ලස්සන වසිලිස්සාගෙං පටං ගත්තාම අපරාධය සහ දඬුවම වෙනකං අපි කියවපු රුසියන් පොත් ගාණ අනන්තයි. අප්‍රමාණයි. ආපස්සට හැරිලා බැලුවාම කල්පණා වෙන්නෙ ඒ එකම රුසියන් පොතක්වත් කියෙව්වෙ සල්ලි දීලා අරගෙන නෙමෙයි. පස්සෙ කාලෙක තමයි අපි දැන ගන්නෙ ඒක සෝවියට් ප්‍රොජෙක්ට් එකක් කියලා. ක්‍රිස්තියානි පල්ලිය කඩුව එක අතකටයි කුරුසෙ එක අතකටයි දීලා ලෝකය ශිෂ්ඨ සම්පන්න කරන්න මිෂනාරි පූජකයො එව්වා වගේ සෝවියට් රුසියාව කොමියුනිස්ට් වාදෙ ව්‍යාප්ත කරන්න අපිට තමුංගෙ වියදමෙන් කියවන්න පොත් අච්චු ගහල එවනවා.
පෙනිසිලීන් වල ඉඳලා පෝලියෝ එන්නතේ ඉඳලා හයිබ්‍රිඩ් කාර් වෙනකං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වෙනකං දේවල් හොයා ගන්න ලෝකය ලස්සන තැනක් කරන්න දහදිය කඳුළු එක්ක අපමණ කැප කිරීම් කරපු මිනිස්සු ගැන නොදන්න අපි සමොවාරයෙං උණු කෝපි වැක්කෙරෙන විදිය ගැන, යෝධ පොප්ලර් ගස් ගැන හොඳටම දන්නෙ අන්න ඒ නිසයි. ආතල්ම කෑල්ල තමා රුසියාවෙං පිනට අච්චු ගහලා එවපු පොත් වලිං ආධ්‍යාත්මය පුරව ගත්තු වහල් ජීවිත "ධනවාදය විසින් ඔබේ මනස පාලනය කිරීමට යොදා ගන්නා දෘෂ්ඨිවාදයන්ගේ භයානක කම" ගැන ලොරි ටෝක්ස් දෙන එක. ඒක මරුම සාකාස්ම් එකක්.
ඉතිං එහෙම දේවල් වලට ආධ්‍යාත්මිකව ආදරය කරන පරම්පරාවකට ඒ සුන්දර සුරංගනා හීන වලට වඩා වෙනම තිබ්බ මකන කෑල්ල පැන්සලේ පිටිපස්සෙං ගහලා එකක් විදියට හදලා විකුණන්න පටං ගත්තු මනුස්සයගේ මෙහෙවර විශාලයි කියලා කියල දෙන්න අමාරුයි. අපි කාලයක් තිස්සෙ ඒ අය ගැන වදවුනා වැඩී වගේ. වෙනස් කරන්න බැරි දේවල් එහෙමම තිබුනාවේ. කඳුළු ගෑස් කෑවාවේ. සතියකට සැරයක් කොළඹ ඇවිත් නාගත්තාවේ. උපන්නාට ජීවත් වෙලා මැරිලා යන වාමාංශික විහිළු එක්ක හැප්පෙනවාට වඩා හොඳයි කියල හිතුනා රියැලිටි ෂෝ එකක් බලන එක. රියැලිටි ෂෝ කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ නේ. කවුරු හරි එකෙක් ඇවිත් සින්දුවක් කියනවා. ජජ් බෝඩ් එක හොඳද නැද්ද කියල තෝරනවා. මේකත් එහෙම එකක් තමා. මේකෙ නම Shark tank
හැබැයි මේක ටිකක් වෙනස් රියැලිටි ෂෝ එකක්. මේකෙ ජජ් බෝඩ් එකේ ඉන්නේ සෙල්ෆ් මේඩ් මිලියනියර්ස්ලා පස් දෙනෙක්. ගොඩක් කාලෙකට ඉස්සර මාලු කාරයො වේටර්ලා වගේ රස්සාවල් කරලා පස්සෙ තනියම දියුණු වුන අය. මේකට එන තරග කාරයො සින්දු කියන අය නෙමෙයි. එයාලා එන්නේ බිස්නස් එකක් එහෙම නැත්නම් බිස්නස් අයිඩියා එකක් අරගෙන. ඒක දියුණු කරන්න ෂාක්ලාගෙන් මුදලක් ලබා ගන්න පුලුවං. ඒ වෙනුවට ව්‍යාපාරයෙන් කොටසක් ෂාක්ලා අයිතියට ගන්නවා.
කොන්දේසිය තමයි තරගකරුවාට අවමය ලෙස තමුන් ඉල්ලන මුදලවත් අර ගන්න සිද්ධ වෙනවා. ඊට අඩුවෙං බෑ. හැබැටි ශාක්ලාට පුලුවං Equity එක වෙනුවෙන් වැඩි අගයක් ඉල්ලන්න. ලස්සන බාගේන් එකක්. ඒ අය හැමෝම එතනට එන්නෙ ඇමරිකන් ඩ්‍රීම් එක වෙනුවෙන්. ඒ කියන්නේ තමුං ව්‍යාපාරයක් අරඹලා ධනය නිපදවන උපදවන ක්‍රමයක් හදලා රැකියා කිහිපයක් බිහි කරලා බදු ගෙවලා රටට වැඩක් ඇති මිනිහෙක් වෙනවාය කියන ඇමරිකන් ඩ්‍රීම් එක වෙනුවෙන්.
මාක්ස්ට වඩා අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ කියවීම් තත්කාලීන සමාජ විකාශනයේ බලපෑමට ඓන්ද්‍රීය ලෙස බලපාන්නෙ කොහොමද කියලා විග්රහ කර ගන්ඩ ඕනෙ නං ලංකාවෙ තරුණ පිරිස් සෑහෙන්න ගාණක් හොයා ගන්න පුලුවං. ඔය කොළඹ අවට ජොයින්ට් කිහිපයක්ම තියෙනවා හැන්දෑවෙ හතරට පහට ගියොත් ඒ වගේ ලොරි ටෝක් සෑහෙන්න ප්‍රමාණයක් හොයා ගන්න පුලුවං. ඒත් මනුස්ස ජීවිතේ වඩා හොඳ දෙයක් කරන්න තමුන්ට තමුන්ගෙ වට පිටාව අයට වඩා හොඳ ජීවිතයක් ප්‍රායෝගිකව හදලා දෙන්න තමුන්ගෙ වටපිටාවෙ මින්ස්සු පීඩා විඳින ප්‍රශ්නයකට විසඳුමක් හොයලා දෙන්න. ඒ තරුණයොන්ට තියෙන දැනුම සහ ආකල්ප මෙහේ අයගේ ඒවා එක්ක සසඳන්න ඕනෙම නෑ. ඒක නරක හීනයක් වෙයි. ඒ විදියට හිතන රටක් ලෝකයේ බලවත්ම රට බවට පත්වීමත් "මානව ඉතිහාසයේ සිට ගොඩ නැගුණ දැනුම මානවයාගේ අයිතියකි. එය විකිණීම අවුලකි" කියලා මැරෙන්න හදන තරුණයො ඉන්න රටක් තුන්වෙනි ලෝකෙ රටක් වීමත් කිසිසේත්ම අහම්බයක් නෙමෙයි ඉතිං
- රවීශ තිලකවර්ධන -