මම හිතන්නෙ නෑ ඔයා කවදාවත් මට ඇහුම්කන් දුන්න කියල. ඔයා හැම තිස්සෙම මගෙන් අහන්නෙ කොහොමද දැන් ඔබේ ජීවිතය කොහොමද රස්සාව! තවමත් තියෙන්නෙ සෘණාත්මක සිතිවිලි ද ? ඔව්, මට හැමදාමත් තියෙන්නෙ සෘණාත්මක සිතිවිලි. මගේ ජීවිත කාලෙම මම දැනන් හිටියෙ නෑ මම ජිවත්වෙනව ද කියලවත්. ඒත් මම ජීවත්වෙනවා.”
ආතර් කියන්නෙ අපිරිසිදු වීදිවලින් කුණුවලින් පිරිචිච නගරයක එයාගෙ අම්මා එක්ක ජීවත්වෙන තාරුණ්‍ය වියැකී යන මිනිහෙක්. එයාගෙ අම්මාටත් එයාටත් නොමැරී ජීවත්වෙන්න ඕන නිසා කුලියට එක එක සාප්පු ඉස්සරහට වෙලා ආයතනයේ වෙළදාම ප්‍රවර්ධනය කරන්න විකටයෙක් විදිහට රඟපාන කෙනෙක් . ඒත් ඇත්තටම එයා ආස කළේ විශාල වේදිකාවක විකට ශිල්පියෙක් විදිහට විශාල ප්‍රෙක්ෂක සමුහයක් හදාගන්න. නමුත් ආතර්ට ඒක කරන්න බෑ මිනිහට තියෙනව පුංචි කාලෙ ඉදන්ම හිනායන ලෙඩක්. ඒ හිනාව එයාට විනාඩි කිහිපයක් යනකන් නවත්තගන්න බෑ. එයා හිනාවෙන්න වෙනත් මිනිස්සු වගේ සතුටට ප්‍රීතියට නෙවි. අසීමිත දුකට සහ කෝපයට. එවලෙට ආතර්ගෙ හුස්ම හිරවෙනව. අතපය ගැහෙන්න ගන්නව. කොටින්ම හිනාවත් එයාට වේදනාවක්.
සමාජය හැම තිස්සෙම අපහාස කරන්නෙ පහර දෙන්නෙ රටේ බලවන්තයන්ට නෙවි. අතිශය දුර්වලයට. ඒක ලෝකෙ කොයි රටකත් නියතයක්. ඉතින් ආතර් කියන මේ අහිංසක විකටයටත් නගරෙ කොල්ලන්ගෙන් අසීමිත විදිහට නින්දාවට පත්වෙන්නත් පහරකෑම්වලට ලක්වෙන්නත් සිද්ධ වුනා තරුණ කොල්ලන්ගෙන් විතරක් නෙවි වැඩිහිටි මිනිස්සුත් ආතර්ට එහෙම කළා. ඒක බස් එකක, කෝචිචියක, මහපාරක කියල කිසිම වෙනසක් වුනේ නෑ. සතියකට දෙකකට සැරයක් එයා ගුටිකනව හොදටෝම. වැඩියෙන්ම එයා ගුටිකන්නෙ එයාගෙ නවත්තගන්න බැරි හිනාවට. ගොඩක් මිනිස්සු හිතන්නෙ මේ හිනාව උපහාසයට හෝ අපහාසයට කරන එයා මවා ගත්තු හිනාවක් කියල. ඒත් ආතර් හිනාවෙන්නෙ ඒ අවස්ථාවෙ තමන් දැක්ක දේට එහෙමත් නැත්නම් සිදුවෙචිච දේට උපන් වේදනාවට. යමෙකුගෙ හිනාවම දුකක් නම් කොටින්ම මිනිහගෙ ජීවිතයම දුකක්. මේක මොනතරම් ප්රබලව මිනිහට දැනෙනවද කියනවනම් එයා ගෑනුන්ට කැමතියි . ඒත් ඔවුන් ළගට යන්න බයයි. ඒක නිසා එයා ආදරය කරන ගැහැණිය සමග මනසින් තමයි එකතුවෙන්නෙ. නමුත් මේ වේදනාවන් එයා කවදාවත් එයාගෙ අම්මට පෙන්නුවෙ නෑ. ඔහු අම්මට අසීමාන්තික විදිහට ආදරය කළා. ඇයට කැවුවා පෙව්වා. ඇයව නෑවුවා, ලස්සනට කොණ්ඩය පීරූව යහමින් සල්ලි තිබුණ දවස්වල බීර බෝතලයක් දෙකක් ගෙනැල්ල එයත් එක්ක සිංදු කියමින් නැටුවා. ආතර්ගෙ අම්මා හැම තිස්සෙම කියපු දෙයක් තමයි
‘‘මගේ පුතා ලෝකෙට බිහිවෙලා ඉන්නෙ අනිත් අයට හිනාවක් ගේන්න. සතුටු කරන්න‘‘ කියලයි. ආතර් ඇත්තටම විශ්වාස කළා ඔහුගේ දුක්විදි කෘෂ ගැහුණු ශරීරය. වේදනාවට කෝපයට පත්වුනාම විනාඩි ගණනක් හිනායන එක" කලවාවල මස්පිඩු වේගයෙන් ගැහෙන එක උප්පත්තියෙන්ම එයාට පිහිටපු දෙයක් එයාගෙ දුර්වල කමක් කියල.
