හොඳ සාහිත්‍ය කෘතියක් සමකාලීන සමාජය පරාවර්තනය කරන කැඩපතක් කියා කීවොත් එය වරදක් නොවේ. එය පවතින සමාජය තීරු වලට කපා අප ඉදිරියේ එකින් එක පෙන්වයි. එලෙසම එම කෘතිය විචාරයට බදුන් කිරීම එම සමාජ දේහය ම විචාරය කිරීමකි. එවැනි සාහිත්‍ය කෘති අප අතට පත් වන්නේ ඉතා කලාතුරකිනි. මක් නිසාද යත් එවැනි කෘති නිර්මාණය කිරීම ඉතා අපහසු ව්‍යායාමයක් සහ කාලාන්තරයක් තිස්සේ කරන ලද අධ්‍යයනයක ප්‍රතිපලයක් වන නිසාය. මේ මොහොතේදී අපට එවැනි අවස්තාවක් ලැබී ඇත. ඒ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන "රතු ඉරි අදින අත" හරහාය. එය සමකාලීන සමාජය අප ඉදිරියේ ව්‍යාක්‍යානය කරයි. සමාජ අවකාශයේ සැගවී සිට ප්‍රජා පාලනයට බලපාන දේශපාලන තීන්දු තීරණය ගැනීම් මෙහෙයවන දේශපාලන මතවාද නිර්මාණය කිරීමටත්, සමාජයට ප්රගතිශීලී බලපෑම් එල්ල කළ යුතු බුද්ධිමය ප්‍රජාව පවා මං මුලා කරන, මෙහෙයවන අදෘශ්‍යමාන හස්තයක් බවට පත්ව ඇති පාතාලය සහ දේශපාලන අතර ඇති අවියෝජනීය සත්‍ය නොවලහා අනාවරණය කරන වියමනක් බව නොකියා සිටිය නොහැක.
සම්පූර්ණ නවකතාවක් (A Total Novel )
රටක කිසියම් යුගයක සාමස්තික අංගයන් ම කෙරේ අවධානය යොමු කරමින් ඒ සියල්ලම කෘතිය වෙතට කාවද්දමින් කරන යුගයේ පිළිබිඹුව ඉදිරිපත් වන නවකතාමය ලියවිල්ලක් සදහා භාවිත කෙරෙන 'සම්පූර්ණ නවකතාව' (A Total Novel ) යන යෙදුම දිය හැකි කතාවක් ලෙස 'රතු ඉර අදින අත' නවකතාව හැදින්වීම වරදක් නැත. මන්ද මේ නවකතාව විසින් යුගයේ සියලූම සමාජ ප්රපංචයන් අදුරේ අතපත ගෑමකට එහා ගොස් ඒ ප්රපංචයන් ගේ බොටුවෙන් මිරිකා පාඨකයා වෙතට ගෙනවිත් කරවන පාපොච්චාරණයක් බදු එකක් වන නිසාවෙනි. මාධ්‍ය අධිපතීත්වය මගින් මෙහෙයවන දෙශපාලනයත්, දේශපාලන ප්රතිවිරෝධතාවයන් මැඩ පවත්වා නිදහස් ගලා යාමකට පිටිය සකස් කරන පාතාලයත් අතර මැද සිදුවන සැගවුණු සත්‍යට එහා ගිය මතවාදී කාර්යභාරයක් මාධ්‍ය විසින් නිර්මාණය කරමින් සමාජ මතවාදය නිර්මාණය කර අයුරු මේ කෘතිය තුළින් පාඨකයාට මෘදු ලෙස එන්නත් කරයි. ඒ අතරම මෙම දාදු සෙල්ලම ආගමිකත්වය, ජාතිකත්වය, ජාත්‍යාලය වැනි රෙදිකඩවල් එක්කාසු කොට සැලසුම් සහගතව වියන ලද වෛවර්ණ තිර රෙද්දකට පිටුපස කෙරෙන ක්‍රීඩාවක් බවත් එළි පිට කෙරෙන්නේ ව්‍යාජ රංගනයක් බවත් අපට පසක් කර දීමට සමත් වෙයි. එකී රංගනය මගින් සියලූ ම සමාජ ප්රපංචයන් හා අනු ප්රපංචයන් කිසියම් දෘෂ්ටිවාදයක් පොදුවේ දැරීමේ තත්ත්වයකට හිරි වට්ටා ඇති අයුරු ප්රකාශමාන කරන අතර ම අමරකීර්ති කොට්ටයක් කණපිට ගසන්නාක් මෙන් ප්‍රශ්න කරන්නේ ව්‍යාජය මගින් වසා සිටින සත්‍ය නිරුවතයි.
