“Newton” ඡන්දෙ දාන්න කලින් බලලා ඉන්න
හැමෝම ඡන්දෙට ලෑස්ති වෙනවා. ඡන්දෙ නැති අය පවා. ජනාධිපතිවරණ උණුසුමින් රටක් ඇළලී ගිහින්. ඡන්දෙ දෙන්නෙ කාටද? නොදෙන්නෙ කාටද? කාට දුන්නොත්ද වඩා හොඳ? අපි මෙයාට දෙන්නෙයි අරයට නොදෙන්නෙයි ඇයි? ඡන්දයක් නිසා මිනිස්සුන්ගෙ ඔලුවල ප්‍රශ්න කෝටියයි. ඡන්දෙ දාන හැටි ගැන හිතන මිනිස්සු ඡන්දයක් කරන හැටි ගැන කොහොමද හිතන්නේ? රටේ අධික ධනස්කන්දයක් වියදම් කරල සිද්ද කරන මැතිවරණ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙන හැටි ගැන ඡන්දෙ දාන අයට තියෙන්නෙ මොන වගේ අවබෝධයක් ද? ඒ ගැන අපූරුම කතිකාවතක් ගොඩනඟපු චිත්‍රපටයක් තමයි 'Newton'.
බොහෝ විට "මැතිවරණ නිළධාරියා" කියන චරිත විස්තරය චිත්‍රපටයකින් හමුවෙන්නෙ ප්‍රථම වතාවට වෙන්න ඕන. මැතිවරණ රාජකාරී කියන දේ ගැන ලුහුඬු දැනීමක් තිබෙනා අයවලුන් හට, වගකිවයුතු මැතිවරණ නිළධාරියෙක් වශයෙන් සැබවින්ම ඔහු සතු අභියෝග මොනවාද යන්න ගැන පුලුල් අවබෝධයක් ලද හැකි වූ අවස්ථාවක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්නට.
මෙතනදී ඉදිරිපත් කර තිබෙන අවස්ථාව මැතිවරණ නිළධාරියෙක් හට ජීවිතයත් මරණයත් අතර සිදුවන ක්‍රියාන්විත මෙහෙයුමක් හා සමයි. අපේක්ෂයා කිසිම දිනෙකවත් ඡන්ද දායකයාව හමුව නැති, ඡන්ද දායකයා ජීවිතේට ඡන්ද මධ්‍යස්ථානයක් දැක නැති, හතර අතින්ම කැලෑවෙන් වට වූ, සතුරු ප්‍රහාරයකින් ජීවිතය පවා අහිමිව යා හැකි, ආරක්ෂක නිළධාරීන් පවා ගැවසෙන්නට පැකිලීමක් දක්වන ප්‍රදේශයක කොහොමද විවෘත ඡන්ද විමසීමක් කරන්නේ? අවශ්‍ය වෙන්නේ කොන්ද කෙළින් තියාගෙන රාජකාරිය අකුරටම කරන සෘජු නිළධාරියෙක් පමණයි.
හැබැයි පෙර කී වාතාවරණයන් එකින් එක ගැන යථාර්ථවාදීව කල්පනා කරල බැලුවොත් කාටද මේ ඡන්දය ඕනේ? කැලෑ වැදිච්ච මේ සුලු ජන කොටසකගේ ඡන්දයෙන් දිල්ලියේ ලොකු පුටුවලට බලපෑමක් සිදු වේද? කිසිම දිනෙක මේ කැලෑ පීරාගෙන තමන්ගෙ බලප්‍රදේශයේ මහජනයාගේ සේවය පිණිස නිසි බලධාරීන් පැමිණ නැත්නම්, සාමාන්‍යයෙන් සිදුවන පරිදි අඩුම තරමේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහාවත් තමන්ගෙ මූණත්තහඩුව ඡන්ද දායකයාට පෙන්වීමක්වත් සිදුව නැත්නම්, ඉතාමත්ම අන්තරායකාරී වාතාවරණයක් මැද දිවි පරදුවට තබා ඡන්ද විමසීමක් සංවිධානය කරන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේ කුමන රාජ්‍ය නිළධාරියා ද? මොන අතින් බැලුවත් මේ ඡන්දය විහිලුවක්. නමුත් මේ කැලෑව මැද්දේ ඡන්ද මධ්‍යස්ථානයක් නියමිත ප්‍රමිතියෙන්ම ගොඩනඟන්නට හැකිවෙන්නේ නම් නූතන් කුමාර් හෙවත් "නිව්ටන්" වගේ කැක්කුමක් තියෙන මනුස්සයෙක්ට විතරයි. හැබැයි එහෙම මිනිස්සුත් ඇත්තටම ඉන්නවද කියන ප්‍රශ්නයත් ව්‍යංගාර්ථයෙන් ඇහෙන බවකුයි දකින්නට ලැබෙන්නේ.
චරිතය වෙනුවෙන් Raj Kumar Rao විසින් ලබා දෙන සහය අනුපමේයයි. ඇතැම් අවස්ථාවලදී ඔහු නිසලව නිශ්ශබ්දව සිටීමෙන් පවා රංගනයට එකතු කරන අගය බොහෝයි. ඒ වගේම මුල සිට සියල්ලම ප්‍රේක්ෂකයාගේ කෝණයට නතු වෙන්නේ ප්‍රහසනයක ආකාරයකින්. මේ අති බැරෑරුම් තත්ත්වය දිහා බලාගෙන මෙන්න අපි හිනාවෙනවා. හරිම අමුතුම පන්නයේ යථාර්ථවාදී සිනමා ප්රකාශනයක්. මේ මතුකරපු කාරණා ටික සමස්ත සිද්දියෙන් අංශු මාත්‍රයක් පමණක් බව අපි තේරුම් ගන්නකොට, සියල්ල කාලාන්තරයක් තිස්සේම සරුවට රැකගෙන ආ ප්‍රෝඩාකාරී සංස්කෘතියක් බව අවබෝධ වෙනකොට, සිවිල් වැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් යන්න ජුගුප්සාජනක විහිලුවක් බවට අමු අමුවේම පත්කර ඇති බව පෙනෙන කොට අර හිනාව ඒත් එහෙමමයි. හැබැයි කලින් වගේ ආතල් එකට නෙමේ, දෙතොලඟ ඇදෙන සමච්චල් හීන් හිනාවක්. අනිවාර්යයෙන්ම විඳගන්නටම ඕන සිනමා අත්දැකීමක්...
Newton සම රචනය සහ අධ්‍යක්ෂණය Amit V. Masurkar විසින්. නිෂ්පාදනය Masaan චිත්‍රපටය නිෂ්පාදන කළ Manish Mundra විසින්. වසර 2018 අදාළව හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලබන්නට හැකි වූ අතර Filmfare උළෙලේදී හොඳම චිත්‍රපටය (විචාර) සහ හොඳම කතාවට හිමි සම්මානයද හිමිකරගන්නට හැකි වුණා.
ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People