මේක, මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැදියක කතාවක්. කවරයේ කළු පාටින් පේන ගැහැනු රූපයත්, පාට තුනකින් තියෙන පිරිමි රූපත් මේ කතාවේ සාරාංශය සංකේතවත් කරනවා. තුන් විදිහක, තුන්දෙනෙක්ගෙන් ලවින්දි තමන්ගෙ ජීවිතය පාට කරගන්න උත්සහ කළා.
මේ පොතේ එන චරිතවල, තීරණාත්මක අවස්ථාවලට සෘජුව හෝ වක්‍රව සමාජයේ දේශපාලනමය බලපෑම් ඇතිවෙනවා. ඒ වගේම බැහැර කරනවායැයි කියලා පෙන්වන සමාජ සම්ප්‍රදායන්ටත් මේ හැම චරිතයක්ම නතු වෙනවා.
කතුවරයා ඒ ඒ චරිතයට තෝරාගෙන තියෙන භාෂා රටාව එකිනෙකට වෙනස් වෙනවා. ආරම්භයේම කතාව කියවගන්න පුළුවන් සරල, සැහැල්ලු බව එන්න එන්නම සංකීර්ණ වෙනවා. උදාහරණයකට දේශපාලන ක්‍රියාධරයා ගැන ලියැවෙන කොටසෙදි ඒ චරිතයේ තියෙන අවිවේකීබව, කලබලකාරීබව වගේම තමාගෙ නම රැකගෙන කතා කරන්න බලන උත්සහය පවා අපිට දැනෙන්න ගන්නවා.
සැමියා හැර වෙනත් පිරිමි තුන් දෙනෙකුගෙනුත් නොලැබුණ, තමන් බලාපොරොත්තු වුණ සෙනෙහස සමලිංගික කාන්තාවකගෙන් ලවින්දිට ලැබුණද කියන මානයට කතුවරයා අපිව තල්ලු කරනවා.
වෙන පොත්වල පිටු ගණන් ලියලත් හඟවන්නට බැරි ශෘංගාරයක් එක වාක්‍යකට කැටි කරලා ලියන්න කතුවරයා සමත් වෙනවා. මේ මන්දාකිනියෙ ඉන්න හැම මනුස්සයෙක්ම තනි වෙන්න බයයි. සමහර වෙලාවට ඒ බයම තමන්ව මරණය කරා මෙහෙයවනවා.
කවුරුහරි කෙනෙක් මේ පොතේ ටිකක් කියවලා ඉතිරිය පසුව කියවනවා කියලා හිතනවා නම් මං ඒ අයට අනතුරු අඟවන්න කැමතියි, කතාව ගලාගෙන යන ප්‍රවාහයට හසුවුණ ඔබට ඉන් ගැලවෙන්න හිතනවත් බැරිවේවි ! ඒ ලිවීම් ශෛලිය ඒ තරම්ම රසවත්.
නදීකා සෙනෙවිරත්න