.
මගේ සාහිත්‍ය ලෝකයේ වීරයා ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ ය. මෙලොව බිහිවුණු ශ්‍රේෂ්ඨම යැයි සැළකෙන කෘති බොහොමයක් මා කියවා නැත. එසේ වුවද වික්ටර් හියුගෝ ලියූ Les Misérables මෙලොව බිහි වූ විශිෂ්ඨතම කෘතිය යැයි මට සිතේ.
එය පරිපුර්ණ පොතකි. එවැනි කෘතියක් තවත් අයෙක් විසින් ලියා ඇත්දැයි සිතන්නට අපහසුය. ආදරය, අනාදරය , වෛරය , පළිගැනීම , අති සංකීර්ණ මානුෂික හැගීම් සහ ගැටුම් , දරිද්‍රතාවයේ කෲරත්වය පමණක් නොව සමකාලින දේශපාලනික හා ආර්ථික පසුබිම එකම කෘතියකට ගොනු කර ගෙන පාඨකයාගේ අවධානය නිරන්තරයෙන්ම රැක ගනිමින් කෘතියක් ලියන්නට යම් අයෙකුට හැකි වේද ඒ තැනැත්තා මහා ලේඛකයෙකු නොවන්නේද...?
අනෙක් අතට වික්ටර් හියුගෝ හුදෙක්ම ලේඛක යෙක් පමණක්ම නොවේ. කවියෙකි. නාට්‍ය කරුවෙකි. විචාරකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. දේශපාලඥයෙකි . සමාජ සේවකයෙකි. පවතී දේශපාලන ක්‍රමයට එරෙහිව සටන් කළ විප්ලවකාරයෙකි . සප්‍රමාන මිනිසෙකි.
මේ සිද්ධිය 2000 වසරේ සිදු වූවකි . ඔබ සාහිත්‍ය ලැදි , යහමින් පොත් කියවන, ප්‍රංශ බස ගැන හොඳ දැනුමක් ඇත්තෙක් (ප්‍රංශ කාරයෙක් යැයි කියමු ) වුනත් Les Misérables යනු පහසුවෙන් කියවා තේරුම් ගන්නට අපහසු පොතකි. එය වචන 5 13 000 කින් යුක්තය. මුල් ප්රකාශනයේදී පිටු ගණන 2000 ක් වුණත් අද වෙළඳ පොළේ ඇති පොතේ පිටු 1200 කි. (ලංකාවේදී අපි කියවූ මෙහි පරිවර්තනය යැයි කියනා "මනුතාපයේ" ඇත්තේ මුල් පොතෙන් සියයට අසුවක් වැනි ප්රමාණයකි.) වාක්‍ය දිගුය. ඇතැම් වැකියක් යනු පරිච්ඡේදයකි. වචන 823 ක වාක්‍යයක් එහි තිබේ. වික්ටර් හියුගේ භාවිතා කරන බස සංකීර්ණය. මේ කාලය වන විට ප්‍රංශයේ නව වසක් ගත කර තිබුණත් Les Misérables තනිවම කියවා තේරුම් ගෙන එහි රසය විඳ ගැනීමේ හැකියාවක් මට තිබුණේ නැත.
ප්‍රංශයේ බොහෝ නගර වල කෙරෙන්නාක් මෙන් පැරිස් 13 ප්‍රදේශයේ නගර සභාව සාහිත්‍ය රසකාමීන් වෙනුවෙන් පොත් සමාජ (Book Club ) පවත්වයි. මේවායේදී කෙරෙන්නේ ප්‍රංශ සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති , බොහෝ විට සාමාන්‍ය කියවන්නාට කියවා තේරුම් ගත නොහැකි කෘති , විශ්‍රාමික භාෂා , සාහිත්‍ය ගුරුවරයෙකු විසින් විග්රහ කරමින් පාඨකයන් සමග පොත බෙදා ගැනීමයි. ඔවුන්ගේ වැඩසටහනට අනුව Les Misérables යනු වසරකටම වරක් කියවීම සඳහා තෝරා ගන්නා කෘතියකි . දවසකට පැය දෙක බැගින් ,සතියකට සවස් යාමයන් තුනක් පොත කියවීම සහ පැහැදිලි කිරීම් සිදුවුණු අතර ඒ වසරේ (2001 මුල් කාලයේ ) එහි සිටි එකම විදේශිකයා මම පමණක් විය.
