සිනමාහලට නැවතත් රසිකයා කැන්ඳාලමින් සිනමාව ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රාමාණික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම අද්‍යතන සිනමාකරුවන්ගේ කර මත පැටවුණු ප්රමුඛ වගකීමකි. පසුගිය බක් මස අවසන සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමගින් තව තවත් රසිකයන් සිනමාහලෙන් ඈත්වීමක් දක්නට ලැබුණි. ඒ සමගින් තත්ත්වය තවත් උඝ්ර විය. කෙසේ නමුත් එම විසල් බාධකය ජයගනිමින් නැවතත් චිත්‍රපට රසිකයන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පුරවන්නට සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "විජයබා කොල්ලය" චිත්‍රපටයට හැකි වූ බව කිව යුතුමය. නිර්මාණ අගයෙන් එය පිළිබඳ සතුටු විය නොහැකි තැන් ඇතත් එහිලා සිනමාවට ලබා දුන් උත්තේජනය සුළුපටු නැත. "විජයබා කොල්ලය" සාර්ථක දින හැත්තෑ පහක ප්‍රදර්ශන කාලය නිමා වීමෙන් පසු තිරයට පිවිසෙන නවතම සිනමා ප්‍රහර්ෂය වනුයේ මහේෂ් මුණසිංහ කුළුඳුල් සිනමා ප්රයත්නය "රෂ්" චිත්‍රපටයයි. එහි ගුණාගුණ මෙසේ විමර්ශනාත්මකව ගෙනහැර පෑම සුදුසු ය.
"RUSH" මෙරට සිනමාලෝලී තාරුණ්‍යයට "CRUSH" වන බවට විශ්වාසයක් පළමුව තබා ගත හැකිය. මන්ද එහි ඇරඹුමේ සිටම එය තවත් එක් චිත්‍රපටයකට වඩා සජීවී සිදුවීම් මාලාවක පෙළගැස්මක් ලෙසින් රසික නෙත් සිත් සෙනෙහසින් වැළඳගන්නට සමත් වූ නිසාවෙනි. ජීවිතය නැමැති සැනකෙළිය හිරිමල් තාරුණ්‍යයට චමත්කාරයක් වන්නේ කෙසේදැයි "රෂ්" තිරය මත සඵත කොට දැක්වීය. චිත්‍රපටයේ කතාවද කාලානුරූපීව අද්‍යතන තාරුණ්‍යයට රුචියක් ඇති කරවනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි අතර එය නරඹා තීරණය කිරීම සහෘදයිනට බාරය. "RUSH" යන ඉංග්‍රීසි වචනයේ මුඛ්යාර්ථයෙන්ම ආවේගකාරීත්ව නිසා එකෙකු පරයා තවකෙකු නැගෙන තරඟකාරීත්වය ; නොදෙවෙනිත්වය ගම්‍ය කරන අතර මෙම චිත්‍රපටය ආරම්භ වී පළමු විනාඩි දහය ගතවන්නටත් පෙර චිත්‍රපට නාමය ඊට කදිමට ගැළපෙන බව නරඹන්නන්ට සිතෙයි. චිත්‍රපටයේ රංගකාර්ය සපිරිවර ස්වකීය කාර්යෙහිල කෙසේ ගැලපුණේද යන්න මුලින්ම පිරික්සීම සුදුසු බැවින් ඔවුන්ගේ කාර්යසාඵල්යය මෙසේ ප්‍රමාණ කිරීම වටී.