ඊනියා බුද්ධිමය ප්‍රජාව හාස්‍යට ලක් කිරීම
බුද්ධිමය ප්‍රජාව යනු කවුරුන් ද? එය නීර්ණය කෙරෙන සීමාවන් මොනාද? යන ගැටලුවට සෘජු පිළිතුරක් මෙහි වෙයි. එනම් එම සීමා මායිම් තීරණය කරන ඉර මැකීයාමේ කේදවාචකයට ප්‍රධානම හේතුව අන් කිසිවක් නොව ඉන් එපිට සමාජය සවිඥානික නොවීමේ ගැටලුව බව පසක් කරවයි. එයට හොඳ ම නිදසුන කොහෙන් හෝ පොතක් පෙරලාගෙන වන පොත් කොට පැමිණි දෙයක් විද්‍යාර්ථීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉදිරියේ පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී දෙසන චින්තා නැමති මැරයා පවා ප්‍රාමාණික බුද්ධිමතෙකු බවට කථිකාචාර්යවරුන් හා විද්‍යාර්ථීන් තීරණය කිරීමයි.එය එක් පසෙකින් අමරකීර්ති විසින් හොඳන් ම හදුනන වර්තමානික ලාංකීය විශ්වවිද්‍යාලයේ ස්වරූපය මේ යැයි පෙන්නුම් කිරීමකි. එම විවේචනය සාධාරණ සහ සාධනීය එකක් වනුයේ කතුවරයා එම ප්රපංචයෙන් පිටත සිට විවේචනය කරන්නෙකුට එහා ගොස් එහිම සාමාජිකයෙකු වෙමින් කරන විවේචනයක් වන නිසාවෙනි. එබැවින් එහි වාස්තවික අගය අන් විවේචනයන්ට වඩා වැඩිය. එය තව තීව්ර කරමින් කරන උපහාසය නම් පේරාදෙණිය වල නැමති සංස්කෘතිකමය ආස්තානයේ දී වූ සිදු වීමක් ලෙස එය ගෙන ඒමයි. මන්දයත් ලාංකීය බුද්ධිමය ඉතිහාසයේ පර්යේෂණාත්මක අත්හදා බැලීම් කළ භූමියක සිට ම මෑත ඉතිහාසයේ අපට සිටි ඇකඩමික බුද්ධිමතුන් කිහිපදෙනා අතරින් බුද්ධිමතකෙකු වන ගම්ලත් ගේ පොතකින් උපුටාගත් දෑ එක ඉස්පිල්ලක්වත් අඩු නොකොට විරාම ලක්ෂණ පමණක් මගහැර කියන බුද්ධි චෞරයෙක් එක ක්ෂණයෙන් එම භූමියේදී ම කැරිස්මාවක් බවට ඊනියා බුද්ධිමය ප්‍රජාවක් විසින් අභිශේක ගැන්වීමේ කේදවාචකයයයි. එයිනිදු නොනැවතෙන කතුවරයා එම කේදවාචකයේ තරම මේ යැයි කියා මතු කරන්නේ රෝස කම්මුල් ඇති දැනුමට පෙර බුරිය පෙනෙන සාරි අදින වත්මන් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියන්ගේත් සහ ඩබල් පොකට් කමිස ඇද වටකුරු කණ්නාඩි දමන කතිකාචාර්යවරුන්ගේත් දැනුමේ අපූර්ණත්වය කොතරම්ද කියා ඔවුනටම ස්වයං චිත්තයක යෙදෙන්නට ආරාධනා කරමිනි. ඒ අතරම චින්තා නැමති බුද්ධි චෞරයාගේ පිහිටෙන් ටෙලි නිලියන් වීමට සිහින දකින විශ්වවිද්‍යාල කෙල්ලන්ගේ දැනුමේ සහ පරිකල්පනයේ දුප්පත්කම ද මේ යැයි කියා පාඨකයාට ඇගිල්ලෙන් ඇණ පෙන්වන්නේ රටේ ආදායමින් (නො)සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කරමින් බිහි කරන, සිව් වසරක නේවාසික නිවාඩුවකින් අනතුරුව සංවර්ධන නිලධාරියෙක් වී තම ප්‍රාදේශිය කොට්ඨාශයේ ම සේවය කිරීමට හීන දකින දෙනෝදාහක් දෙනාගේ බුද්ධියේ ඵලදායිතාවයේ තරම පෙන්වමිනි.