කෙසේ හෝ වේවා ප්‍රංශ රජය විසින් , නගර සභා මුල් කර ගෙන සාහිත්‍ය ජනතාව අතරට ගෙන යාමේ මේ මහඟු වෑයමට පින් සිදු වන්නට මම Les Misérables සහ වික්ටර් හියුගෝ හඳුනා ගතිමි. පොත කියවා නිම කෙරුවාට පසු කණ්ඩායමේ විස්සක් පමණ දෙනා අතර පුංචි සාදයක් පැවැත්විණ . සාදය අතරමැද දී අපිට පොත කියා දුන් විශ්‍රාමික කථිකාචාර්ය වරයා ළගට මම පොත කියවීමෙන් ලැබූ කම්පනය තුළින් නැගුනු සාධාරණ ප්‍රශ්නයක් ඇසුවෙමි.
"මිනිහෙක් කොහොමද මේ වගේ සර්ව සම්පුර්ණ පොතක් ලියන්නේ....?" මගේ ප්රශ්නය ඔහුට පුදුමයක් නොවිණ .
"ඔය ප්‍රශ්නේ මගෙන් අහපු දස දහස් වැනියා ඔබ වෙන්න ඇති...ඔබ දන්නවද මගේ පිළිතුර මොකක්ද කියා...? ඔහු ඇසුවේය.
"ඒ ප්‍රශ්නෙට ඔබ ලග උත්තරයක් නැහැ කියන එකද....."
"හරියටම හරි......"
Les Misérables පොත එක්තරා අන්දමින් මගේ ජීවිතය වෙනස් කළා යයි කිව යුතුයි. මේ පොත, එහි චරිත , සිද්ධීන් රුධිරයට එක් වී තිබුණු ඒ මොහොතේ පැරිස් 04 ප්‍රදේශයේ Vosges චතුරශ්‍රයේ පිහිටි වික්ටර් හියුගෝ ගේ පැරිස් නිවස (අද ලොව වටා සාහිත්‍ය කාමීන්ගේ දෙනෙත් සනසන කෞතුකාගාරයකි.) බලන්නට ගියෙමි . මා පින් කළ බව හැගුණි. තවත් සතියක් ගිය තැන Les Misérables පොත ලියද්දි මහා ලේඛකයා ගේ ජීවිතය බෙදා ගත් නොයෙකුත් දෑ එළි බසින ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව සදහන්ව තිබේ. දවස් ගෙවෙනා තුරු රැක සිට මුල්ම දවසේම , මුල්ම හෝරාවේ එහි ඇතුළු වුනෙමි . පළමු මහළේ කෙළවර තරප්පු පෙළ අසළ මේසයක් මත තරමක් විශාල විදුරු පෙට්ටියකි. ඒ දෙපස හැඩි දැඩි ආරක්ෂකයන් දෙදෙනෙකි. සෙනග වටවී නරඹන යමකි . පින්තුර ගැනීම තහනම්ය. අසළට ගියෙමි. මා ඉදිරියේ විදුරු පෙට්ටියේ තිබුණේ Les Misérables නම් මහා නිර්මාණයේ අත් පිටපතකි. එනම් මගේ සාහිත්‍ය ලොවේ වීරයාගේ අත් අකුරින් ලියූ පිටපතයි. ඩොලර් මිලියන 125 කට මිල කර තිබුණු ඒ නිධානය ප්‍රංශ රජයේ අයිතියකි.
මගේ ගැහෙන හදවත සන්සුන් කර ගෙන හැකි තරම් ලං වී බැලුවෙමි. එය විශාල අත් පිටපතකි. ඇත්ත කතාව මෙයයි. මේ කතාව සොයා ගත්තේ වික්ටර් හියුගෝ ගේ ජිවිතයේ අප්‍රකට තොරතුරු ගැන ලියවුනු VICTOR HUGO VIE D'UN GEANT (Life of a Giant) පොතෙනි. මහා ලේඛකයා මේ පොත ලිව්වේ ප්‍රංශය හැර ගොස් Guernesey නම් දුපතේ නිවසක සිටයි. දස වසරක කාලයක් පුරා ලියුවුණු පොතකි මෙය. මුල් මුද්‍රණයේ පිටු 2000 කින් යුක්ත වූ පොතේ අත් පිටපතේ පිටු ගණන 6000 ක් විය. දවසකට පැය දහ හතක් පුරා ලියමින් නිම කරනා අත් පිටපතේ නොයෙක් අඩු පාඩු දකිනා වික්ටර් හියුගෝ මේ වැරදි නිවැරදි කරමින් , අනවශ්‍ය දේ කපා හරිමින් , තව දේ එකතු කරමින් දස වතාවක් අත් පිටපත් ලියා තිබේ. එනම් පිටු 6000 බැගින් දස වතාවකි. එසේත් නැතිනම් පිටු 60000 කි. කොතරම් සාහිත්‍ය පිස්සෙක් උනත් පිටු 60000 ක් ලියන්නට සංයමයක් සොයා ගන්නේ කෙසේද....?