මෙහි රෂ්, ශාන් සහ පූජා නමින් ප්‍රධාන චරිතත්රයක් තිබූ අතර එම චරිතයන් පිළිවෙළින් රංගනය කළේ උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර සහ අසංකි ද සිල්වා ය. එහිලා මා මුලින්ම හුවාදක්වන්නේ රෂ් හෙවත් ප්‍රධාන චරිතය කළ උද්දිකගේ රංගනයයි. උද්දිකගේ සිනමාවතීර්ණයේ සිට ඔහු බහුලව අධ්යක්ෂවරුන් විසින් සීමා කළේ ඓතිහාසික තේමා රැගත් චිත්‍රපට කතා සඳහා ය. එනමුත් රෂ් හරහා අපි දකින උද්දික මෙතෙක් දුටු ස්වරූපයට හාත්පස විෂමාකාරය. ජන්ම ලාභයෙන්ම මාතෘ ස්නේහය අහිමි දරුවෙකුගේ තාරුණ්‍යයේ ප්‍රේම පිපාසිතභාවය තුළ විටෙක මිත්‍රත්වය අභිඹවන සහෝදරත්වයකින් ද, නොඑසේනම් තම සිත්හි හටගත් කුළුඳුල් ආදරය තුළින් ද තම මූලික අවශ්‍යතාවයක් වූ ආදරය සම්පුර්ණ කරගන්නා, අපාලිත මානසිකත්වයෙන් පීඩිත, සෙනෙහස සහ ආදරය පමණක්ම සිය වේදනාශක ඔසු ලෙස සැලකූ එකී ඖෂධය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් දෙවරක් නොසිතා සිදුකරන හෝ එය ලබාගැනීමට නොහැකිනම් දෙවරක් නොසිතා ක්ෂණ නියාමයෙන් හටගන්නා ආවේගකාරී සිතුවිලි මත වහල්ව ඕනෑම දෙයක් නොපැකිළිව සිදුකර ඉන් මොහොතකින් ඒ ගැන දැඩි සේ පශ්චාත්තාපයට පත්වන, මතුපිටින් ජීවිතයේ සුඛ විහරණය උපරිමය භුක්තු වින්ඳද ආධ්‍යාත්මිකව අන්ත අසරණ දුගියෙක් වන රෂ් නැමැති තරුණයාගේ සරල ලෙස පෙනෙන නමුදු සංකීර්ණ මනෝභාවයන්ගේ ගැඹුරටම කිඳා බැස එහි සැරිසරමින් ප්‍රේක්ෂක නෙත් මානයේ සිනමාකර්ෂණීය චරිතයක් ගොඩනැංවීමෙහිලා උද්දික සමත් වූවේය. අධික කෝපයෙන් පොපියන ඇතැම් ජවනිකාවක තත්පර ගණනක රංග කොටසක් අධි රංගනයේ කඩතොලු ප්‍රදර්ශනය කළා හැරෙන්නට ඔහුගේ රංගනය අනෙක් චිත්‍රපටවල රංගනයන්ට හාත්පස වෙනස් දියුණු මට්ටමක පැවැතීය. නළුවන්ගේ නළු රශ්මිය හීනවීයාමේ තර්ජනයකට මුහුණපා ඇති සිංහල සිනමාවේ අද දවස වෙනුවෙන් උද්දික තැබූ පියවර උත්ප්‍රේරණයකි. රංගකාරිකයා සහ පඨිතය අතර පවත්නා සම්බන්ධය මෙන්ම හැඟීම් විදාහරණය සහ ස්වාත්මිකාරී වීම උද්දික සතතාභ්‍යාසයෙන්ම දියුණු කරගත් ශිල්පීය භාවිතාවන් ය. එනිසා ස්වාත්මිකාරී වීම නළුවෙකුට නොව අධ්යක්ෂවරයාගේ කාර්ය්යක් බව සිතන අයෙක් ට උද්දිකගේ රෂ් චරිතය කදිම පරීක්ෂණ සාම්පලයකි.
