මිනිස්සු තමාට නිතැතින් හිමි නිදහස් කාලය හෝ නිදහස වෙනුවෙන් ම වෙන්කරගන්නා කාලය තුළ සිය රසඥතාවය සඳහා ම විසල් ඉඩක් වෙන් කර ගත්තෝය. කතන්දර කීමේ මාධ්‍යයන් වෙත ප්‍රවණතාවක් ලෙසින් මානවයා වයස් භේදයකින් තොරව සමීප වූ අතර නවකතා, කෙටිකතා ආදී සාහිත්‍යමය මාධ්‍යයන් හැරුණු කළ මිනිසා ප්රමාණිකව සුලබ කැමැත්තක් දැක්වූයේ රූපාණාශ්රිත කතා කලාවට ය. එයින් ද මුල්කාලීන සමාජය නාට්‍ය කලාව අතිශය හෘදයාංගම ලෙසින් වැළඳගත් අතර පසුව එකී රුචිකත්වය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ආදිය දක්වා ම විකාශය විය. කෙසේ වෙතත් වේදිකාව තුළ කතා කීමේ කලාවට අනුගත වීමට දක්ෂයන් අතරින් ද අතිදක්ෂයාට පමණක් හැකි වීය. මන්දා වේදිකාව හා සෘජුව ම ගණුදෙණු කරන්නා වූ ප්‍රේක්ෂකාගාරයෙහි තෘප්තියේ වගකීම් සහතිකය සැම විට ඔවුන් අතැති විය යුතු බැවිනි. වේදිකාව තම රජ දහන කොට ගෙන තවත් අනුප්රාප්තිකයන් රැසක් අනාගත පාලන කාර්ය්ය වෙනුවෙන් බිහිකළ රූපණ කලාවේ පර්යේෂණාත්මක නාට්‍යවේදියකු පිළිබඳ මෙලෙසින් කරුණු පිරික්සීම සුදුසු ය.
ග්රීකාධිරාජ්ය වැනි ව්‍යුහයක් තුළින් පැනනගින නාට්‍ය කලාව සකු නාට්‍යයෙහි සෘජු ආභාෂයෙන් ආසියානු ධරණිය මත මුල්බැසගත් අතර ශාන්තිකර්ම, කෝලම්, සොකරි සහ නාඩගම් ආදියෙන් ව්‍යාප්ත ලාංකේය රැඟුම් සැබිය ද තුළ එකී සකෝභාෂිත නාට්‍ය ප්‍රචලිත වූයේ කෙටිකාලීනව ය. එහිද වීදී නාට්‍ය කලාවට හිමි ස්ථානය අද්විතීය වන අතර එහි පූරෝගාමී නිර්මාණවේදියාණන් ලෙසින් අප සැමගේ සබහුමානයට ලක්වන්නෝ නම් ගාමිණී හත්තොටුවේගම සූරීහු ය. ඔහුගේ නිර්මාණ චාරිකාවෙන් කලා මාධ්‍යයන්ට පියමැනි එක් ප්‍රබල සුලවතෙකු ලෙසින් වත්මන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය හඳුනාගත හැකිය. වැල්ලම්පිටියේ විද්‍යාවර්ධන විදු පියසෙහි අකුරු කළ ඔහු පාසැල් වේදිකාව තුළම ස්වකීය නිමවුම් සැරිය ඇරඹූ නිර්මාණකරුවෙකි. ඔහු විසින් ම නිමවා ඔහුම රංගනය කළ "මිදි වත්ත" නැමැති නාට්‍ය නිර්මාණය ඊට කදිම නිදර්ශන සපයන අතර ම හෙතෙම අසූව දශකාරම්භය වන විට ගාමිණි හත්තොටුවේගම විදී නාට්‍ය කණ්ඩායම හා අත්වැල් බැඳගන්නේය. ඉන් ලද සුවිසල් පන්නරය හා අභ්‍යාසය, නාට්‍යවේදිනී සෝමලතා සුභසිංහ හරහා ඔපනංවාගෙන තීව්රතර