දැන් මේ ලිපියේ සිරස්තලයෙන් කියවෙන කතාවට එමු.
වික්ටර් හියුගෝ නැමැති මහා ලේඛකයාගේ , සප්රමාණ මිනිසා ගේ නොපිරුණු පැත්තක් ද විය. එනම් විවාහ දිවියයි. හැම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහැනියක්, එනම් බිරිදක් සිටිනා බව කියවේ. වික්ටර් හියුගෝ පිටුපසද ගැහැනියක් සිටි බව සැබෑය. එහෙත් ඒ ඔහුගේ බිරිඳ නොවේ. දෙවන ගැහැනියකි. එසේත් නැතිනම් අනියම් බිරිඳකි. පුරුදු භාෂාවෙන් කියන්නේ නම් හොර ගැහැනියකි.
වික්ටර් හියුගෝ ස්ත්‍රී ලෝලියෙකි. ඔහු කාන්තාවන් ඇසුරේ (පෙම්වන්තියන් , ගණිකාවන් , තමන්ගේ නාට්‍ය වල රගපාන්නට පැමිණි නිළියන් ) ගෙන ගිය ජීවිතය , ප්‍රේම කතා , ලිංගික චර්යාවන් ගැන ලියවුණු La Vie amoureuse de Victor Hugo (Love Life of Victor Hugo) නැමැති පොත අපූරු තොරතුරු ලොවට හෙළි කරයි . වයස අවුරුදු 20 දී ඔහු Adèle Foucher සමග විවාහ වන විට කිසිදිනක කාන්තාවක් සමග කායික සම්බන්ධතාවයක් පවත්වා තිබුණේ නැත. ජිවිතයේ මුල් වරට ගැහැනියකගේ පහසින් කුල්මත් වන තරුණ හියුගෝ මධු සමය රාත්‍රියේ හත් වතාවක් ප්‍රේම රංගනයන්හි යෙදුනු බව කියවේ.
මේ විවාහය අවුරුදු 46 ක් පුරා විහිදී ගිය එකකි. මේ විවාහය ගත කරද්දී , වික්ටර් හියුගෝට දෙවන ගැහැනිය , Juliette Drouet මුණ ගැසෙන්නේ 1833 වසරේ ඔහුගේ වේදිකා නාට්‍යයක රඟ පාන්නට පැමිණි තරුණ නිළියක් වශයෙනි. ඇගේ රූමත් බවින් මුසපත් වන තරුණ ලේඛකයා ඇය සමග ප්‍රේමයෙන් බැඳෙයි . එය වනාහි අඩ සිය වසක කාලයක් පුරා දිව ගිය අපූරු ප්‍රේම වෘතාන්තයකි. ගැඹුරු ආදරයකි. ජිවිතයේ ඉතාම වැදගත් තීරණ හා සංකීර්ණ සිද්ධි වලදී තමන් සමග සිටි මේ ගැහැනිය ට වික්ටර් හියුගෝ කිසි දිනක විවාහ යෝජනාවක් ගෙන ආවේ නැත. ඇයද ඒ ගැන කන්නලව් නොකළාය . තම බිරිඳගේ මරණයෙන් පසුව (1868 ) වුවද දෙවන ගැහැනිය විවාහ කර ගැනීමේ උවමනාවක් හියුගොට නොවිණ .