රෂ්ගේ ප්රාණසාම මිතුරා වන ශාන් මෙහිලා කැපීපෙනෙන අනෙක් ප්රමුඛ චරිතයයි. එය රංගනය කරන සාරංග දිසාසේකර පිළිබඳ විශේෂයෙන්ම කිව යුතුමය. සාරංග ටෙලිනාට්‍ය තුළ අතිසාර්ථක රංගන ශිල්පියෙකු බව කීම සාවද්‍ය නොවෙනමුත් ඔහුගේ සාර්ථක රංගනයක් චිත්‍රපටයක දැකීම විරල වූ අත්දැකීමක් වුයේ මහේෂ් මුණසිංහ වැනි අධ්යක්ෂවරුන් ඔහුගේ නියමාකාර ධාරිතාව හඳුනා නොගැනීම හේතුවෙනි. සාරංග විසින් මෙහි සිදු කරන ශාන්ගේ චරිතය ඔහුගේ සිනමාගමනේ ප්‍රබල මංසලකුණකි. භෞතික සැප සම්පතින් ආඪ්‍ය නොවන සහ ප්‍රවේණික සමාජ ස්ථරයකින් නොලත් කීර්ති නාමය හේතුවෙන් සමාජාර්ථික ව්‍යුහයේ තරමක් පහළටවන්ව ස්ථානගත පවුලක වැඩිමහල් දරුවා ලෙසින් තම ක්‍රියාවන් තම පවුලේ හෙට දවස බව සිහි තබාගෙන ක්‍රියාකරන ඔහු ආධ්‍යාත්මික බැඳීම් කෙරෙහි දක්වන නිර්ව්‍යාජ පාරිශුද්ධභාවය මෙන්ම කෙළ ගණනක් වූ මිත්‍ර සමාගමේ ජීවිතයේම කොටසක් මෙන් සලකන අතිජාත මිත්‍රත්වයට බිතුසිතුවමක් නොවූ කල්‍යාණ මිතු දම ස්වකීය පොහොසත්කම ලෙස සලකන මනුෂ්‍යත්වය රජයන, පරිත්‍යාගශීලිත්වය සහ නිර්ලෝභී කැපකිරීම දෙවරක් නොසිතා සිදුකරන තත්කාලීන සමාජයට සුසමාදර්ශී ශාන්ගේ චරිතයට සාරංග සීරුමාරුවට ප්රවිශ්ට වී තිබුණි. ප්‍රධාන චරිතය පෝෂණය කරන අතර ම තිරකතාවේ හරය චිත්‍රපට අධ්යක්ෂවරයාගේ සමාජ දේශපාලනික දෘෂ්ටිකෝණය හරහා ප්‍රතිනිර්මාණය කිරීම යන භාරදූර රංගෝපක්රමය සාරංග සාර්ථකව ජයගත්තේ අතිශය සාර්ථක නොවුණත් බොහෝ කලක් සිනමාවේ රැඳෙමින් එකතු කළ අත්දැකීමෙන් විය යුතුය. ඔහු ශිල්පීය ගැළපුම් ඥාණය මෙන්ම පිටපත පිළිබඳ දැක්වූ අවබෝධය අගය කළ මනාය. බොහෝ විට චිත්‍රපටයේ රසිකයා හා තදින් බැඳෙන චරිතය ශාන් බව හැඟේ. එයට හේතුව වන්නේ රෂ් කළු සුදු දෙපැහැයෙම පිටපත විසින් රඳවන මුත් ශාන් සර්වසාධාරණ චරිතයක් වීමය. එනිසාම සජීවී ලෙස දැනෙන්නා වූ ශාන්ගේ චරිතය තුළින් සාරංග සහ ප්‍රේක්ෂකයා අතර සම්බන්ධය සුවිශේෂී වූ සත්භවවේදීත්වයක් ( ONTOLOGICAL ) ප්‍රකට කරයි. කෙසේ නමුදු මින් මතු සාරංග සාර්ථක සිනමා චරිත මතම රැඳෙනු ඇතැයි අප සිත තුළ සුබවාදයක් ඇති කර ගැනීමට තරම් ශාන්ගේ චරිත නිරූපණය ප්‍රමාණවත් ය.
චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව නිරූපණය කරන අසංකි ද සිල්වා මෙම චිත්‍රපටය තුළින් සිනමාවට හඳුන්වාදෙනු ලබයි. පූජාගේ චරිතය තුළින් දක්නට ලැබෙන අසංකි නම් මේ නවක නිළියගේ ආධුනිකත්වයෙන් තොර අවස්ථා කිහිපයක්ම චිත්‍රපටයේ ඇගෙන් විය යුතු කොටස අංගසම්පූර්ණ කිරීමට උපරිම ලෙස දායකත්වය සපයා තිබේ. ඇගේ සිනහව, හැසිරීම, ඉරියව්, ගමන බිමන මෙන්ම නර්තන ලක්ෂණද සිනමාවට යම් නැවුම් බවක් එක්කර තිබූ බව හැඟිණි. ඇතැම් ස්ථාන ඇය මතුපිටින් පමණක් ස්පර්ශ කිරීම මත අසාර්ථක වුවත් බොහෝ අවස්ථාවන් ඇය ජයගත්තාය. තම පියාගේ අභාවය දැනගන්නා මොහොතේ ඇගේ රැඟුම් වතෙහි උපදින භාවයන් පාලනය කරගැනීමට ඇය වෙහෙස දරන ආකාරය දක්නට ලැබුණු අතර එය සියයට සියයක් ඇය සාර්ථකව කළ බව කිව නොහැක. එනමුත් තත්කාලීන නවක නිළියන් අතර අසංකි යනු යමක් කරන්නට තම උපරිමය වෙහෙස මහන්සි වූ ශිල්පිණියකි.
