පසුගිය සතියේ අතිශයින් කාර්ය බහුල උදෑසනක මගේ ජංගම දුරකතනයට අම්පාර ප්‍රදේශයේ විශේසඥ වෛද්‍ය වරයෙකුගෙන් ඇමතුමක් ලැබුණි. අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශයක රෝගීන් වෙනුවෙන් ඉතා කැප වීමෙන් සේවය කරන මේ වෛද්‍ය වරයාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දීමට නොහැකි තරමට මා කාර්ය බහුලව තීරණාත්මක රැස්වීමක සිටි බැවින් මගේ ජංගම දුරකථනය මගේ සහායක සේවිකාවට ලබා දුන්නේ අදාළ පණිවිඩය ලබා ගැනීම පිණිසය
එහෙත් මගේ සේවිකාව මට කිව්වේ අදාළ පණිවිඩය මා වෙතම ලබා දිය යුතු බැවින් එම වෛද්‍ය වරයා පසුව මා අමතනු ඇති බවය. අදාළ විශේසඥ වෛද්‍ය වරයා මද වේලාවකට පසුව යලි මා ඇමතුවේය.
“ අසාධ්‍ය පිළිකා රෝගියෙකුට මෝෆීන් වයල් කීපයක් අවශ්‍ය වෙලා තියෙනවා. දැනට මේ බෙහෙත රාජ්‍ය ඔසු සලේ නැහැ. මේ ලෙඩාගෙ දියණිය ඔබේ කාර්යාලයට එවන්නම්. අදාළ බෙහෙත් වයල් කීපයක් නිකුත් කලොත් ලොකු උදව්වක්.”
පණිවිඩය ලැබී විනාඩි කිහිපයකින් අදාළ විශේසඥ වෛද්‍ය වරයා කියූ කාන්තාව මගේ කාර්යාලයට පැමිණියාය. ඇයට වාඩි වීමට අසුනක් ලබා දුන් මා මෝෆීන් ඖෂධය පිළිබඳව කටයුතු කරන ඖෂධවේදී මහතාට මගේ කාර්යාලයට පැමිනෙණ ලෙස දැන්වුයෙමි. ඒ වන විට ආපනශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටි ඔහු බාගෙට කෑම කා මගේ කාර්යාලය වෙත සැනෙකින් පැමිණියේ ය.
අන්තරායකර ඖෂධ ඝනයට වැටෙන මෙම ඖෂධය රාජ්‍ය ඔසු සැල වෙත නිකුත් කර එතැනින් ඖෂධය නිකුත් කිරීම හෝ මෙම කාන්තාව රස්තියාදු නොකර ඖෂධ වයල් කිහිපයක් අප ආයතනයෙන් නිකුත් කිරීම යන ක්‍රම දෙකෙන් එකක් ක්‍රියාත්මක කිරීම පිලිබඳ කෙටි සාකච්චාවක් මා සහ අදාළ ඖෂධවේදී මහතා අතර සිදු විය. මේ කතාව දෙස කන් යොමා සිටි මේ කාන්තාව එක්වරම ආවේශ වූවාක් මෙන් මට බැනගෙන බැනගෙන යන්නට විය.
“මට කොහොම හරි මෙතැනින්ම මේ බෙහෙත ඕනෑ” ඇය කෑ ගසන්නට වුවාය.
“ඔබ තුමිය කෑ ගහන්න එපා. කරුණා කරලා එළියෙන් වාඩි වෙලා ඉන්න. මම බෙහෙත දෙන්න බලන්නම්” මම කීවෙමි.
“බලන්න? මොනවා බලන්නද? තෝ කවුද මට එලියට යන්න කියන්න. තෝත් දොස්තරයෙක්ද? -ඇය කෝපාවිෂ්ඨව මට බැන වැදුනාය.
“වෛද්‍ය. එසේ කියමින් මම ඇයට දෑත් එක්කර ආචාර කලෙමි.
“අනේ උඹත් පිරිමියෙක්ද මට වදින්න?” ඇය ආයෙත් යක්ෂණියක් මෙන් මගේ ඇඟට කඩා පැන්නාය.