Victor Hugo – Juliette Drouet / 5O ans de lettres d'amours , 1833 -1883 (
නැමැති පොත ගැන (දෙවන පින්තුරයේ ඇති ) යමක් කිව යුතුය. වික්ටර් හියුගෝ සහ Juliette Drouet හමු වී, ප්‍රේමයෙන් බැඳී දෙන්නා අතර කායික සබදතාවයක් ඇති වන්නේ 1833 වසරේ පෙබරවාරි 16 -17 රාත්‍රියේය. මේ සුවිශේෂ දිනය පසු කළෙක මහා ලේඛකයාLes Misérables පොතට ඇතුලත් කරන්නේ එහි ප්‍රේමවන්තයන් වන මාරියුස් සහ කොසේත් ප්‍රේමයෙන් බැදෙන මුල් රාත්‍රිය මෙය බව කියමිනි. කෙසේ හෝ වේවා වසර පනහක් පුරාම මේ දිනයට පෙම් හසුනක් තම ආදර වන්තියට (දෙවන ගැහැනියට ) යැවීමට හියුගෝ අමතක නොකළේය. ඉතිං ඉහත පොතේ ඇත්තේ වසර පනහක් පුරා ඔහු ඇයට යැවූ ආදර හසුන් පනහකි. මෙය අපූරු පොතක් වන්නේ මේ පෙම් හසුන් තුළින් අඩ සිය වසක ප්‍රංශයේ සමාජ විවරණයක් දකින්නට හැකි නිසාය. එමෙන්ම ලේඛකයාගේ සාහිත්‍ය ජිවිතයේ ඉහළ පහළ යාම් මේ ලිපි තුළින් කියවන්නට ලැබෙන නිසාය . අනෙක් අතට මේ පෙම් හසුන් ලියන්නේ එසේ මෙසේ අයෙක් නොවේ. වික්ටර් හියුගෝ නැමැති අද්විතීය ලේඛකයාය. ඔහු අතින් ලියවුණු හසුන් සියලු මහා සාහිත්‍ය ගුණයන්ගෙන් පරිපුර්ණය. ආදරය , සෙනෙහස , පෙම්වන්තිය නොදැක සිටීමේ විරහව හැම ලිපියකම පිරි තිබේ. මේ විශිෂ්ඨ පොත අපේ බසට හරවන්නට හැකි උගතෙක් වේ නම් මහා පිනක් අත් පත් කර ගන්නවා නො අනුමානය .
1851 වසරේ නැපෝලියන් බොනපාත් ට විරුද්ධව ගෙන ගිය කැරැල්ලකට සහය දීමේ චෝදනාව මත වික්ටර් හියුගෝ සිර භාරයට ගැනීමට අණ ලැබුණි. බොහෝ විට අත් අඩංගුවේ දී වෙඩි තබා මරා දමන්නට ද ඉඩ තිබුණි. ඔහුව අත් අඩංගුවට ගන්නට පැමිණි හමුදා භට පිරිසේ ප්‍රධානියා මහා ලේඛකයා හමුවේ මෙසේ කීවේලු . "මම හිර භාරයට ගන්නේ ජනතාවගේ හතුරෝ විතරයි. ඔබ එවැනි අයෙක් නොවෙයි. හැකි ඉක්මනින් පලා යන්න...." මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම ආදර වන්තයාව රටින් පිට කිරීමට කටයුතු කලේ Juilette Drouet ය. ඇය තම ජීවිතය පවා පරදුවට තබමින් (වික්ටර් හියුගෝ හට රටින් පැන යාමට උදව් කළේය යන චෝදනාව මත ඇයව වෙඩි තබා මරා දමන්නට හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබන්නට ඉඩ තිබුණි. ) කම්කරුවෙකුගේ ගමන් බලපත්‍රයක් සොයා ගත් ඇය හියුගෝ ට ලබා දී , ඔහුගේ පෙනුම හදුනා ගත නොහැකි වන සේ වෙනස් කර ප්‍රංශය යත් බ්‍රිතාන්‍යයත් අතර ඇති කුඩා දුපතක් වූGuernessy වෙත පිටත් කර යැව්වාය.