තෝකියෝවේ සිට වෙල් සිරි විදීම
අමරකීර්ති මෙහිදී අපව සැරෙන් සැරේ කොනිත්තවා ඇහරවන්නේ ජාතිකවාදී චින්තනයෙන් හිරි වැටී ගිය ලාංකීය සමාජය නොදැනුවත්කමින් වැටී සිටින වලේ ගැඹුර පෙන්වීමටයි. යුරෝපීය නූතනත්වයට ලාංකීය මධ්‍යම පංතිය ඇතුලුව සමස්ත සමාජයම විවර වීමට අසීමිත වෑයමක් ගත්තද එය තවමත් ව්‍යර්තව ඇත්තේ ග්රාමීයත්වය වෙත බැසගත් මූලය ගලවා ගැනීමට අවැසි ශක්තිය ජාතික චින්තන මතවාදය මගින් තදින් අල්ලාගෙන සිටින බැවිනි. එබැවින් තවමත් අප ආශාවේ දෑස් දල්වාගෙන බලා සිටින්නේ හද්ද නූතනකරණය වූ තෝකියෝවේ දැල්වෙන වෛවර්ණ නියෝන් එළිවලට වඩා ගමේ පැල්පතක දැල්වෙන ලන්තෑරුමේ ආලෝකය විචිත්‍රවත් යැයි කවුරුන් හෝ කියන තෙක් ය. ජපන් සෙන්සේ ගේ මුවින් ඒ හා සමාන වදනක් එලියට පැනීම තරම් ප්‍රීතියක් මෙහි එන සකල ලක් වැසියන්ට තවත් නැත්තේ එබැවිනි. එහිදී යම් එක් තැනකදී කරුණාඅම්මාන් සහ පිල්ලියාන් මෙන් ම මහාචාර්ය චන්දන මිහිදුකුලසූරිය ගේ පෙර තිබූ 'ප්‍රනාන්දු' කෑල්ල සුමිත් ගේ නිවසේදී මතභේදයට මුහුණ දී පසුව, කරුණා සහ පිල්ලියාන් සිංහල ජාතිය විසින් සුජාත කළාක් සේම සිංහල ජාතිකත්වය වෙනුවෙන් 'ජපන් සෙන්සේ' නමින් චන්දන මිහිදුකුලසූරිය බෞතීස්ම වන්නේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් මනුෂ්‍යත්වය පවා අමතක කර දැමීමේ දිගින් දිගටම පුරුදුකරගත් පුරුද්ද ද මතු කරමිනි. මෙහිදී කතුවරයා ගෙනෙන ජපන් සෙන්සේ කියන ජාතිකත්වයේ පණිවිඩය නලින් ද සිල්වා මෙහි සිට කියන න්‍යායාත්මක ජාතිකවාදයේ සෞන්දර්යාත්මක ප්රකාශනයයි. එය කතාවේ එන සමාජය තදින් වැළඳ ගන්නේ මෙවැසියෝ ජපානයට අවිඥානිකව කෙරෙන ඇල්ම ලංකාවේ බොහෝ දෙනෙක්ට ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගත නොහැකි මට්ටමේ උතෝපියාවක් බවට ජේ.ආර් යුගයේ සිටම තවමත් පත් කොට තිබෙන පසුබිමක සිටය. මෙහි අනෙක් අක්ෂය මහායානය හෝ ථේරවාදය අතර ස්ථානගත කළ නොහැකි අධිපතිවාදී සිංහල බුදුදහමක් මෙහි පැවතීමත් එය බුදුන්ටත් වඩා වටිනා එකක් බවත් ජන මනසට කාවද්දවා තිබීමයි. එබැවින් ජපන් සෙන්සේ ' ජීවන මධුර භාෂණ ' හි උපුටන පාඨ; සිංහල බෞද්ධ පාඨ බවට පත්වී ඒවා ජනවිඥානයේ තැම්පත්ව ඒවා සමාජයේ සිදුවන සියලුම ඝනයේ නොවියයුතු ක්‍රියා සගවමින් ඒවා වසා ගැනීම උදෙසා කියන ගායනාවන් බවට පත්ව තිබීමේ කේදවාචකය අමරකීර්ති මතක් කර සිටී.
