"සමන් කියයි". සමන් අතාවුදහෙටිටි ලියපු අළුත්ම පොත.සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ,සොඳුරු සැරිසර හනමිචිය දිගේ වගේ තමන්ගෙ සංචාරක සටහන් අළලා ලියූ පොත්වලට වඩා ටිකක් වෙනස් පොතක්.හැබැයි ඒවයෙ වගේම මේ පොතට පාදක වෙන්නෙත් ඔහු හා බැඳුණු රාජකාරි දිවියේ වගේම පෞද්ගලික දිවියේත් ඔහුට සමීප චරිත කීපයක වගතුග.හරි රහට ලියල තියෙනව.ඒ හින්දම පොත හතරපස් පාරක් කියෙව්වට පස්සෙ ඒ ගැන නිරායාසයෙන්ම විශ්ලේෂණය වෙලා මගෙ හිතට ආපු අදහස් ටිකක් තමයි මේ ලියන්නෙ.
සමන් අතාවුදහෙටිටි ගැන බොහෝ අය දන්නෙ නිවේදකයෙක් හැටියට.මට මතක විදියට පොඩිකාලෙ මම ඔහුගෙ හඬ හඳුනාගත්තෙ රූපවාහිනිය හරහා.අහපු දා ඉඳන් මම ඒ හඬට ඉරිසියා කරනව.!ලොබ බඳිනව.මට එහෙම කටහඬක් නැති එකට.ඒක ඒ තරම් ඒකීය, හරිම මටසිලිටි නිවුණු හඬක්.මෑත භාගයෙ ඔහුගෙ හඬ ඇහුවෙ සරත් දසනායකයන්ගෙ උපහාර උළෙලකදි.තරංගනී ශාලාවේදි ඔහු ඒ සභාවේ මෙහෙයැව්වේ එතන හිටි කාටවත් නොදැනෙනන විදියට.කිසිම කලබලයක් නැතුව.ඔහුගේ හඬ ගැන යම් සඳහනක් කළේ යම් විශේෂ හේතුවකට.
මෙන්න මේකයි හේතුව.පොත කියවද්දි සමන් අතාවුදහෙටිටිගෙ කටහඬ ගැන හිතේ තියාගෙන කියවනවිට මේ පොත ඔහුගේ හඬින් කියවීමට හැකිවීම තමයි මම අත්දැකපු සුවිශේෂී කාරණාව.වෙන අයටනම් කොහොම වෙයිද දන්නෙ නෑ.නමුත් මට නම් පොත කියවන්න ගත්ත වෙලේ ඉඳන් හිතේ මැවෙන්නෙ ඔහුගෙ කටහඬ.ඉතින් ඒ හඬින් මං හිතෙන් කියවනව.ඔහුගේ නිවේදක හඬට ඇලුම් කිරීම නිසාම මට එහෙම වෙනව ඇති කියන එකයි මගෙ අදහස.නැත්නම් වෙන කෙනෙක් ලියපු පොතක් කියවද්දිත් එහෙම වෙන්නෙපෑය.
අනික් කාරණේ මේ පොත ලියවිල තියෙන්නෙ කතා කරන බසින්.එක් එක් අවස්ථාවන්වලදී එකී චරිත ගැන ඔහු කළ දෙසුම් ඇසුරෙන්.ඉතින් ඔහුගේ හඬ සිතේ මැවෙන එක තවත් ලේසියි.හරි සරල බසක්.ආකර්ෂණීය බසක්.ඒ වගේම ඔහුටම ආවේණික විදියට ලියපු නිර්මාණශීලි ලිවීමක්.
"සමන් කියයි" කියල කිව්වට ඒ පොතේ තව අතුරු නම් කීපයකුත් තියෙනව.
මෙන්න මෙහෙම" ප්‍රේම් පොඩියි,දයා තරුණයි,නන්දා දුප්පත්,වික්ටර් ගැඹුරුයි,කළණි හයිබ්‍රිඩ්."
පොතේ විදියට සමන් අතාවුදහෙටිටියන් මේ චරිත හා කිටි කිටියේ ගැටගැහෙන හුය වෙන්නෙ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.ඒ කාලේ බාසාවෙන් කිව්වොත් රේඩියෝ සිලෝන් එක.ඒ හැම චරිතයක්ම " ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කතන්දරේ පුස්සක් කරපු අය.ඒක මේ අයගෙ මහා පොදු සාධකය.