කරගත් ප්‍රසන්නජිත් ප්‍රසිද්ධ වේදිකාවට පියමනිනුයේ බී. සිරිතුංග පෙරේරාගේ "ගමනේ යා" වේදිකා නිර්මාණය හරහා ය. ආරම්භයේදී ම ප්රශස්ත පියවරක් තබමින් ක්ෂේත්රය පිළිබඳ ප්‍රමාණික දැනුම් සම්භාරයක් ස්වකීය සන්තකයේ වත්කම් කොටගෙන පෙනීසිටි ඔහු ඉන්මතු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සෝමලතා සුභසිංහ වැනි අද්විතීය නාට්යවේද වේදිනියන් සමගින් කටයුතු කළේය. "රාමා සීතා කතාවක්", "මනමේ", "ඇන්ටිගනී", "සිංහබාහු", "මෝදර මෝල", "මහාසාර", "ලෝමහංස", "යදම්", "විකෘති" වැනි මනෝඥ නාට්‍යයන්ගේ සිට "කැළණි පාලම" වැනි නාට්‍ය නිර්මාණයන් දක්වා ම නාට්‍ය රැසක් සිය පුරුදු පුහුණු වීම් සඳහා රුකුල් කොට සැලකීය. රූපණවේදියෙකුට ස්වකීය අවස්ථානුකූල මානව හැසිරීම් හා මනෝභාවයන් කෘතහස්තව හා පරිණත අන්දමින් කළමණාකරණය කරගත හැකි නම් ඔහු වේදිකාවේ පන්නර ලැබූ අයෙකි. අදටත් "චව්දරී", "ගුත්තිල කාව්‍ය" වැනි වේදිකා නිර්මාණ හරහා ඔබ අප ආමන්ත්‍රණය කරන ප්රසන්නජිතැදුරිඳු ටෙලිනාට්‍ය කලාව මත ස්වකීය රූපණාවක්ෂේප කිරීම මෙසේ විවරණය කිරීම වටී.
නව සහශ්රකයේ උපන් මම ඔහුගේ බොහෝ ටෙලිනාට්‍ය රංගනයන් දැක නැතත් "සිරස" නාලිකාවේ විකාශය වූ "වසූදා" ටෙලි නිර්මාණය නැරඹූවා මතකය. එහි ඔහුට කළු චරිතයක් මත සිය රැඟුම් විදාහල අතර ප්‍රතිවීරයෙකු සමීප නොමැති කූට අදහස් දරන දුර්ජන නිරූපිතයක් තුළ ඔහු තම චරිතය රැන්ඳවීය. ඉන්පසු මෑතකදී ඔහුගේ එකිනෙකට වෙනස් චරිතත්රයක් දුටු අතර ඒ හරහා ඔහුගේ රංගානුගත වීම මෙසේ ප්‍රමාණ කිරීමට පහසු ය. ඉන් එක් ටෙලිනාට්‍යයක් වූයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කළ "පෝටාවැටිය" යි. මීට වසර ගණනකට ඉහතදී නිර්මාණය වූ එය පසුගිය වසරේ විකාශය ඇරඹීම සමගින් එහි තාක්ෂණිකම ව්‍යුහය අපට එතරම් ආකර්ෂණීය නොවුණත් කතා සාරය මෙන්ම රංගනය අප අවධානය කලකට සොරාගන්නට තරම් ප්‍රබල වූ බව කිව යුතුමය. කතකරු විසින් ප්‍රබන්ධිත තිර රචනය සහ අධ්යක්ෂවරයා විසින් සපයන රාමුව මත නිදහස්කාමී සහ නිරුත්සාහක ලෙස සිය රංගාත්මය හසුරුවමින්, ඉසියුම් භාව පෝෂක පරාසයක් මෙහෙය කැඳවා ගනිමින් සිදුකරන ලද අතිශය මනෝඥ සහ යථාරූපී රංගන නිරූපණයක් උදෙසා "පෝටාවැටිය" තුළ රංගනය කළ ප්‍රසන්නජිත් රංගකාරික