දොරකඩ මාරාව - Barot House
බොහෝ අවස්ථාවන්හිදී Horror චිත්රපට වලින් දනවන සංත්රාසයට වඩා ත්රාසයක් psychological thriller චිත්රපට වලින් දනවනවා. බොහෝ Horror චිත්රපට fantasy කෝණයන්ට නතු වෙද්දි psychological thriller කතන්දරයන් තුළින් ඉස්මතු කරවන realistic බවට ලැබෙන ප්රතිචාරයන් වල සංවේදීතාවය වඩාත් ඉහළ මට්ටමක පැවතීම් ඊට හේතුවයි. කිසියම් භූතාත්මයක් විසින් සිදුකරනු ලබන ඝාතන පෙළක් ගැන කියැවෙන කතන්දරයකටත් වඩා අභිරහස් serial killer කෙනෙකු අතින් සිදුවනා සාහසික ඝාතනයන් සම්බන්ධ සිදුවීමක ඇතුළත් වන භයංකරත්වය ඉතාම ප්රබලයි. Barot House කියන්නෙත් එවැනි ප්රබල කම්පනයක් දනවන වසරේ වැඩි අවධානයක් දිනාගත් thriller චිත්රපටයක්.
කතන්දරය ආරම්භ වෙන්නේම අනපේක්ෂිත කම්පනයක් දනවන දර්ශනයකින්. සතුට සමරන උත්සව රැයක, සියල්ලන්ම ප්රීති ප්රමෝදයකින් ඇළලී සිටිනා අවස්ථාවකදී කාටත් හොර රහසේ සුරතල් කුඩා දැරියක් අමානුෂිකව ඝාතනය කෙරෙනවා. කාටත් වරදක් නැති අහිංසක මල් කැකුලක් එතරම් සාහසික අන්දමින් තළා පෙලා දමන්නට හැකිවීම කිසිසේත්ම සිත් පිත් නැත්තෙක්ටම පමණක් කළ හැක්කක්. වැඩිහිටියන් අතරේ පැවති වෛරයක් සංසිඳුවා ගන්නට කුඩා දැරිය මරා දැමුවාද? එසේත් නැතිනම් ඝාතනය සිදුවූ වූ ආකාරයෙහි කුරිරු බව අනුව මෙය මනස විකල් වූවෙකුගේ විකෘති ක්රියාවක්ද? ආදී වශයෙන් ගැටලු රාශියක් ඉතිරි කරවමින් තමයි Barot පවුලේ දියණියක් අකාලයේ මිලින වී යන්නේ. එතැන් පටන් මේ අභිරහස් ඝාතනයට හේතුව සහ ඝාතකයා සොයා කෙරෙන පොළිස් පරීක්ෂනය් ඔස්සේ ඝාතනය සිදු කළ හැකි යැයි සැක පහළ වන Barot නිවැසියන් සහ අසල්වාසීන් එකිනෙකා ගැන විස්තරයන් දිගහැරෙනවා. සියලුම කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒත්තු යන්නේ ඝාතනය සහ ඝාතකයා තව දුරටත් අභිරහසක් පමණක්මයි යන තැන ප්රේක්ෂකයා නතර කරවමින්.
නමුත් දෙවන අදියර ඇරඹෙන්නේ කුඩා දැරියගේ ඝාතනය හුදෙක්ම අනතුරු ඇඟවීමක් පමණයි යන්න සනිටුහන් කරවන තවත් ඛේදවාචකයකින්. මෙතැන් පටන් කතන්දරය ප්රේක්ෂකයාව සෑහෙන දුරකට අන්ද මන්ද කරවන්නේ, එක පිට එක පතිත කරවන කම්පණයන්ට නතු කරවමින්, කතන්දරය තුළ ගොඩනැගෙන පීඩනය ක්රම ක්රමයෙන් දැඩි කරවමින්. Barot පවුලේ පියා අමිත් සහ සුරතල් දඟකාර කොලුගැටයා මල්හාර් අතර පවතින බැඳීම මඟින් මෙතෙක් නරඹා ඇති බොහෝ චිත්රපට අතරින් සැබෑම වෙනසක් ගෙන දෙන චිත්රපට අත්දැකීමක් බවට පත් වෙනවා. අමිත් වෙනුවෙන් Amit Sadh සහ කුඩා මල්හාර් වෙනුවෙන් Aaryan Menghji ගේ රංගනයෙන් උපදින සුසංයෝගය හිතට තදින්ම කාවදිනා චිත්රපට මතකයක් බවට පත්වනු ඇති. උපරිම කුතුහලයක් සහ උපරිම ත්රාසයක් දනවන භයංකර කතන්දරයක් විදිහට, මෙම වසරේදී නරඹන්නට ලැබෙන සුවිශේෂී චිත්රපටයක් වනු නොඅනුමානයි.
සටහන: Luckshman Aranwala
(සිනමාවේදීන්,The Cinema People)