තවත් අයුරකින් බලනා විටදී Les Misérables පොත බිහි වූයේ දෙවැනි ගැහැනිය , ජුලියෙත් නිසා යැයි කීම නිවැරදිය. ප්‍රංශයෙන් පිට වී Guernessy දුපතේ විශාල මැදුරක (එයත් අද කෞතුකාගාරයකි.) ජීවිතය ඇරඹුවාට පසුව වික්ටර් හියුගෝ කළේ වේදිකා නාට්‍ය හෝ වෙනත් ලිපි ලිවීමයි. නවකතා ලිවිම ඔහු අත්හැර තිබුණා වැනිය. වර්ෂ 1834 දී ලියූ Claude Gueux සිට වසර විස්සක් ගත වී තිබුණත් නවකතාවක් කෙරෙහි ඔහුගේ සිත නැඹුරු නොවිණ . ප්‍රංශයේ නෝමන්දි නගරයේදී පාන් ගෙඩියක් සොරා ගැනීමේ වරදට වසර 25කට සිරගෙට නියම වුණු මිනිසෙක් ගැන ආරංචිය වික්ටර් හියුගෝ හට දන්වන ලද්දේ ජුලියෙත් විසිනි. එම කුඩා සිද්ධිය මුල් කර ගෙන මහා නවකතාවක් ලියන්නට පටන් ගත් ඔහුට සියලු සැප සප්පායම් කළේ ද ඇය විසිනි. එපමණක් නොවේ. පොතේ ප්රකාශනය සම්බන්ධයෙන්ද ඉතා රසවත් කතාවක් කියන්නට තිබේ.
විසි වසරකට පෙර ලියූ Claude Gueux පොත ලැබූ පාඨක ප්‍රතිචාර හමුවේ මහා ලේඛකයාගේ ඊලග පොත එළි දකිනා තුරු සාහිත්‍ය ලෝලීන් අතර විශාල නොඉවසිල්ලක් විය. තවද ප්‍රංශයේ පමණක් නොව බෙල්ජියමේ එවකට ප්‍රකට ප්‍රකාශන ආයතන ඔහුගේ පොත තමන්ගේ ප්රකාශනයක් ලෙසින් එළි දක්වන්නට බලාපොරොත්තුවෙන් සිටියහ. මක් නිසාද වික්ටර් හියුගෝ ගේ නවකතාවක් යනු හොඳ මුදල් ඉල්ලමක් බව ඔවුහු දැන සිටි නිසාය. එහෙත් නවකතාවේ විකාශනය ගැන හෝ එය නිම වන දිනය ගැන හියුගෝ කිසිවක් කිවේ නැත. ලිපි මගින් නිතර දෙවේලේ මේ ගැන විමසන පාඨකයන්ට සහ ප්‍රකාශකයින්ට කිසිදු පැහැදිළි පිළිතුරක් දීමෙන් ඔහු වැලකි සිටියේය. අන්තිමේදී ප්‍රකාශකයෝ වටිනා යමක් තේරුම් ගත්හ . එනම් පොතේ වැඩකටයුතු ගැන තොරතුරු දැන ගන්නටත් , එහි ප්‍රකාශන අයිතිය ලබා ගන්නටත් ජුලියෙත් ගේ සහය අවශ්‍ය බවයි. මේ අනුව ඔවුහු ලේඛකයාට ලිපි ලිවිම නවතා ඔහුගේ දෙවන ගැහැනියට ලිපි ලියන්නට පටන් ගත්හ.
"පොතේ අයිතිය අපට ලබා දෙන්න උත්සාහ කරන්න. අපි ඉතා ඉහළ මුදලක් දෙන්නම්...." අයෙක් ලීවේය.
"අනෙක් හැම කෙනාටම වැඩිය වැඩි මුදලක් අපිට දෙන්න පුළුවන්....." තවත් අයෙක් ලීවේය. අන්තිමේදී 666 අවසානය කරා පැමිණ ඇති බව වටහා ගන්නා ජුලියෙත් මේ මහා නිර්මාණයට සාධාරණය ඉටු කළ හැකි , ප්‍රකට ධනවත් ප්‍රකාශකයින් දෙදෙනෙකුට ආරංචිය දැන්වූවාය .