තැන අගය කළ මනාය. එමෙන්ම ඔහු රංගනය කළ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ "සකුගේ කතාව" හි වළං රංජිගේ චරිතය ඔහුගේ භාවාතිශය රංග රටාවේ හැරවුම් ලක්ෂයකි. දෙමාපිය ස්නේහය අහිමි දරුවෙකු හට තම හෘද චිත්ත සන්තානයෙන්ම කැකෑරී ජාත වන ස්නේහයේ පහසින් සහනයක් ලබා දෙන්නට සමත් උත්තුංග ඥාතීවර භූමිකාව ස්ථානගතව විටෙක තම නැගණිය ලෙස සානුකම්පිත ස්නේහයකින් බලා ධර්මසිරි රාජපක්ෂයන් සහෝදර ප්‍රේමය නිර්වචනය කරනා මෙන් ගෙයින් පිට රැළි ගසන සඳ වතුරේ චමත්කාරය විඳින එම චරිතය, තවත් විටෙක තම බිරිඳා ආධිපත්‍යයට නතු නොවුණද ඇගෙන් තම ප්‍රාණ සම නැගණියට හෝ දියණියට යම් උවදුරක් වේ යැයි තැති ගත් වල්ලභයෙකුගේ චරිතය මත කැපීපෙනෙන්නේය. වෛවාහික පුද්ගල පරිමණ්ඩලයේ දිවිසැරිය තුළ ස්වීය අනුහස් කතෘකාරකත්වය ප්රක්ෂේපණය කරන අතර ම එකී සංස්කෘතික තන්ත්රයන් විසින් අවරෝධිත සහජාශ ප්‍රේරණයන් විසින් මෙහෙයවන ආත්මාවේශයන්ට ඖචිත්‍ය රංග වියරණයක් අභ්‍යාස කරමින් ද, එකී සඟල මානයන් අතර වන ප්රතිවිරෝධාත්මක සහනුමැතිය විශද කෙරෙන රංගන මනසිකාරයට නිසියාකාර අනන්‍ය බමින් ද ප්‍රසන්නජිත් විසින් "රංජිගේ" චරිතය පාලිතව හැඩසවූ අයුරු නිතර ටෙලිනාට්‍යය හරහා දක්නට නොලැබෙන ගණයේ රංගනයකි. එම චරිතයට සාපේක්ෂව රංග තාක්ෂණික හරය වෙත කිඳාබැසි චරිතයක් ඔහු රංගනය කළෙ "ඉලන්දාරි හැන්දෑව" ටෙලි කාව්‍ය තුළ ය. ස්වාත්මීය සංයමය නිර්මාණයේ ඕජෝ ගුණය හා සමතුලිතව පවත්වා ගෙන යාමෙන් එහි ප්‍රසන්නජිත් විසින් ප්‍රදර්ශිත විශිෂ්ට රංග නෛපුණ්‍ය උදෙසා වගකිව යුත්තේ එම චරිතයට මනා ආලෝකයක් ලබා දුන් ටෙලි නිර්මාණයෙහි තිරයට වහන් වී සැඟවුණු තාක්ෂණික ක්‍රමවේදයන් ය. නව නිර්මාණශීලි කැමරා කෝණයකින් චරිතයේ ගැඹුර පෞරුෂේය ස්වරූපයක් ලෙසින් රූපවාහිනි තිරය මතට සමීප කරන කැමරා අධ්යක්ෂ විසින් චරිතයේ හාබ භාව ගුණෝපේතයන් නිසි අයුරින්ම හුවා දැක්වෙන පරිදී රංගකාරිකයා වෙත පිරිනමන නියමිත ආලෝක සජීවිකරණ සහය ද උපරිමය ග්‍රහණය කරගන්නට ප්‍රසන්නජිත් අබේසූරිය වැනි පරිණත රංගවේදියෙකුට හැකි විය. ඉන් ගොඩනැගුණේ ඔහුගේ අභිමානවත් මෙන්ම යථාර්ථපෝෂි රංග කාර්ය්ය වගකීම නොවෙද ?
ප්‍රසන්නජිත් අබේසූරිය රංගනවේදියෙක්ගේ සීමාවට පමණක් කොටු වූවේද ?