ඉන්පසු විමසිය යුත්තේ මෙහි උප ප්‍රධාන සහ අතුරු චරිතයන් ය. නෙතට ප්‍රිය දසුන් මෙන්ම තිර කතාවේ හරයා සෘජුවම ප්‍රේක්ෂකාගාරයට සමීප කිරීමෙහිලා මෙහි කැපීපෙනෙන මෙහෙයක් ඉටු කරන්නේ රෂ්, ශාන් ඇතුළු තරුණයන් පස් දෙනා විසිනි. ඔවුන් දෙපළ හැරුණ විට අනෙක් තරුණයන් තිදෙනාගේ චරිත රංගනය කරන ශිල්පීන් තිදෙනා ගැනද යමක් කිව යුතුමය. ජනිත් වික්‍රමගේ මෙහි කැපීපෙනෙන චරිතය රංගනය කරන්නේය. ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගත කරන, දිවි ගෙවන සෑම නිමේෂයක්ම උපරිමයෙන් විඳින තරුණයෙකුගේ සලරූ රූපය ජනිත්ට කදිමට ගැළපුණි. මින් පෙර "කිං හන්තර්" වැනි ප්‍රාථමික ප්‍රහසනාත්මක නිර්මාණයක සිට "ප්‍රවේගය" වැනි සිනමාකර්ෂණීය නිර්මාණයක් දක්වාම තමාට අවේණික රිද්මයකින් අවශ්‍ය පදමට හාස්‍ය ලබාදෙමින්, අප්‍රිය නොවී ප්‍රියතාවකින් සිනා සීමට සිනමා ප්‍රේක්ෂකාගාරයට දොරටු විවර කරන නූතන හස රංගකාරිකයා ජනිත් වික්‍රමගේ ය. ඇතැම් විටෙක අනේකාර්ථ වදන් මගින් හෝ සෘජුවම කියනා පරුස වදන් මගින් සිනමාවේ හාස්‍ය උපදවන්නට වෙර දරන නූතන සිනමාවේ සිල්ලට උත්සාහයන්ට ජනිත්ගේ ක්රමවේදයක පැවරුමකි. එමෙන්ම හර්ෂ තෙන්නකෝන් ද සිනමාව මත පළමු වරට දැනෙන්නට තරම් චරිතයක් කරනු දක්නට ලැබේ. ඔහු සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බරපතල සහ ප්‍රතිවීර චරිතවලින් බොහෝ දුරස්ව මෙහි දක්නට ලැබීම සතුටකි. එමෙන්ම ටෙලිනාට්‍ය හරහා දකින්නට ලැබුණු ඔහුගේ කඩතොලු සහිත රංගනයන් මෙහි සිනමාරූපී බවට පරිවර්තනය වන ආකාරය දකින්නට ලැබුණි. එනමුත් මට හැඟුණු පරිදි ඔහුගේ චරිතයට ඉස්මතු වීමට තරම් ප්‍රබල අවස්ථා පිටපත විසින් සලසා දී නොතිබුණි. මේ තරුණයන් පංචාස්රයේ කතා කළ යුතු අවසන් චරිතය නිරූපණය කළේ තිරයට හඳුන්වාදෙන නළු ජනිත් ඉරෝෂන් ය. නිරූපණ ක්ෂේත්රයේ නමක් දිනූ අයෙක් ලෙස අප හඳුනාගත් ඔහු ඉඳ හිට රූපවාහිනි දැන්විම්වල දක්නට ලැබුණත් ඔහුගේ රංගනයක් මුල්වරට නෙත ගැටෙන්නේ "රෂ්" හරහා ය. ඔහුගේ රංග ආධුනිකබව යම් යම් ස්ථානවල නෙත නොගැටුණා යැයි කීම අපහසු වුණත් ඔහු සම්පූර්ණව අසාර්ථක වූවා යැයි කීමට නොවටිනේය. ඔහුගේ රංගනයෙන් පවා චිත්‍රපටයට එක්කළ නැවුම් බව රසිකයන්ට මිහිරක් ම ය.