පසුගාමී විශ්වවිද්‍යාල සංස්කෘතිය
විශ්වවිද්‍යාලයක් යැයි ඩෙරීඩා කීවේ ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමට බාධාවක් නැති, ඕනෑම අදහසක් දැරීමට අවකාශය සතු, ස්වාධීන චින්තනයක් සහිත මානව ජීවීන් පිරිසක් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන ආයතනයකටය. නමුත් අද මෙහි විශ්වවිද්‍යාල වල නැත්තේ ද ඒ ටිකමය. රතු ඉරි අදින අත තුළින් අමරකීර්ති ප්‍රශ්න කරන්නේ ද ඩෙරීඩා කියූ විශ්වවිද්‍යාලය කොහිද යන්නයි. ශාස්ත්‍ර ගවේෂණය වෙනුවට වනපොත් කරන, ස්වාධීන අදහස් දරන විද්‍යාර්ථීන් නොරුස්සන, වැඩවසම් මානසිකත්වයෙන් අනෙකාව මර්දනය කිරීමට උත්සහ ගන්නා ශිෂ්‍ය ප්‍රජාවක් සිටින බිමක් බවට පත්ව ඇත යන සත්‍ය කතුවරයා මෙහි මතු කරයි. ඒ සාකච්ඡාව ගොඩනැගෙන්නේ ඩෙරීඩා අපේක්ශා කළ ස්වරූපයේ විද්‍යාර්ථීයෙකු මතිනි. එහිදී අන් අයට වඩා දේ දකින ඔහු මනසිකාර යන නාමකරණයෙන් අන්‍යයෝ හදුන්වති. ඔහු පොත පත කියවයි. නාට්ටියක්, චිත්‍රපටයක්, බලයි. ගීතයක් අසයි. ඒ අසා එතැනින් නතර නොවී එවා ගැන මනසිකාරයේ යෙදෙයි. ඔහුට අනෙක් සිසුන්ට නැති තරමේ සංස්කෘතිකවත් ජීවිතයක් උරුමය. අන්යන් පෙළෙන නවකවදය වදයක් කොට සලකයි. ශිෂ්‍ය දේශපාලනයේ අඩු ලුහුඬුකම් ප්‍රශ්න කරයි. එවාට හිලව් ලෙස ඔහුට ලැබෙන්නේ ඊනියා ශිෂ්‍ය ක්‍රියාකාරින්ගෙන් ලැබෙන්නේ තර්ජනය. ප්රහාරයන් ය. මේ සමකාලීන විශ්වවිද්‍යාල දේශපාලනයේ ස්වරූපයයි. නමුත් ඔහු මනසිකාරයේ ම යෙදෙයි. එබැවින් ඔහු විසින් මෙම නවකතාවෙහි එන යටි මැස්ම අල්ලා ගනී. එය සයිබර් අවකාශයේ මුදා හරී. එහෙත් සමස්ත සමාජයත් විශ්වවිද්‍යාලයත් වසගයේ මුලා වී සිටී. ඔහු තිරය පිටුපස කෙලින දාදු කෙළියේ ඉත්තන් අදින්නේ කුමන අතින්ද යන්න ඉගි දෙයි. එහෙත් පසුගාමී විශ්වවිද්‍යාල ප්‍රජාව ඔහු උමතුවෙන් බව පවසයි. නමුත් මේ මොහොතේත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වභාවය මෙන්ම බහුතරයක් මොනෝව්යාධිකාරයන් පිරිසක් රැස්ව සවිඥානික විද්යාර්ථීයාට පහර දෙයි. සමකාලීන සත්‍ය හා නවකතාවේ කරුණු අතර සාම්‍ය අනුව වත්මන් විශ්වවිද්‍යාලය යනු පාසල් අධ්‍යාපනයේ දුගුවක් මිසක් ඩෙරීඩා අපේක්ෂා කළ විශ්වවිද්‍යාලය අහලකටවත් පැමිණ නැති බව නවකතාව පසක් කරවයි.