ඉහත පැනය සිත්හි හෝ මුව මත නැගෙන නොනැගෙන සමස්තයට පිළිතුරු මෙසේ ය. ඔහු ප්‍රකට නළුවෙකු වුවත් ඊට එහා ගිය ප්රතිරූප ධාරාවකට හෙතෙම නිරායාසයෙන් උරුමකම් කියන්නේය. විදී නාට්‍ය කලාවෙන් ලද පන්නරය මත ඔහු පසුකාලීනව "ශ්‍රී ලංකාවේ විදී නාට්‍ය කලාව" යන පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියා පළ කරනුයේ මෙරට සුවහසක් ශිෂ්යවරයින්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ම ය. එමෙන්ම ඔහු විසින් ම රචනා කොට අධ්‍යක්ෂණය සහ රංගන ද්විත්ව දායකත්ව සැපයූ "දුක්ගන්නාරාළ" සහ "දෝර්දණ්ඩා" වැනි වේදිකා නාට්‍ය නිර්මාණ ඔස්සේ ඔහු මෙරට වේදිකාව මත ද අමරණීය භූමිකා අතරට ජීවමානව එක්වූවේය. එමෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "කැළෑමල්" චිත්‍රපටයෙන් සිනමාවතීර්ණ වන ඔහු සිනමා නළුවෙකු ලෙසින් "රෝස පැටික්කි", "සිරි රජ සිරි" සහ "ගින්නෙන් උපන් සීතල" වැනි චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය සැපයුවේය. එපණකුදු නොවේ ඔහු 1988 වසරේ රාජ්‍ය යෞවන සම්මාන නාට්‍ය උළෙලේ සරත් චන්ද්‍ර වල්පොල්ස් විසින් රචිත "සම්ප්රාප්ති" කෙටිනාට්‍ය වෙනුවෙන් වසරේ හොඳම කෙටි නාට්‍ය සඳහා ඇඳුම් නිර්මාණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. තවද අද්‍යතනයේ පවා බොහෝ අවස්ථාවන්හි කැපීපෙනෙන චතුර කථිකයෙකු ලෙසින් ද එතුමන් අර්ථකතනය කිරීමට අපට හැකිය.
ඔහු අතිනත ගත් සම්මානිත රංගනවේදිනී නයනා හෙට්ටිආරච්චි ද ඔහුගේ රංගන ජීවිතය නොමද ආලෝකය සපයන චන්ද්‍ර පූර්ණිකාවය. එමෙන්ම "ප්‍රසන්නජිත් - නයනා" කැදැල්ලේ අනුප්රාප්තිකයන් වන හරිඳු රංගජිත් සහ උවිඳු හර්ෂජිත් අබේසූරිය දෙබෑයන්ගේ දස්කම් ද වටිනේය. විශේෂයෙන්ම සිය පිය මාවතේම අකුරකුදු වෙනසක් නොමැතිව එලෙසින් ජය කෙහෙළි නංවමින් පියමනින හරිඳු, සිය පියා විසින් "මිදි වත්ත" වැනි නිර්මාණ කාර්ය්යක යෙදුණා සේ ම නාට්‍ය රචනයටද සුදිලෙන රංගනයට දස්කම් දක්වා ඉන් නොනැවතී ඇගයුම් බහුමාන පවා ලබන්නේය. වේදිකාව සහ පුංචි තිරය ජයගනිමින් සිටින හරිඳු මෙන්ම කුඩා කාලයේම සිනමාවතීර්ණ වූ උවිඳු ද නොබෝ දිනෙක අබේසුරිය නාමය කලා ලොව මුදුන්පත් කරනු ඇත.
ප්‍රසන්නජිත් අබේසූරිය නැමැති රංගකාර්ය්යට සහ නාට්‍ය නිර්මාණයට ප්රමුඛ ජනාදරය දිනූ නිර්මාණශීලී වියතාණන් අද දින සිය ජන්මස්ථානයෙහි තුටු සැමරුම් නිමේෂය භුක්ති විඳින අතර නිදුක් නිරෝගී චිරජීවනය සැලසේ තව දිගු කලක් ප්‍රසන්න නිර්මාණ හරහා ම අප හමුවන්නට හැකියාව ලැබේවායි ඉතසිතින් සුභාශිංසනය එක්කරමි !
සටහන : ආකාශ් තාරුක පෙරේරා