මෙහිලා කැපීපෙනෙන වැඩිහිට චරිත යුගලකි. ලකී ඩයස් සහ සනත් ගුණතිලක රංගනය කරන එම චරිත ද සිත්ගන්නාසුළුය. විශේෂයෙන්ම සනත් ගුණතිලයන්ට කලකට පසු යම් හැඟීම්වලින් පිරිපුන් පිය චරිතයක් තිරය මත දිගහරින්නට අවස්ථාව මහේෂ් මුණසිංහ ලබා දී තිබුණි. පූජාගේ පියා ලෙසින් රංගනය කරන ඔහු එහි පීතෘත්වයේ උපරිමයට සිය රැඟුම් වත පමණක් උපයෝගී කරගෙන ළඟාවනු දක්නට ලැබිණි. මේ කාලයේ දක්නට ලැබුණු බොහෝ චිත්‍රපටවල ඔහුගේ රංගනයෙන් නිසියාකාර ප්‍රයෝජන ගෙන නොතිබුණත් "රෂ්" එහි උපරිම ඵල නෙළාගෙන තිබුණි. රෂ්ගේ පියා ලෙසින් රංගනය කරන ලකී ඩයස් සාමාන්‍ය ආවේණික පරාසයේම සියුම් දියුණුවක් ප්‍රකට කළේය. රෂ් පිළිබඳ විමර්ෂණයට පරීක්ෂක පැමිණෙන අවස්ථාවේම මෙන්ම අවසන් ජවනිකාවේ ද ඔහුගේ රංගනය සිත්ගන්නාසුළුය. නූතන සිනමාවේ නැගී එන ප්‍රබල රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මෙහිද කැපීපෙනෙන චරිතයක් රංගනය කරන්නේය. පොලීසියට සහය වන අපරාධ පරීක්ෂකයෙක් ලෙසින් ඉසුරු කරන චරිතය සරල ලෙසින් මතුපිටට පෙනෙන සංකීර්ණ ලක්ෂණයන්ගෙන් පොහොසත් චරිතයකි. ඔහුගේ රංගනයෙහි කිසිඳු අස්වාභාවික බවක් නොපෙනීම මෙහිලා අගය කළ යුත්තක් වන අතර ම රඟපෑම යනු රඟ නොපෑම කියන්නවුන්ට ඉසුරු මෙහි සපයන පිළිතුර ප්‍රමාණවත් ය. මේ රංගකාරිකයන් කිහිපදෙනාට අමතරව යුරේනි නොෂිකා නම් නූතන සිනමාවේ තරු ගුණය නොමදව හිමි කරගත ජනප්‍රිය තාරකාවියගේ ඒකාලෝකය "ප්‍රවේගය" හි මෙන්ම මෙහිත් අවශ්‍ය පරිමාවට ලබාගෙන තිබුණි. ඇයද තමන්ට ලැබුණු චරිතය සිය උපරිමය දායක කර රංගනය කර තිබුණි. ඉන්පසු මෙහි රංගනය කරන තිරයට හඳුන්වාදෙන ශ්‍රීමාලි ෆොන්සේකා ගැන යමක් සඳහන් කරමි. ඇගේ රංගනය කිසි ලෙසකත් එම චරිතයට සාධාරණයක් නොකළ අතර ඇගේ සිනමා ප්‍රවිශ්ටය කිසිසේත් සිනමාරූපී රංගනයක් ප්‍රදර්ශනය නොකළාය. ඇයට වඩා සිනමාත්මක රංගනයක් අවම ජවනිකා කිහිපයක පෙනීසිටි ශාන්ගේ නැගණිය ලෙස මෙහි රඟපෑ රුවී ලක්මාලිගෙන් දක්නට ලැබුණි. ජේෂ්ඨ රංගනශිල්පිණී අනුලා කරුණාතිලක මෙහි ශාන්ගේ මව ලෙසින් රංගනය කළ අතර ඇය චරිතයට මෙන්ම චිත්‍රපටයටද ඒකාලෝකයක් වුවත් එම චරිතය තුළ ඇයට කරන්නට් තරම් විසල් නිරූපණයක් තිබුණාදැයි ගැටළුවකි. එවැනි ප්‍රවීණ ශිල්පිණියන් ඉඳ හිට හෝ සිනමාවෙන් දකින්නට ලැබීම රසික පර්ෂදයට මහත් සතුටක් වුවත් ඔවුන්ගේ වත්මන් හැකියාවට එම චරිත