දයාද අල්විස් ගත්තොත් ගේය පද රචිකාවියක්,මාධ්‍යවේදිනියක්,රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්.වික්ටර් රත්නායකයන් ගත්තොත් සංගීත ගුරුවරයෙක්,වාදන ශිල්පියෙක්,ගායකයෙක්,සංගීතඥයෙක්.නන්දා මාලිනිත් එහෙමයි.වයලීන් වාදක හයිබ්‍රිඩ් කළණිත් එහෙමයි.ප්‍රේමකීර්තිද අල්විස් ගැන කිසිවක් කියනවට වඩා නොකියා ඉන්න එක හොඳයි කියල මට හිතෙන්නෙ මනුස්සයෙකුට ඒ වගේ හැකියාවන් තියෙන්න පුළුවන්ද කියල මේක කියවන අයට අදහගන්න බැරිවෙයි කියන බයට.මේ චරිත පහේම හැකියා, දක්ෂතාවල හතර මායිම හරි විසාලයි.එය විටෙක විස්මය උපදවන වපසරියක්.
නිර්මාණශීලි බව,පවතින සාම්ප්‍රදායට එරෙහිව යාම, ඒ නිසාවෙන්ම නව්‍යතාවන් එළි දැක්වීම,ගීත රචනය,වාදනය,ගායනය,සංගීත අදියුරුවම වැනි කුමක් හෝ අංශයකින් සංගීතයට සම්බන්ධ වීම වගේ කරුණු නිසාත් මේ අය එකම කුලකෙට වැටෙනව.
පොත තව ටිකක් විමසිල්ලෙන් කියෙව්වම පේන්න ගන්න මේ චරිත පහ අතරත් එකිනෙකාගෙ අන්තර් සම්බන්ධතා තියෙන බව.පෞද්ගලිකව වගේම රාජකාරි මට්ටමෙන්.අද කාලෙ බාසාවෙන් කිව්වොත් සෑහෙන කනෙක්ට් වෙච්ව, ලින්ක් වෙච්ච කට්ටිය.ඔන්න බලන්නකො.
නිරංජලා සරෝජනී ගයන අකලට වට මහා වරුසාවක් සේ කියන ගීතය ලියල තියෙන්නෙ දයා ද අල්විස්.සංගීතය සපයල තියෙන්නෙ නන්දා මාලිනී.එතකොට දයා ද අල්විස් ඇවිල්ල ප්‍රේම කීර්තිගෙ පළමු විවාහයෙ බිරිඳ."ආදරයේ උල්පත වූ අම්මා" කියන ගීතය ලියන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස්.ඒකෙ ගායනය වික්ටර් රත්නායකයන්ගෙ.වික්ටර් රත්නායකයන්ගෙ "ස" ප්‍රසංගයට නැතිවම බැරි වයලින් වාදකයෙක්ගෙ වෙන්නෙ කළණි පෙරේරා.
පොතේ චරිත පහක් ගැන කිව්වට මට හිතෙනව හයක් තියෙනව වගේ.මොකද සමන් අතාවුදහෙටිටි නෙ මේ කථාව කියන්නෙ.ඉතින් ඔහුගෙ චරිතයේ ඇතැම් කොටසුත් මේ පස්දෙනාගෙ කතා අතරට සමමෝසමේ කළවං වෙනව.සමනුත් එක්ක හයයි.ඒ මෙහෙමයි.එක තැනක් ඔහු කියනව "මගේ විවාහයේ දෙවනි මනමාලයා කළණි".!
