විමුක්ති ජයසුන්දරගේ සිව්වන චිත්‍රපටය වන ‘සුළඟ ගිනි අරන්' බැලූ විට සිතට නැගුණු සිතුවිල්ලක් මෙසේ ලියමි.
විමුක්තිගේ රූප රාමු ආලෝකයෙන් අඳින ලද ගැඹුරු සිනමා සිතුවම් ලෙස රස විඳිය හැකි ය. ඒවායේ තිබෙන අඳුරු, දොම්නස්, ගුප්තභාවය හා මන්දගාමී චලනය ද, ශබ්ද භාවිතයෙහි හා රංග වින්‍යාසයෙහි චමත්කාරය ද මන බඳිනසුළු බව අමුතුවෙන් කිව යුතු නැත.
එහෙත්, විමුක්ති සිය නිර්මානවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද?
විමුක්තිගේ චත්‍රක් චිත්‍රපටයේ ද දැක්ම පිළිබඳ අපි මීට පෙර ප්‍රශ්න කළෙමු.
සුළඟ ගිනි අරන් සම්බන්ධයෙන් යමක් කීමට පෙර අධි යථාර්ථවාදය ලංකාවේ හා ලෝකයේ ඇතැමුන් අත පත් වී තිබෙන කණගාටුදායක තත්වය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතමි.
යථාර්ථය කලාත්මක අයුරින් ප්රතිනිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. එයට ඉතිහාසය, සමාජ පසුබිම, චරිත අතර ගැටුම්, චරිතවල මනෝභාවයන් ආදිය පිළිබඳ ඉතා ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය ය. එහෙත්, ලංකාවේ ඇතැම් කලාකරුවෝ මේ ගැඹුරු හැදෑරීම කිරීමට තරම් විනයක්, විවේක බුද්ධියක් හා උවමනාවක් නැතිකම ඉතා පහසුවෙන් ආවරණය කර ගන්නේ අධි යථාර්ථවාදයෙනි.
මෑත වකවානුවේදී මෙම නිර්මාණ විනය මැනැවින් නිරූපණය කළ කෘතියක් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දූල්වල අලංකාරේ ය. එහෙත්, ගැඹුරු අධ්‍යයනය හා යථාර්ථවාදී නිරූපණයේ සියුම් විස්තර කෙරෙහි දක්වන ලද අධි සංවේදීබව නිසාදෝ ඇගේ කෘතියෙහි කිසියම් සියුම් වාර්තාකාරී ස්වභාවයක් දක්නට ලැබේ.
යථාර්ථ අධ්‍යයනය මගහැරීම උදෙසා අධි යථාර්ථවාදය වෙත යොමු වන නිර්මානකරුවා වස්තු බලා ඇඳීම නො දත්කම වසා ගන්නට වියුක්ත චිත්‍ර අඳින ශිල්පියකු වැනි ය.
කලාත්මක අධියථාර්ථවාදය මතු වන්නේ යථාර්ථය පිළිබඳ ගැඹුරු හැදෑරීම් ඔස්සේ ය.
විමුක්ති ද නිරන්තරයෙන් අධියථාර්ථවාදී නිරූපණයන් වෙත යොමු වන්නෙකි. චත්‍රක් චිත්රපටයෙහි මානසික රෝගී තරුණයාගේ භ්‍රාන්තියක් ලෙස සැලකිය හැකි දේශ සීමා මුරකරුවකුගේ චරිතයක් තිබේ. එසේම, සිහිනයක් ද එහි ඉදිරිපත් කෙරේ. ගෘහ නිර්මාන ශිල්පියා සිය බිරිය සමග කැළයේ නිවසක් ඉදි කිරීමට කණු සිටුවීම හා ඒවා කඩා වැටීම එම ජවනිකාවයි. ඒවා කලාත්මක අධි යථාර්ථවාදයන්ට වඩා ශිල්පීය අධියථාර්ථවාදයන් ලෙස සැලකිය හැකි ය. එහෙත්, කලාත්මක අධි යථාර්ථවාදයට උදාහරණයක් ද චත්‍රක් චිත්‍රපටයෙන් ම සොයා ගත හැකි ය. ඒ චිත්‍රපටයේ අවසාන දර්ශනයයි.
මිනිස් කසල හා වනචාරී ලිංගිකත්වය ද විමුක්තිගේ සිනමා ඇස නිරන්තරයෙන් යොමු වන රූප අතර තිබේ.
සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ ද, වකුගඩු විකුණන, මිළ දී ගන්නා, ගලවන, විකුණන, කොමිස් ගන්නා, ලෙඩුන් දූෂණය කරන, මුදල් පසුපස කෑදර ලෙස හඹා යන, කුණු වෙන්නට බොන, කලහ කරන, මිනී මරන, කුණු වෙන්නට බොන, රස්සාව වෙනුවෙන් කාලකණ්ණිකම් කරන, තමන් කරන්නේ කුමක් ද යන්න නො දත් මිනිස් අවතාර වන් මිනිස්සු ගැවසෙති. ඒ රූප රාමු අතරට සත්‍යය සොයා යන හාමුදුරුවරු, මරණය ගැන අදහස් ආදිය ද මුසු කර තිබේ. එහෙත්, සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ අධි යථාර්ථවාදී දර්ශන පෙළෙහි ආනන්දයෙන් අප වෙත ලබා දෙන ප්‍රඥාව කුමක් ද? කිසිවක් නැත. එහි විශේෂත්වය එයයි.
ඇතැම් විට, කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නට විමුක්තිට අවශ්‍යතාවක් නැතුවා විය හැකි ය. ඔහුත් නො දන්නා දෙයක් ඔහු තවෙකෙකුට කියා දෙන්නේ කෙසේ ද? ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුගේ නො දන්නාකම හා අවුල්සහගත බවයි. එහි ඇති මූසල දෝමනස්සයයි. කාලකණ්ණිකමයි. සත්‍යය අවබෝධ කර දීමට ආගම්වල ද ඇති ප්‍රායෝගික අසමත්කමයි. එය විමුක්තිගේ විවරණයක් ලෙස නො ව, විමුක්ති සමාජ යථාර්ථයට දක්වන ප්‍රතිචාරයක් ලෙස සැලකිය යුතු යයි මට සිතේ.
විමුක්ති කියන දෙය චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ වකුගඩු දොස්තර කැළයට හෝ වෙරළට ගොස් කරන ගුප්ත, වේදනාබර, වෛරී, බියකරු කෑගෑමෙනි. විමුක්තිගේ පණිවුඩය එයයි. චිත්‍රපටයේ සමස්තය කැටි වන්නේ ඒ අමානුෂික හඬ තුළ ය. විමුක්තිගේ ප්රකාශනය එයයි.
චිත්‍රපටයේ අවසාන ජවනිකාවේදී අසාමාන්‍ය තැනක ඕමි ගසන සිව්දෙනාගේ දර්ශනය විසින් ඔහු අප ඇලුම් කරන සම්මත කතා කලාවට ද අභියෝගයක් කරන්නේ යයි මට සිතේ. එක එක කතා!
චරිත විග්රහයත්, සමාජ විවරණයත් වැඩක් නැත. කතාත් වැඩක් නැත. කිසිවෙක් කිසිවක් නො දනිති. කිසිවක කිසිවක් නැත.
විමුක්තිගේ සුළඟ ගිනි අරන් චිත්‍රපටය රස විඳීමට එවැනි මානයක් නිර්මාණය කර ගත යුතු ය. කලාකරුවා නිර්මාණයක් කරන්නේ ඔහු යමක් දන්නා නිසා හෝ ඔහුට යමක් කියන්නට තිබෙන නිසා ම නො විය හැකි ය. ඔහුට ඔහුගේ අවුල අපට ප්‍රකාශ කළ හැකි ය. එවිට අප සහෘද වන්නේ ඔහුගේ වියවුල සමග ය. අප කරන්නේ ඔහුත් සමග අපත් අවුල් වීමයි.
වින්සන්ට් වෑන් ගෝ ඔහුගේ අවුල් මනසෙහි විචිත්‍ර අන්දමින් චිත්රණය වූ යථාර්ථය අප හමුවේ තැබුවා සේ විමුක්ති ජයසුන්දර සිය අවුල් මනසෙහි කාලකණ්ණි මූසලකම අප හමුවෙහි තබයි.
යථාර්ථය ගැන දන්නා දේ, දාර්ශනික හා පෞද්ගලික විග්රහ ඉවත දමා ෆුල් අවුල් වන්නට සුළඟ ගිනි අරන් බලන්න.
-w3lanka-