කෙතරම් දුරට ගැළපෙන්නේදැයි අධ්යක්ෂවරයා සිතිය යුතු කරුණකි. රෂ්ගේ කුඩා කළ රංගනය කළ විරාජ් මධුෂාන් ද ආරම්භක ජවනිකාවේ සිදුකරන කෙටිකාලීන රංගනයේ පවත්වා ගන්නා හැඟීම් පාලනය ඔහුගෙන් මුල් වරට දක්නට ලැබුනකි. මෙහි අතිරේකව රංගනය කරන මාක් ඇන්තනී ප්‍රනාන්දු, අජිත් වීරසිංහ, ඔස්ටින් සමරවික්‍රම, සුජීවා ඩයස්, ටෙක්ලා කුමුදු කුමාරි, ප්‍රේමා පතිරාජ, පොෂිනි දිසානායක, ශෂී ඇන්ජලීනා, දුමින්ද දන්තනාරායන, නුවන් කළුආරච්චි සහ සෙනදි වික්‍රමාරච්චි ඇතුළු සමස්ත රංගකාර්ය සපිරිවර සමස්තයක් ලෙස ගත් කළ නෙතට ප්‍රිය බයිස්කෝප් අත්දැකීමක් රසිකයනට තිළිණ කළහ.
රංගනයට අමතරව මෙහි කතා කළ යුතු ප්‍රමුඛතව කොටස වන්නේ තිර කතාව ය. එය රචනා කර තිබුණේ අප අවධානය දිනූ නළුවෙක්, නිෂ්පාදකයෙන් මෙන්ම ක්ෂේත්‍ර කිහිපයකම කැපීපෙනෙන දස්කම් දක්වන කැලුම් ආර්යන් කුලරත්න විසිනි. තිර රචනය තුළ දේශීය සිනමාව තුළ තිබූ හිඩැස් ගණනාවකට ඔහු කදිම යෙදුමක් බව "රෂ්" හරහා ඔහු සනාථ කර ඇත. යුරේනි නොෂිකා රංගනය කළ චරිතය කිසිඳු ගුණාත්මක පරිසමාප්තියකින් තොරව කතාවෙන් අතුරුදන් කිරීම තිර රචනයේ දුටු එක්තරා සිත් නොගත් අවස්ථාවකි. එමෙන්ම අවසාන ජවනිකාවේ අපරාධ පරීක්ෂක විසින් පූජාට එන ඇමතුමේදී රෂ් විසින් කළ සියලු අපරාධ පැහැදිලිව ප්‍රකාශ කරන්නට මත්තෙන් පූජා කලබල වී ගස් අතරට දිව ගියත් රෂ් අභිමුව පූජා සවිස්තරාත්මක කතාව රෂ්ට පැවැසීම ප්‍රේක්ෂක සිත්හි කුකුසක් ඇති කරවන්නකි. එම අවස්ථාවන් දෙක නොවන්නට මෙහි තිර රචනය සමකාලීන නිර්මාණ අතර රසිකාකර්ෂණයෙන් මුදුන්පත් බව කිව යුතුමය. මුල මැද අග මනා කුතුහලයක් රඳවා ගොඩනගා තිබූ තිර කතාව චරිත එකින් එක අපූරුවට ගොඩනගා විකාශනය කර තිබුණි. මෙහි දෙබස් ලියා තිබුණේ සම්මානනීය රචකයෙකි. විටෙක ඔහු ලියන කවි ගී දේශීය සිනමාව නවමු මාවතකට හැරවූ අතර මේ චිත්‍රපටය තුළින් ඔහු දෙබස් රචකයෙකුගේ කර්තව්‍යයේ ඉහළටම නිර්මාණනීය ලෙස පියමං කර තිබුණි. දෙබස් රචනයේ යොදාගත් නිදහස් වාග් විලාසය චිත්‍රපටයේ රස තීව්ර කරන්නට විය. මෙහි තරුණයන් පස් දෙනා තුළ ගොනු වන දෙබස් චිත්‍රපටයේ ස්වභාවික බවට මෙන්ම කාලෝචිත බවට බොහෝ සෙයින් රුකුල් සැපයූ බව පැහැදිලි විය. මෙවැනි නවක නිර්මාණ ශිල්පීන්ගේ සංයෝජනයන් අනාගත නෙත්ර ප්‍රිය සිනමාව ගොඩනැගීමෙහිලා කැපීපෙනෙන මෙහෙයක් ඉටුකරන බව විශ්වාසය.