මේ එක උදාහරණයක් විතරයි.තව එහෙම ඒවා සෑහෙන තියෙනව කියවගෙන යනකොට.ඒවගේම මේ චරිත ගැන කතා වෙන් වෙන් වශයෙන් කියවෙද්දි ඒ හරහා තව අතුරු චරිත ගණනාවක් පැන නඟිනව.බණ්ඩාර කේ.විජේතුංග, Asoka Tillekeratne, ලොකු මාස්ටර් හෙවත් තිලක සුදර්මන් සිල්වා,මහැදුරු ආරියරත්නයන්,අමරබන්දු රූපසිංහ,සේන වීරසේකර,කේමදාස මාස්ටර් වගේ තව චරිත ගණනාවක්.පොතේ තැනක අතාවුදයන් කියනව මේ අය එක්ක වරුවක් ගතකරනව කියන්නෙ මහා දැනුම් සම්භාරයක් උකහා ගැනීමක් කියල.අර මම කලින් කිව්ව කනෙක්ෂන්, ලින්ක් වගේ දේවල් හොඳට තියාගෙන තිබුණා කියන එකට ඒක හොඳ උදාහරණයක්.දූරකථන,අන්තර්ජාල නොතිබ්බ ඒ යුගයේ මේ වගේ මිත්‍ර සමාගම්,සංවාද සල්ලාප බහුලව තිබ්බ නිසාම තමයි ඒ වගේ රසවතුන් බිහි වෙන්නේ.නැත්නම් මේ පොතේ තියෙනව වගේ රසකථා කොහෙන් ලියවෙන්නද.? අද ඒ හැමදෙයක්ම තාක්ෂණයෙන් යටකරගෙන ගිහින්.
එහෙව් දැනුම් සම්භාරයක් සමන් අතාවුදහෙටිටිටත් තියෙනව කියන එක මේ පොත කියෙව්වම පැහැදිලියි.ඒක පුළුල් වපසරියක විහිදී ගිය හරි අපූරු දැනුම් සම්භාරයක්.රස කතා ගොන්නක් පිරිවරාගත්.වික්ටර් රත්නායකයන්ගෙ හා කළණි පෙරේරාගෙ සංගීත යොදාගැනීම් ගැන ඔහු ලියා තියෙන දේ දැක්කම ඒ බව වඩා සුපැහැදිලියි.තව කෙනෙක් කිව්ව දෙයක් අහගෙන හෝ ඉගෙනගෙන හෝ සංගීතය වගේ විෂයක් ගැන ඒ වගේ ලියන්න පොඩ්ඩක් හරි ඒක ඇඟේ තියෙන්නත් ඕන.නැත්නම් ඒ විෂය කරුණු ගැන ඒ විදියට ලියන එක ලේසි වැඩක් නෙවෙයි.
පොතේ තියෙන උපමාවනුත් එහෙමයි.එක් තැනක ප්‍රේමකීර්ති ගැන සඳහනක් කරන සමන් කියා සිටිනව ප්‍රේමකීර්ති දක්ෂ සිත්තරෙක් වග.
" පොඩි මාස්ටර් හොඳ සිත්තරෙක්.ඔහුගේ සිත්තරකම කවිකමටත් වඩා සැඟවිච්ච දෙයක්.ගුහා චිත්‍ර වගේ.ගුහාවට රිංගන්න අවසර තිබෙන දෙතුන්දෙනෙක්ගෙ පමණක් නෙත ගැටුණු ඒවා."ගුහා චිත්‍ර උපමාව හරි අපූරු උපමාවක්.
පොතේ තවත් තැනක ඔහු කියවන්නාගෙ කුතුහලය රඳවාගෙන ලියන්නෙ අපිට කියවන්න හදිස්සියක් ඇතිවන විදියට.ඔහු කියන විදියට ප්‍රේමකීර්ති ද අල්විස් තමන්ගේ මියයාම ගැන කලින් පවා දැනගෙන හිටි බව සාක්ෂි සහිතව පෙන්වා දෙන්නෙ ඔවුන් අතර ඇතිවූ කතාබහින් හා ප්‍රේමකීර්ති ලියූ දේ මතින්.
"සමන් කවදාවත් මට සුරංගිව පෝරුවට නග්ගන්න වෙන්නෙ නෑ."
ඒ වගේම දාස්පෙතියා කවිය,සිය දියණිය සුරංගිට ප්‍රේමකීර්ති විසින් තෑගි දුන් පොතක ලියූ සටහන සමන් අතාවුදයන් සිය නිගමනයන් ලෙස දිගහැර පෙන්වන්නේ කුතුහලය කියන දේ උපරිමව රඳවාගනිමින්.
