ඊයේ හවස වෝටර්ස්එජ් එකේ තිබුණු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ අංගයක් විදියට අපේ Unnamed Theater Group එකේ 'ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟමු' කෙටි නාට්‍යයටත් ආරාධනා ලැබිලා තිබුණා. රාජ්‍ය නාට්‍ය උළෙල සහ යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන ගණනාවකට පාත්‍ර වෙච්ච 'ධර්මිෂ්ඨෙ' ගැන ආයෙත් කතාබහක් ඇති කරන්න ලැබිච්ච හොඳ අවස්ථාවක් නිසා අපිත් සම්මාන උළෙලට ගියේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව.
හැබැයි 'ඉවෙන්‍ට් වලටයි එක එකාට ආතල් දෙන්නයි අපි නාට්‍ය කරන්න ඕන නැහැ' කියල නිලංකයා කට කැඩෙනකල් කියද්දි පවා මේ වැඩේ කොහොමහරි කරන්න ඕන කියන මතයේ මම හිටියෙ මේක අපට පෙන්නන්න ලැබෙන ප්‍රේක්ෂකාගාරය සුවිශේෂ එකක් නිසා. බ්ලොග්කාරයො කියන්නෙ සමාජයට කිසියම් මතයක් එකතු කරන්න පුළුවන් බලපෑම් කරන්න පුළුවන් පිරිසක් නිසා. අනික ගිය අවුරුද්දෙත් මේ විදියටම බ්ලොග් සම්මාන උළෙලට අපේ 'ආණ්ඩුවෙ රස්සාව' නාට්‍යය පෙන්නන්න ලැබුණු නිසා ඒ ගැන සැලකිය යුතු තරමේ කතා බහක් සයිබර් අවකාශයේ ඇතිවුනා. ඒක නාට්‍යයකට සෑහෙන වැදගත් දෙයක්. දහසකුත් බාධක මැද අපේ උන්ගෙනුත් කුණුබැණුම් අහගෙන හරි අන්තිම මොහොත වෙනකල් මේ වැඩේ කරන්නම ඕන කියන ස්ථාවරයේ හිටියෙ ඒ නිසා.
හැබැයි අවාසනාවකට වගේ නාට්‍යය පෙන්නන්න අපට වෙන් කරල තිබුණු වෙලාවත් එක්ක ඒ බලාපොරොත්තු සේරම ඇස්පනා පිටම දිය කරලම දැම්මා. නාට්‍යය දාලා තිබුණෙ වැඩසටහනේ අවසානයට. ඒ වෙද්දිත් තේපැන් සංග්‍රහය සූදානම් කරල තිබුණු නිසා හොඳටම බඩගින්නෙ හිටපු සම්මානලාභියොයි ආරාධිතයොයි සේරම සංග්‍රහය බුක්ති විඳින්න පටන්ගත්තා. නාට්‍ය පෙන්වන බව දැක දැකත් 'තොපිට ඕන නං පෙන්නගනියව්. අපිට බඩගිනියි.' කියන්නා වාගේ මුළු ඕඩියන්ස් එකම අපි බලන් ඉද්දිම නැඟිටල ගියා. මට ඒ වෙලාවෙ ඇතිවුනේ පුදුමාකාර වේදනාවක් සහ කළකිරීමක්. සේරටම වඩා මාර පිළිකුළක්. බඩගින්නෙ ඉන්න මිනිහෙකුට බුදු බණ කිව්වත් වැඩක් නෑ කියන කතාව නම් සහතික ඇත්තක්!
එළියෙ පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු ටාංටෝං ගාන සද්දෙ මැද කට්ටිය සතුටු සාමිචි කතාබස්වල. මෙතන සිද්ද වෙන්නෙ මොකද්ද කියන එක ගැනවත් කිසිම කෙනෙකුට අවබෝධයක් තිබුණු බවක් පේන්න තිබුණෙ නෑ. මං නිකමට ගණන් කරලා බැලුවා. මුළු සම්මාන උළෙලෙන්ම නාට්‍ය බලන්න ඉතිරි වෙලා හිටියෙ විසිතුන්දෙනෙක් විතරයි. එළියේ මහා ප්‍රේක්ෂකාගාරයක් තේපැන් සංග්‍රහ බුක්ති විඳිමින් සතුටුසාමීචි කතාබස්වල යෙදෙිල ඉන්න අතරෙ අපි විසි තුන් දෙනෙකුට නාට්‍යයක් පෙන්නුවා. මේ හැම පීඩාවක්ම අවමානයක්ම විඳදරාගෙන නාට්‍යයෙ ජීවගුණය බින්දුවක්වත් අඩු නොකර අපේ එවුන් ටික නාට්‍ය කරපු එකට හිසනමලා ආචාර කරනවා.
නාට්‍ය කණ්ඩායමක් විදියට අපට ඊයෙ සිදුවෙච්ච අසාධාරණය කවුරුවත් හිතාමතා කළ දෙයක් කියල මම කියන්නෙ නැහැ. අඩුගාණෙ සංවිධායකයන්ට වත් අපට සිදුවෙච්ච අසාධාරණය හෝ අවමානය ගැන මම වැරැද්දක් කියන්නෙ නැහැ.
ඔවුන් කිසිකෙනෙක් වැරදි නැහැ. නොගැළපෙන තැනකට නොගැළපෙන නාට්‍යයක් පෙන්නන්න ඇවිත් වැරැද්ද කළේ අපිමයි. ඉවෙන්ට්වලට ආතල් දෙන්න නාට්‍ය කලාව ගණිකා වෘත්තියෙ යෙදවූ අපියි වැරදි.
ඊයෙ සිදු උනා නම් සිදු උන එකම දේ සම්මාන උළෙලට අපි බාධාවක් වීම විතරයි.
ඒ වරදට අපිට සමාවෙන්න.! ආයෙ එහෙම වෙන එකක් නෑ.
ස්තූතියි.!
- Damith Welikala -