පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ශ්‍රී ලාංකික කතුන්ගෙන් 90%ක් පමණ දෙනා එම ප්‍රවාහන සේවා තුළදී ලිංගික හිංසනයන්ට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කළ සමීක්ෂණයකදී හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භවිය.
වයස අවුරුදු 15-35 අතර කාන්තාවන් 2500ක් යොදා 2015 වසරේදී මෙරට සියලු පළාත් ආවරණය වන ලෙස මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර මෙම සමීක්ෂණ අධ්‍යයනයේදී කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට පොදු ප්‍රවාහන සේවාවලදී ඇතිවන බොහෝ ගැටලු හේතුවෙන් කාන්තාවන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ක්‍රමයෙන් පහළ වැටෙමින් පවතින බවද එම සමීක්ෂණ වාර්තා සඳහන් කර තිබුණි.
පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී වැඩිදුරක් හා වැඩිම කාලයක් ගතවන ගමනාත්තවලදි හිංසනයන් සිදුවීම වැඩි වී තිබේ. මේ අන්දමේ ලිංගික හිංසනයන්වලට ලක්වූවෝ සියයට 76ක් කෝපයට පත්වූහ. සියයට 68ක් අවමානයට හා ලැජ්ජාවටත්, සියයට 48ක් බියටත්, සියයට 45 පහත් තත්ත්වයට ඇද දමන ලද බවත් හැඟුණි යැයි කියා සිටියහ. පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවෝ හිංසනයට ලක්වන අයුරු දැක ඇතැයි සියයට 82ක් දෙනා ප්‍රකාශ කළහ. පොදු ප්‍රවාහන සේවාවලදි සිදුවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පිළිබඳ නොදන්නා බව සියයට 74 පවසා ඇත.
ලිංගික හිංසනයන්ගෙන් තොර රටක් බිහි කිරීමට මේ සමීක්ෂණයේදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇත.
ඒ අනුව පොදු ප්‍රවාහනය හා සම්බන්ධ මෙහෙයුම් හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව සැලිකිලිමත්වීම, ප්‍රතිචාර දැක්වීමේ හා පැමිණිලි විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, කාන්තාවන් හා ගැහැනු ළමයින් සිය හඬ අවදි කිරීම සඳහා බලාත්මක කිරීම, අසල සිටින්නන්ගේ මැදිහත්වීම දිරි ගැන්වීම, රියදුරන් හා කොන්දොස්තරවරුන් ප්රශ්නය කරෙහි සංවේදී කරවීම කළ යුතුව ඇත.
පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.
සියලු පුරවැසියන් මහජන ප්‍රවාහන තුළ සිදුවන මෙවැනි හිරිහැර වැළැක්වීමට ක්‍රියා කරමින් අපගේ මව්වරුන්ට සහෝදරියන් හා දියණියන් සඳහා ආරක්ෂා සහිත බව සමාජයක් නිර්මාණය කිරීමට දායක විය යුතු'බව 'මිරර් ආට්ස්' අප ද අවධාරණය කර සිටින්නෙමු.