කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරීන් (කේට්) කුමරිය සහ ආදිපාදවරයා වන විලියම් කුමරුට දාව මෙළොව එළිය දුටු රාජකීය පුත් කුමරා රෝහලෙන් නික්ම කෙන්සිංග්ටන් මාළිගය වෙත රැගෙන යාම බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ සවස (24දා) සිදුවිය.
බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව.11.01 ට මෙළොව එළිය දුටු කුමරාගේ පැමිණීම ඇසීමෙන් ඔහුගේ වැඩිමහලු සහෝදරයා වන ජෝර්ජ් කුමරු සහ නැගෙණිය වන චාර්ලට් කුමරිය මහත් සේ සතුටට පත්වූ බව මෙම අවස්ථාවේදී වඩාත් සතුටට පත්ව සිටි විලියම් කුමරු මාධ්‍ය හමුවේ පැවසීය.
ඊයේ උදෑසන 6.00ට රෝහල්ගත කළ කේට්, ඉන් පැය 5ක් ඉක්ම යෑමටත් පෙර පුතු බිහිකළ නිසා ලෝකයට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවූ බවට රෝහල අසළ කඳවුරු බැඳසිටි මාධ්‍යවේදීන් හමුවේ විලියම් විහිලුවක්ද කළේය.
ඔහුගේ උපත පිළිබඳ රාජකීය ප්‍රවෘත්තිය නිල වශයෙන් ඉදිරිපත් කෙරුණු අතර, පුත් කුමරාට යොදන නම ඉදිරියේදී කෙන්සිංග්ටන් මාලිගය විසින් දැනුම්දෙනු ඇති බවද පැවසුණි.
රාත්තල් 8යි, අවුන්ස 7ක් බරින් යුතු පුත් කුමරා රැගෙන කේට් කුමරිය සහ විලියම් කුමරා සෙන්ට් මේරීස් රෝහලේ, ලින්ඩෝ වින්ග් දොරටුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවය.
ඔවුන් දෙදෙනා වඩාත් සතුටින් සිටි අවස්ථාවක් ලෙස එම අවස්ථාව විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා දුන් අතර, මීට පෙර ජෝර්ජ් සහ චාර්ලට් ඉපදුණු මොහොතේ ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණි අතීත සිදුවීම්ද සිහිපත් කරන්නට විණි.
විලියම් කුමරා සහ කේට් කුමරිය ඊයේ සවස 6.00ට පමණ සිය පුත් කුමරාද රැගෙන රෝහලෙන් පැමිණ කෙන්සිංග්ටන් මාලිගය බලා පිටත්ව ගියහ.