගත් තැනක් ඉසුලුවා. සයිමන් ගේ ‘සුබ සහ යස‘ එවකට ආන්දොලනාත්මක නාට්‍යයක් වුණේ ඊනියා ජනතාවාදී සාහිත්‍ය යෙන් ඊට බැට දෙන්නට පටන් ගත් නිසා. එවකට ‘ඇත්ත‘ පුවත්පත මගින්ද ඔහු හැඳින්වූයේ සී අයි. ඒ.කාරයකු හැටියටයි. චින්තන ජයසේන නමැති විචාරකයා ඔහුගෙ ‘කොලම‘ මගින් ‘සුබ සහ යස‘ ට පහර දුන්නේ ‘සුබ යස යස නොහොත් කිතුලට ගිය මිනිසාගේ කතාව‘ යනුවෙන්. එහි ප්‍රතිඵලය වුනේ ‘සුබ සහ යස ‘රට පුරා දර්ශන වාර 1000ක් පමණ පවත්වන තරමට ජනප්‍රිය වීමයි.
සයිමන් මුලින්ම ‘ඔහුගේ කතාව‘ නමින් කෙටිකතා එකතුවක් කරන්නේ ශිෂ්‍ය අවදියේදීයි . සයිමන් ගේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස විචාරක පාඨක දෙපාර්ශවයේම සම්භාවනාට පාත්‍ර වන්නේ ‘සාගර ජලය මදි අඩුවා ඔබ සන්දා ‘ පොතයි. ඉන්පස්සේ සයිමන් අතින් ලියැවෙන ‘සුදීලාගේ කතාව‘ නවකතාව සිංහල සාහිත්‍යයට නව අනුභුතියක් වුණා. එතෙක් අපේ සාහිත්‍ය යෙන් මැවු සුන්දර ගම සයිමන් එම නවකතාවේ ලා කුඩුපට්ටම් කරනවා. මුළු නවකතාව පුරාම දකින්ට ලැබුනේ අව්‍යාජත්වයක්.
‘සුද්දීලාගේ කතාවෙ‘න් පසුව සයිමන් අතින් ලියැවෙන ‘සංසාරාරණ්‍ය යේ දඩයක්කාරයා ‘ නැවත සිංහල සාහිත්‍ය යේ විෂය ක්ෂේත්රය ඔළුවෙන් හිටුවා තබනවා. ‘ ‘සංසාරාරණ්‍ය යේ දඩයක් කාරයා‘ තුළින් සයිමන් ගෙනෙන ආඛාන රීතිය එතෙක් පුරන්ව තිබු සාහිත්‍ය කෙතට වට වැස්සක් වුණා. ඉන්පසු සයිමන් ලියූ ‘දඩයකකාරයා ගේ කතාව ‘ ‘ක්ෂීරපාය කැළඹිණ‘ ‘සංස්සාරණ්යය අසබඩ‘ ඇතුළු නවකතා නවපුරේ නිර්මාණකරුවන්ට ආස්වාද ජනක නව අනුභුතීන් බවට පත්වුණා.
සයිමන්ගේ මේ අතිශය නිර්මාණශිලී සාහිත්‍ය භුමිකාව ඔහු මිය යනතුරුත් නිසි අගැයීමට ලක්වූනේ නෑ . සම්මාන උත්සව වලදී ‘සාගර ජලය මදි ඇඩුවා ඔබ සන්දා‘ ‘සුද්දීලාගෙ කතාව ‘ ඇතුළු විශිෂ්ට කෘති අගැයුනේ නෑ. ‘සංසාරණ්‍ය අසබඩ ‘ නවකතාව පමණක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයකදී හොඳම නවකතාව හැටියට සම්මානයට පාත්රවුණු අවස්ථාවේදී අධිපති මතවාදයෙන් සම්මාන පිදු අයටත් සයිමන්ටත් බැට දුන්නේ එය කුණහරුප පොතක් හැටියට හංවඩු ගහමිනුයි.