මීළඟට ඇගයිය යුත්තේ අධ්‍යක්ෂණය යි. මහේෂ් මුණසිංහ විසින් ව්යවාහාරිකව පවසන්නේ නම් "බලන් සිටිය හැකි" චිත්‍රපටයක් කලකට පසු නිර්මාණය කර තිබුණි. අධ්‍යක්ෂණයේ ආධුනික ලක්ෂණ ඉතා අවම වූ අතර තිබූ පෙනෙන්නට වූ යම් යම් ගැටළුද චිත්‍රපටයට හානි කර තිබුණේ නැත. රෂ්ගේ සහ ශාන්ගේ චරිත ස්වභාවයන් මෙන්ම එම චරිත සංවර්ධනය කළ යුතු මෘදු කුසලතාවන් චිත්‍රපටය අතරතුර දී ම සංකේතාත්මකව රසිකයා වෙත ඉදිරිපත් කරන්නට මහේෂ් ගත් උත්සාහය සාර්ථකය. ඉතා සුළු චරිතයකින් පවා කතාවේ හරයට විය හැකි හානි පිළිබඳ මහේෂ් හොඳින් සැලකිලිමත් වී තිබුණි. රෂ් සහ පූජා දෙපළ සිටින අවහල ආශ්රිත දර්ශනයේ එහි සේවකයාට මෙම චිත්‍රපටයේ හඬකවා තිබුණි. මා සිතන අයුරින් එම චරිතයට හඬ කවා තබුණේ චිත්‍රපටයේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු භාරව සිටි හමීස් නම් තරුණයාය. සේවක චරිතයෙහි දෙබස් උච්චාරණය සම්පූර්ණ වශයෙන් ඉංග්‍රීසි භාෂිතයට බොහෝ සමීප වීම මත රෂ්ගේ ආර්ථික පරිසරය සහ සමාජ වටපිටාව එවැනි අවස්ථාවක පවා හුවා දක්වන්නට අධ්යක්ෂ සමත්විය. යොදාගත් දර්ශන තලයන් මෙන්ම නළු නිළි වරණයේද ඔහු සිනමාවට එක්කළ නැවුම් බව කාලීනව ඉතා වටී. "ප්‍රවේගය" වැනි සියල්ලෙන් සපිරි චිත්‍රපටයක් නරඹා බොහෝ කලකට පසු එවැනි ඇසට සිතට ප්‍රියමනාප චිත්‍රපටයක් දක්නට ලැබුණේ "රෂ්" හරහා ය. වැදගත් කරුණ වන්නේ ඒ සිනමාකර්ෂණීය බව මෙහි සහය අධ්යක්ෂ වූ ඩොනල්ඩ් ජයන්තගේද යම් උත්තේජනයක් මගින් චිත්‍රපටයේ ගුණාත්මක බව තර කරන්නට ඇතැයි අපට සිතීම ය. සමන් බණ්ඩාරගේ සටන් මෙහෙයවීම් මෙන්ම "KG TWINS" අයිය මලෝ දෙපළගේ නර්තන රචනයන්ද චිත්‍රපටයේ ස්වභාවික රස තීව්ර කළා මිසක කිසිඳු කෘතිම සාටෝපයක් ඒ මත තැන්පත් නොකළෝය. සාමාන්‍ය රසිකයාගේ සිතට සමීප, සටන් නැටුම් මැද දිවෙන ආදර අන්දරය ත්‍රිකෝණික දර්ශනයන් නැවුම් ලෙසින් මේ සිනමා අද්දැකීම හරහා විඳ ගත හැකිය. ශෂික රුවන් මාරසිංහ සහ බේලන් ෆොන්සේකාගේ නාද ශික්ෂනය, මාලක වීරක්කොඩිගේ වර්ණ සංයෝජනය මෙන්ම මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයද එක් කළේ චිත්‍රපටයට පෝෂ්යපදාර්ථයන් ය. රංගන එස්. බණ්ඩාරගේ මනකළු කැමරා කෝණයන් අධ්යක්ෂවරයාගේ සිතැඟි උපරිමය සහ නළු නිළියන්ගේ ධාරිතාවේ ප්‍රමාණය අපූරුවට තිරය මත ගොනු කරන්නට සමත් වීය. ජානක උල්ලදුපිටියගේ ඇඳුම් සහ ප්‍රියන්ත දිසානායකගේ ප්‍රවීණ අංග රචනය අසංකි, උද්දික ඇතුළු රංගකාරික පිරිවර අපට (රසිකයාට) තවතවත් සමීප කළ බව නිසැකය.