රතු ඉරි අදින භාෂාව
මෙය ඉතා කෙටි නවකතාවක් වුවත් පෙර කී පරිදි සම්පූර්ණ නවකතාවක් ය. එකී සම්පූර්ණ නවකතාවක් වීමේ කොන්දේසි පූර්ණය කළ යුතු ප්‍රපංච අතර සම්බන්ධය ගොඩනැගීමට කතුවරයා මෙහි ගෙනෙන භාෂාව මනරම් එකකි. මෙතරම් සංකීර්ණ සමාජ කාරණා ගනනාවක් කෘතිය තුළින් සාකච්ඡා කළත් මෙහි භාෂාව සරච්චන්ද්‍රයන්ගේ "මළ ගිය ඇත්තෝ" නවකතාවේ මෙන් කාව්‍යමය. මළ ගිය ඇත්තෝ වල විෂය වූ ප්‍රේමයෙන් හාත්පස වෙනස් වූ විෂයන් මෙහි සාකච්ඡාවට බදුන් වන්නේ ගීයක මෙනි. සම්බාහන මධ්‍යස්ථාන වල සුව ගෙනෙන ලදුන් ගෙනෙන කාමභෝග සම්පත්තිය, මිල අධික රට බීමවලින් ගෙනෙන මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ බිම හාංසි වී අදින ගංජා සුරුට්ටුවෙන් විවරවන මනසිකාර ලෝකය අතර සුන්දර පාළමක් මෙහි භාෂාවෙන් ගොඩනගනවා පමණක් නොව පාතාල හයි කාරයන් සුන්දර කවියන් බවට මෙහි බස හරවයි. ඉදින් රවුද්‍ර මරණ තර්ජන වෙනුවට නැගෙන ගීතමය මරණීය දැනුම්දීම් හා පාතාල වෙඩි පහරකින් හෝ ගෙළ සිර කර මරා දැමෙන්නක් ' මිනී මැරුමක් ' නොවී 'සුන්දර මරණ' බවට නිරායාසයෙන් පත් කෙරෙයි. ඒ කෙතරම් ද යත් ඒ මිනීමැරීමක් යැයි කියා නැගෙන තිගැස්ම ඇති නොවන අයුරින් මෙහි ගද්‍ය ආඛ්‍යානය ගලා එයි. එහිදී කතුවරයා ගේ සාර්ථකත්වය කෙතරම්ද යත් පාඨකයාට අන්තර්ගතය සහ ආකෘතිය අතර ආතතිගත සම්බන්ධයක් නොදැනෙන තරම් ය.
සමාජ කේදවාචකයක් මෙතරම් සුන්දර ගද්‍ය ආඛ්‍යානයකින් කතුවරයා අප ඉදිරියේ දිග හැර මතක් කර සිටින ප්‍රශ්නයෙන් අනතුරුව තමන්ව ස්වයං ප්‍රශ්න කිරීමකට ලක් වන්නේ නිරායාසයෙනි. එහි තිගැස්ම කෙතරම්ද කියතොත් රූපවාහිනිය ඉදිරියේ වැඩි වෙලාවක් එඩිතර චිත්තයකින් වාඩි ගෙන සිටීමද තරමක් අපහසු කටයුත්තක් බවට පත්ව ඇත්තේ 'මෙහි කතාවෙන් කියන දෙයින් තොරව සමාජයේ දෙයක් සිදු නොවෙනවා මෙන්ම සමාජයේ දෙයක් සිදුවීමෙන් තොර මෙම කතාවෙන් කියැවෙන දේ ද නැත' යන උගුළේ පාඨකයා පටලවමිනි.
වරුණ සූරියආරච්චි