"මහා නිර්මාණයක් නිමයි. එය ශත වර්ෂ ගණනාවකට ජනයාගේ මතකයෙන් බැහැර නොයන පොතක් . එයට වැඩි අගයක් ලබා දීම ඔබේ වගකීමක්. යුතුකමක්. එහි ප්‍රකාශන අයිතිය ලබා ගැනීම සඳහා ඔබ සටන් වැඩිය යුතුයි..." ඇය ලීවාය
මේ අනුව 1862 වසරේ ජනවාරි මාසයේ සිතල උදෑසනක ප්‍රංශයේ උතුරු කෙළවර කුඩා වරායක Guernessy දක්වා පිටත්වන නෞකාවට ගොඩ වන්නට බලා සිටි මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම අතේ පෙර සුදානම් කරනා ලද ප්‍රකාශන කොන්ත්‍රාත්තු දෙකකි. ප්‍රංශයේ Hetzel ආයතනයේ Pierre - Jules Hetzel අයෙකි. බෙල්ජියමේ Albert Lacroix අනෙක් තැනැත්තාය. ඔවුහු වික්ටර් හියුගෝ හමුවී මුදල් පිලිබඳ කථිකාව පටන් ගත්හ. අන්තිමේදී Albert Lacroix විසින් Les Misérables පොත වෙනුවෙන් ෆ්රැන්ක 2 40 000 ගෙවන්නට කැමති වීමත් සමග පොතේ අයිතිය ඔහුට ලැබුණි. එය වනාහි එතෙක් ප්‍රංශ ඉතිහාසයේ පොතක් වෙනුවෙන් ගෙවන්නට යෙදුනු විශාලතම මුදලයි. එය හදුන්වනු ලබන්නේ "සියවසේ කොන්ත්‍රාත්තුව" වශයෙනි. වර්තමානයේ යුරෝ මුදල් ඒකකයෙන් ලක්ෂ හයක් වශයෙන් ගැනිය හැකි මේ මුදල අද දවසේ පවා ප්‍රංශ ලේඛකකයන් නොලබන මුදලකි
පොත වෙළඳ පොළට පැමිණ මාසයක් යද්දී අලෙවි වුණු පිටපත් සංඛ්‍යාව ලක්ෂයක් විය. මේ ජයග්‍රහණය පසුපස සිටියේ දෙවැනි ගැහැනිය Juliette Drouet බව නොකිවමනාය.
හියුගෝ - ජුලියෙත් අසම්මත ප්‍රේම වෘතාන්තය කිසිවෙකුටත් රහසක් නොවිණ . හිතමිතුරන් , ප්‍රංශ සාහිත්‍ය ක්ෂේත්රය පමණක් නොව , බහුතර සාහිත්‍ය ලැදි මිලියන ගණනක් ජනතාව මේ අකටයුත්ත දැන සිටියහ. එහෙත් කිසිවෙක් කිසිවක් නොකීහ . කිසිවෙකුටත් මේ මහා ලේඛකයාගේ පෞද්ගලික ජීවිතය විනිශ්චය කිරීමේ උවමනාවක් නොවිණ . මුළු රටම ආර්ථික උද්ධමන ,සමාජ සංග්‍රාමයකට පත්ව තිබුණු මොහොතේ ඔහුගේ ජිවිත රහස් කිසිවෙකුටත් වැදගත් වූයේ නැත . ජනතාව ඔහුගෙන් ඉල්ලා සිටියේ සාහිත්‍ය නිර්මාණයක් පමණි.
Juliette Drouet යනු මහා ලේඛකයාගේ සෙවනැල්ල මෙන් සිටි ගැහැනියයි. ඇය ඔහුගේ ජීවිතය පනස් වසරක් පුරා නීතියට අවනත නොවී බෙදා ගත්තා පමණක් නොවේ. ඔහුගේ සියළු ජයග්‍රහණ , දුක්ඛ දෝමනස්ස දරා ගත්තාය. ඔහු කෙරෙහි ඇය තුළ පැවතියේ අසීමිත ආදරයකි. සෙනෙහසකි. මරණය දක්වාම මිය නොගිය ගෞරවයකි.
මේ අසම්මත කතාවෙන් උකහා ගත හැකි ආදර්ශයක් ඇත්දැයි මම නොදනිමි. එක අතකින් බලනා විට දෙවැනි ගැහැනියක් සොයා ගැනීම පහසු විය හැකිය. අපහසු කරුණු දෙකක් පෙනේ. පළමු වැන්න අසම්මත ප්‍රේමය බිරිඳ ගෙන් වසන් කර ගැනීමයි. දෙවැන්න හා වඩාත් අපහසු කාර්යය වන්නේ Les Misérables වැනි පොතක් ලිවීමයි.
MANJULA SENARATNE
07/08/2019