මෙහි සංගීතය මෙන්ම පසුබිම් ගායනයෙන් ද එක් වූ එරංග ජයවර්ධන බලාපොරොත්තු තැබිය හැකි සිනමාවේ බර හඳුනාගත් තරුණ ගඳඹෙකි. ඔහුගේ නිර්මාණ කාර්ය්ය වෙනුවෙන් ඔහු ශාස්ත්‍රීය ලෙස වෙහෙස වී අධ්‍යනයන්, පැවරුම් කර තිබූ බව පෙනුණි. කැලුම් ශ්‍රීමාල් සහ නිලාර් එන්. කාසිම් කතාවේ හරය මත හිඳගෙන අද්‍යතන තාරුණ්‍යය වෙළාගන්නා ගී කිහිපයක පද අමුණන කල මහේෂ් එම ගීත චිත්‍රපටයේ රසකාරක ලෙසින් එළිදැක්වූයේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම ප්‍රේක්ෂකාගාරයේ රස නහර අවදි කිරීමටය. මහේෂ්ගේ විශේෂ්ත්වයද එයයි. ඔහු කතා කරන්නේ සර්වකාලීන ප්රේක්ෂකාගාරයකට ය. ඔහුගේ සිනමාවේ චරිත හමුවන්නේ රසික නෙත නොව සිත ය. ඔහුගේ සිනමාව මසැසට මෙන්ම මනසටද ප්‍රියය. ඔහු රසිකයාගේ රසවින්දන පරාසයෙහි නිම්වළලු පුළුල් කරන නිර්මාණකරුවෙක් බව කිව යුතුය. මෙවැන්නක් නිමවන්නට නිර්ලෝභී අවධානමක් දැරිය යුතුම ය. වසන්ත විජේන්ද්‍ර සහ "RUM MOTION PICTURES" එම භාරදූර අර්ථපතීත්වය දරා තිබුණි. දේශීය සිනමාවේ කලාත්මක අගය වෙනුවෙන් අද්‍යතන ප්රයත්නයන් සෑහෙන්න තරම් ප්‍රමාණවත් වකවානුවක අප කර්මාන්තයක් ලෙස සිටින තැන වටහාගෙන එහිලා ගොඩ නැගීමට "රෂ්" නිෂ්පාදනය වෙනුවෙන් අප උත්තමාචාරය මේ සියල්ලට හිමි කළ යුතුය. රොෂාන් එඩ්වඩ්ගේ නිර්මාණශීලී කැපිලි කෙටිලිද තාරුණ්‍යය සොයන රස වැඩි කලා මිස අඩු කර නැත. අවසන කිව හැක්කේ මෙවැන්නකි. "රෂ්" යනු තාරුණ්‍යයට කතා කරන චිත්‍රපටයකි. එහෙත් රෂ් බලන ඕනෑම වයසක අයෙක් චිත්‍රපට අවසානයේ තාරුණ්‍යය මත නැවතත් ළැඟුම් ගනී. එහෙයින් නිගමනය වන්නේ,
"RUSH" යනු තාරුණ්‍යයේ "CRUSH" එක යන්නයි.
සටහන : Akash Tharuka Perera