"ඔබ යුවතියක් වන දින
මා පස් ගොඩක් පමණි..
දුවේ..එය පාගන්න."
රෙගේ ගායක බොබ් මාලේ, බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් වගේ අයත් එක්ක මටනම් සමතැන්හි තියන්න පුළුවන් කෙනෙක් ප්‍රේමකීර්ති ද අල්විස්.හේතුව ඔවුන් ජීවත් උනේ බොහොම සීමිත කාලයක්.මාලෙ අවුරුදු තිස් හයක්,ලෙනන් අවුරුදු හතළිහක්.නමුත් ඔවුන්ගේ නිර්මාණ කරපු කියපු දේවල් අදටත් පවතිනව.අද ඒවා වන්දනීයයි.ප්‍රේමකීර්තිත් එහෙමයි.ජීවත් උනේ අවුරුදු හතළිස් දෙකක් වගේ කාලයක් උනාට ඒ ඩිංග කාලෙට ඔහු කරපු නිර්මාණ ගැන අදත් සමාජයේ කතාවෙනව.තවමත් පවතිනව.ඒ වගේ පොඩි කාලෙකදි එහෙම නිර්මාණ කළාද කියල විස්මයෙන් අහනව.ඇයි සමන් කියන විදියට ඔහු ජීවිතේට පොතක් පත්තරයක් කියවනව දැකලම නෑලු.
ඉතින් ඔය වගේ රසකතා, ජීවිතේට ඉගෙනගන්න පුළුවන් දේවල්,ආදර්ශ වගේ දේවල් එක්ක මේ පොත එක හුස්මට කියවගන යන්න පුළුවන්.ඒ වගේම මේ පස්දෙනා සම්බන්ධ වෙච්ච ගීතවලට අදාළව ඇඳි කළුසුදු සිතුවම්වලිනුත් මේ පොත පොහොසත්.ඉතින් මේ පොතට පෙරවදන ලියූ සමන් අතාවුදහෙටිටි කියන තව කතාවක්.
" මා කියූ කතා අතුරින් පොත සඳහා මේ කතා පහම තෝරාගත්තේ ඇයිදැයි සමහරු මගෙන් ඇසූහ.සමහරවිට ඔබේ සිත තුළද ඒ ප්‍රශ්නයම ඇඳී තියෙන්නට පුලුවන."
"පොත කියවන්න.ඒ ප්‍රශ්නයට උත්තර ඇත්තේ පොතේ එන කතා පහ ඇතුළේමය."
හතරපස්වතාවක් පොත කියවල ඒකෙ කරුණු කාරණා මෙව්චල් කරල මේ වගේ සටහනක් ලිව්වට පස්සෙත් මගේ හිතේත් ඔය ප්‍රශ්නෙම ඉතුරුවෙලා තියෙනව.සමානකම්,අසමානකම්,සම්බන්ධකම්,විෂය පථයන් වගේ කරුණු එක්ක ගැටිල බලනකොට මට හිතෙනව මං ලියපු දේවල්වලවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවද කියල.මොකද ඒක හරියටම දන්න සමන් අතාවුදහෙටිටිනෙ.හම්බවෙච්ච දවසක අහන්න හිතාගෙන මෙයින් නතර වෙනව.
හැබැයි මට අනුව නමේ පොතේ ඔක්කොම ප්‍රධාන චරිත හයයි.සමන් එක්ක.!හැබැයි එයාට අනිත් අයට වගේ අර පොඩියි,තරුණයි,දුප්පත්,ගැඹුරුයි,හයිබ්‍රිඩ් වගේ වත්කම් බැරකම් ගතිගුණ කෑල්ලක් නැති නිසා ඒ පහට අලුතෙන් කෑල්ලක් මං දානව.ඒ මෙන්න මෙහෙම.
Prem පොඩියි
Daya තරුණයි. Nanda දුප්පත්
Victor ගැඹුරුයි Kalani හයිබ්‍රිඩ්
එතකොට සමන්...
"Saman අතීතකාමියි."
ඔව්.ඔහු රසබර අතීතකාමියෙක්.!
නිර්මාලයා
Nirmal Ranasinghe Bmd