නමුත් දවසක් එයා දැන ගන්නව ඒක එහෙම නොවන බව.
ඔහු දැනගන්නව තමන්ගෙ අම්මා තමන් සේවය කරපු මිනිහත් එක්ක විනෝදයට නිදිවැදල තමයි එයාව හම්බවුණේ කියල. ඒ මිනිහ නගරෙ දේශපාලන බලය තියෙන ධනවතෙක් . මිනිහගෙ ඉල්ලීම පිට අම්මා මේක රහසක් විදිහට රැකගන්න හැටි, මිනිහව ආරක්ෂා කරන්න ගිවිසුම් ගහපු හැටි. පස්සෙ ඔහු යනව මේ තමන්ගෙ තාත්තයි කියන මිනිහව හොයාගෙන. මිනිහ තමයි මේ පාර ඒ දූෂිත නගරෙ නගරාධිපති තනතුරට ඉල්ලන්නෙ.
‘‘උඹට මොනවද මගෙන් ඕන? සල්ලි ද?
‘‘අනේ නෑ ඔයා දන්නව මම ඔයාගෙ පුතා කියල. මම ආයි කවදාවත් ඔබව හොයාගෙන එන්නෙ නෑ, මාව එකම එක සැරයක් ඉඹින්න තාත්තේ” ආතර් අයදිනව.
‘‘පල බැල්ලිගෙ පුතා ‘‘
මිනිහ හොදවයින් දෙකක් කම්මුලට දීල ආතර්ව පන්න ගන්නව. ඊට පස්සෙ තමයි ඔහු අම්මගේ අතීතය හොයන්න ගන්නෙ. ඔහුට හමුවෙනව රාජ්‍ය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලියකියවිලි වගයක් බන්ධනාගර දෙපාර්තමේන්තුව යටතේ අම්මගේ පරිවාස කාලයක් ගෙවපු. ඒක විස්තර කරනවා. ඇයට හිටපු පෙම්වත්තු. ඒ පෙම්වත්තු ඇයත් සමග නිදිවදිමින් පුංචි ආතර්වත් අපයෝජනය කරපු හැටි. ආතර්ව ගෑස් ටැංකියට බැදල ඇය දිනපතා ආතර්ගේ ඔලුවට පොල්ලකින් පහර දීපු හැටි . ආතර් ඒ පහරදීම්වලට අඩනව වෙනුවට හිනාවෙන්න පටන් ගත්තු හැටි.” “මගේ පුතා කවදාවත් අඩන්නෙ නෑයි” ඇය පොලිසියට කට උත්තර දීපු හැටි. ඒ වාර්තාව දැක්ක ආතර් ජිවිතේ පළමු වතාවට අඬනවා.
ඊට පස්සෙ ඔහු සම්පුර්ණයෙන් වෙනස් මිනිහෙක් වෙනවා. තමන්වත් සමාජයේ අසරණයන්වත් විහිලුවට ලක්කරන අපහාස කරන ඒ තත්වයට මිනිස්සු ඇද දමන පුද්ගලයන් ඔහු අතින් ඝාතනය වෙනව 6 දෙනෙක්. ඒ හයදෙනා අතර තමන්ගෙ අම්මාත් ඉන්නව. මේ ක්‍රියාවලියෙන් නගරය කැළඹෙනව. මුලු මහත් පහළ පාන්තික සමාජයම විකටයන් විදිහට ඇදගන්නව ඔවුන් කාර්යාලවල, මහමාර්ගවල, පොදු ප්‍රවාහන සේවයේ පවා අවිහිංසක අසරණ විකටයන් වෙනුවෙන් පෙනී ඉන්නව. ඒක රැල්ලක්. ඒ රැල්ල අවසන් වෙන්නෙ ධනපති දේශපාලකයන්ගේ ඝාතනවලින්.
හැබැයි ඒක චිත්‍රපටියක් !
සටහන: උපාලි ජයසිංහ