අවසානයේ ආරක්ෂක නිලධාරීන් ගේ සහයෙන් ඇයව පාලනය කර ගැනීමට මට සිදු විය. (පිරිමිකම යනු කාන්තාවන්ට චන්ඩි පාට් දැමීම නොවන බව ඇමරිකාවේ සිට ආවා යැයි කියා ගත් මෙම කාන්තාවට වඩා මට වැටහීමක් තිබේ).
සී. සී. ටී. වී. ආරක්ෂක පද්ධතියක් ඇති මගේ ආයතනයේ පටිගත වූ ඇගේ මෙම වියරු හැසිරීම යොදාගෙන මගේ කාර්ය මණ්ඩලය කුලප්පු කරවා මෙම කාන්තාවට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීම හෝ ආයතනයේ වැඩ වැරීමක් දක්වා මෙම සිද්ධිය ඇදගෙන යාමට ඕනෑ තරම් අමු ද්‍රව්‍ය තිබුණි. එහෙත් මගේ ප්‍රතිචාරය එය නොවීය. මට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බය නිසා බලවත් සිත් තැවුලට පත්ව සිටි මගේ කාර්යමණ්ඩලය අස්වසාලු මම ඔවුන්ට මෙසේ කීවෙමි.
“දැන් මේ ගැහැණු කෙනා ඇවිත් තියෙන්නේ එයාගේ අසාධ්‍ය තාත්තට අවශ්‍ය බෙහෙතක් හොයාගෙන. මෙයාගේ මානසිකත්වය හරියට පටාචාරා වගෙයි මට හිතෙන්නේ. මේ කාන්තාව කොයිතරම් උගත් වුනත් ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. මේ වගේ වෙලාවට තැන නොතැන නොදැනී මිනිස්සුන්ට තරහා යනවා. එහෙම හිතලා අපි මේක අමතක කරමු. මේ බෙහෙත කොහොම හරි අපි මෙයාට දෙමු. හැබැයි අද දවස ඇතුලත මෙයාව මට මුණ ගස්සන්නේ නැතිව පිටත් කරලා යවන්න. ආයේ මෙයා මාව දැක්ක ගමන් යකා නටල නඩුවක් දා ගනී. ඔන්න මම අවසර දුන්නා. හවස 2 ට තියෙන රැස්වීමකට මම යනවා. බෙහෙත දීලා මෙයාව පිටත් කරලා යවන්න. මට බැනපු එක ගැන කවුරුවත් කරදර වෙන්න එපා. මට හොඳට බැනුම් අහලා පුරුදුයි. වදින්න ගිය දේවාලේ ඔලුවේ කඩා වැටෙන්නේ අපිට විතරක් නෙමෙයිනේ. තව කවුරු හරි ආයෙත් මේ වගේ උදව්වක් ඉල්ලුවොත් ඒ හැමෝටම උදව් කරන්න. අධෛර්ය වෙන්න එපා. දුක් වෙන්න එපා.”
දෙදෙනෙක් අතර සිදු වූ දෙබසක් නිසා අදාළ පාර්ශවයන්ගේ ගෞරවයට හානි වූ වා යැයි කියා තම තමාගේ ගෞරවයට වූ හානි පූර්ණ කිරීම සඳහා තමන්ගේ වෘතිය බලය හෙට්ටු කිරීමෙන් විශාල පිරිසක් පීඩාවට පත් කිරීමේ විනෝදාංශය අපාගත වීම සඳහා වූ කාපට් පාරක් බව මගේ මතයයි.
උගත්කම, බුද්ධිමත් බව යනු නින්දා අපහාස ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී තම සේවාවන් තවත් කැපවීමෙන් ඉටු කිරීම මිස පොඩි එවුන් මෙන් නාහෙන් ඇඩීම නොවේ. ගෞරවය බලාගෙන වැඩ කල යුතු නැත. ගෞරවය යනු කැපවීමෙන් උපයාගත යුතු දෙයක් මිස අනිවාර්යයෙන්ම තමන්ට ලැබියයුතු දෙයක්ම නොවේ.
“ලාභෝ අලාභෝ අයසෝ යසෝච - නින්දා ප්රසන්සාසු සුඛංච දුක්ඛං” කියලා තමයි බුදු බණේ තියෙන්නේ.
සටහන -වෛද්‍ය ඒ.ටී. සුදර්ශණ-සහකාර අධ්යක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශය