ලෝකයේ සෑම තැනකම මනරම් කුසුම් පිපේවි. තැනැක් නිනව්වක් නැතිව පිපි මේ කුසුම් අකාලයේ මිලින කරන කෘර සිරිත් විරිත් අන්තර්ගත සංස්කෘති එමටයි. අපි නිරන්තරයෙන් හොයලා බැලූවේ නැති වුණාට ලිංගික ම්ලේච්ඡත්වය මේ ලෝකයේ අදටත් සිද්ධ වෙනවා.
මිනිස් ඇස් පනාපිටම. ඒකට හොඳම හෙලිදරව්වක් තමයි ‘කාන්තාරයේ කුසුම’. සමහර විට ඔබ මේ පොත කියවලාත් ඇති. ඇස්තමේන්තුගත තොරතුරුවලට අනුව රටවල් තිහක පමණ මෙය සිදුවේ. සෝමාලියා , උගන්ඩාව, කෙන්යාව, එරිත්‍රියාව වැනි අප්‍රිකානු රටවල්, ආරාබි රටවල්වල අදටත් කාන්තා ජනනේන්ද්‍රීය කොටස් සුන්නත්කරණය කිරීමේ ම්ලේච්ඡ චාරිත්‍රය පවතිනවා.
වාරිස් ඩයරි කියන්නේ මේ කෘර වධ හිංසාවට වයස අවුරුදු පහේදී මුහුණ දුන් කෙනෙක්. අවුරුදු දහතුනේදී ඔටුවන් පස් දෙනෙක් වෙනුවෙන් ඇගේ පියා සූදානම් කරන්නේ වයසින් වයෝවෘධ පුද්ගලයකු හා වාරිස්ව විවාහ කරදීමට විවාහ මංගල්‍යයක්. මවගේ අනුදැනුම ඇතිව මේ මර උගුලෙන් බේරීමට කාන්තාරයේදී විඳීමට සිදුවන දුෂ්කරතා ගැන ද නොසිතමින් ඇය රාත්‍රියේ නිවසින් පලා යනවා. ඇගේ නිවස පිහිටියේ කාන්තාරයේ බැවින් ඇයට විඳින්නට වූ දුක් අනන්තයි. අවසානයේදී වාරිස් නතර වන්නේ ටෙරන්ස් ඩොනොවන් නම් ඡායාරූප ශිල්පියාගේ ඇස් අභියසයි. මෝස්තර නිරූපන ශිල්පිනියක වන වාරිස්, මේ වන විට කාන්තා ක්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කරනවා. මැය සිය ජීවිත කතාව ලෝකයට හෙලි කරන්නේ 1997 වසරේදීයි.
කාන්තා ජනනේන්ද්‍රිය කොටස් සුන්නත්කිරීමේ කාර්ය අනාගතයේ විවාහයට සූදානම් කිරීමක් ලෙසින් එකී රටවල සිදු කළද මෙහි ඇති අනාරක්ෂිත බව සහ සෞඛ්‍යාරක්ෂාවකින් තොර වීම හේතුවෙන් මිලියන ගණනක් දැරියන් අවධානමේ සිටින බවයි පැවසෙන්නේ. ඒ සඳහා යොදාගන්නා උපකරණවල ස්වරූපය පවා පොතේ සඳහන් වනවා. ගල් යුගයේ චාරිත්‍රියක් වශයෙන් සැලකිය හැකි මේ කර්තව්‍යය ලෝකයට හෙලි කරමින් එම තත්වයේ ඇති සංකීර්ණතාවය පහදමින් මීට එරෙහිව මේ වන විටත් වාරිස් ඩයරි කටයුතු කරනවා.
‘කාන්තාරයේ කුසුම-Desert Flower’ ඇගේ ව්‍යාපෘතියේ නමයි. උපතින් මුස්ලිම් කාන්තාවක් වූ මැය මෙම චාරිත්‍රය හේතුවෙන් ජීවිත කාලයම වේදනාවන් විඳින සමස්ත දැරියන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරනවා. වාරිස් ඩයරි පසුකාලීනව මෙකී තත්වයෙන් මිඳුණු ආකාරය සහ ඇගේ සත්කාරක ව්‍යාපාරවල ආරම්භය පිළිබද කතාව ‘කාන්තාරයේ කුසුම’ සහ ‘කාන්තාරයේ දරුවෝ’ කෘතියේ අපූරුවට විස්තර කරලා තියනවා. කාන්තාරයේ කුසුම ඇය ස්වයං චරිතාප්‍රදානයක් ලෙසින් රචනා කරන්නේ 1998දී.
ලෝක ප්‍රකට නිරූපිකාවක්, චිත්‍රපට නිළියක් වගේම ප්රචාරක තරුවක් ලෙසින් නිරූපන ක්ෂේත්රයට ආ වාරිස් ඩයරි ප්‍රබල කාන්තාවාදිනියක් ලෙසින් කටයුතු කරන්නේ සිය ගෝත්‍රයේ දැරියන් වෙනුවෙන් පමණක් නොවෙයි. ඇගේ උත්සහය මෙකී ම්ලේච්ඡ චාරිත්‍රය පිටුදැකීම සඳහායි. වැලි කතරට තවත් එක් වැලි කැටයක් නොවී මැණිකක් වූ වාරිස්ගේ මේ ක්‍රියාව මනුෂ්‍ය සංහතියම වෙනුවෙනි. 2013 වසරේදී ලෝකයේ ක්‍රියාකාරී කාන්තාවන්ට පිදෙන Women of the Year Campaigning Award සම්මානයෙන් ඇය පිදුම් ලබනවා.
වාරිස් ඩයරිගේ මේ නිර්ව්‍යාජ හෙලිදරව්වත් සමග මුලූ ලෝකයක් කම්පා වූ අතර ප්‍රාථමික සංස්කෘතික ලක්ෂණ රැකීමට වෙර දරන මෙවන් සමාජ තත්වයන් අදට ඔබිනවාද යන්න ඇය ප්‍රශ්න කළා. එකී සමාජයන්ට කාන්තාවන් සිය විවාහයට සූදානම් වීම අරභයා සිදු කර ගත යුතු පුණ්‍ය කර්මයක් බදු වූ මෙකී චාරිත්‍රය කලාව, සාහිත්‍ය, තාක්ෂණය අතින් සීග්‍ර දියුණුවක් ලැබූ වර්තමානයට ගැලපෙනවාද යන්න සිතා බැලීම වටිනවා. එමෙන්ම එකී සමාජ ස්ථරයන් දැනුවත් කිරීමේ කාර්යය නූතන මාධ්‍යයේ සමාජ කාර්යම නේද? සෝමාලියාව කිවූ සැනින් සිහි වන සාගතයෙන් පීඩිත රටක දේශපාලනික අවුල් වියවුල් පමණක් නොවෙයි අසාමාන්‍ය සහ කෘර ගෝත්‍රික ලක්ෂණයන් ද ඇති බව සිතීමට ඇය කාලය දී හමාරයි. විවෘත නොවී කටයුතු කරන තාක් මෙවන් ගැටලූකාරී තත්වයන් නොවිසඳී ඒ ආකාරයෙන්ම පවතිනු ඇත.
නලිනිකා ලක්ෂාණි
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.