සයිමන් ඔහුගේ සාහිත්‍යය ඇතුලෙ ලිංගිකත්වය නොසඟවා ලිව්වා. ඒවා එම නිර්මාණ කෘතිවල ආ චරිතවල අව්‍යාජ ලිංගික චර්යාවන් මිස අහසින් පොම්ප කළ ඒවා නොවෙයි. සයිමන්ගෙ සාහිත්‍ය භාවිතාව නිල විචාරය විසින් නොතකාහැර සහ ඔහුගේ නව නිර්මාණකරණය ඒ නිල විචාරකයන්ටක් දුරවබෝධව තිබූ අවදියක ‘සිංහල ජාතියේ වංශ කතාව -සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම‘ නමින් ඉතා අගනා කෘතික් පළ කරමින් එම භුමිකාව පුර්ණ විග්රහයකට ලක් කළේ කේ. කේ සමන් කුමාර (සර්පයා) පමණයි. සයිමන්ගේ නිර්මාණකරණයේ ඇතුළත විමසන්නකුට ඒ සඳහා දොරගුළු හැර ගන්නට තිබෙන එකම යතුර සමන් කුමරගේ එම කෘතිය පමණයි.
සයිමන්ගේ සමස්ථ නිර්මාණකරණයත් ඔහුගේ පෞද්ගලික ජීවිතයත් දෙකක් නොව එකක්. ඔහු ඉතා හොඳින් ජීවිතය වින්ඳා . තමන් ඇසු රු කළ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ ජීවිත විනිවිද දුටුවා. ඒ ජීවිත ඇතුලේ තිබුණ කුණ සැරව එළියට ඇදලා දැම්මා. එහිදී සම්මත සමාජය ඔහු තුට්ටුවකටවත් මායිම් කළේ නෑ.
‘‘සුද්දීලාගේකතාවේ‘ පෙවදනෙහිලා සයිමන් මෙහෙම කියනවා.
‘‘මෙම ජීවිත සටහන්වල සඳහන්වන ප්‍රධාන චරිත අතරින් රොමියෙල් හැර අනික් අය අද ජීවතුන් අතර නෑ. එක්තරා අවධියකදී මට ඔවුන් හැම දෙනාම වෙන් වෙන්වද එක්වද ආශ්‍රය කිරීමේ භාග්‍යය ලැබිණි. සුද්දී නමින් මෙහි හැඳින්වෙන අහිංසක ගැහැනිය පවා ඉතා ළඟින් ඇසුරුකරමින් ඇගේ සිතුවිලි හා ජීවිතය මුළුමනින්ම වගේ දැනගැනීමට අපූරු අවස්ථාවක් මම ලැබීමි. මෑතක්වන තුරු රොමියෙල් මට විටින් විට ඔහුගේ ජීවිතයේ හැම දෙයක්ම හෙළි කළේය..
‘‘ඔවුහු හැම දෙනාම මට ජීවිතය සහ සමාජය ගැන ඉගැන්වූහ. සුද්දීලා රොමියෙල්ලා ඇසුරු කිරීමෙන් එක් කලෙක මා නොයෙක් අපහාස සහ ඕපාදූපවලට ගොදුරුවුවත් ඔවුන් හා එක්ව ගතකළ කාලය මට ඉතාම රසවත් විය...‘‘
‘දඩයක්කාරයාගේ කතාව‘ පෙරවදනෙහිලා සයිමන් මෙහෙම කියනවා.
‘‘අපගේ ගම වටා එකල මහා වනාන්තරයක් විය. ඉතා දක්ෂ දඩයක්කාරයකුවූ මගේ පියාණන්දෑ තුළ වනාන්තරය පිළිබඳව වූයේ අනල්ප වූ ඥාණ සම්භාරයකි. උන්දෑගෙන් උරුමකොටගත් දැනුම මෙම නවකතාවේ හරය වෙයි.‘‘
සයිමන් ගේ නිර්මාණවල විෂය වූ චරිත- පරිසරය සහ එම අනුභුතින් සියල්ල ඔහු විසින් හොඳින් අත්දකින ලද ඒවා බව පැහැදිලිය. ඔහුගේ නිර්මාණකරණය මෙතරම් පොහොසත් වන්නටත් අව්‍යාජ වන්නටත් ප්‍රධානම හේතුව එහි එන චරිත තුළින් අව්‍යාජව මිනිස් ගඳ හා සුවඳ දෙකම වහනය වන නිසයි.
සටහන : ගුණසිරි සිල්වා