ශ්‍යාමා සමරසිංහ - දිනමිණ පුවත්පත වෙනුවෙන් කළ සංවාදයකි.
නාට්‍ය, කෙටිකතාව, නවකතාව, කවිය, ගීත රචනය, ගුවන්විදුලි නාට්‍ය, තිර රචනය හා අධ්‍යක්ෂණය ආදී අංශ කිහිපයක් ඔස්සේ සිය නිසඟ හැකියාව විදහා දක්වන හේ ප්‍රකට කලාකරුවකු සේම නිදහස් පුවත්පත් මාධ්‍යවේදියකු වන කපිල කුමාර කාලිංගයි. ඔහුගේ හයවෙනි කෙටිකතා සංග්‍රහය ‘ගේට්ටුව ළඟ නතර කළ රථය’ යි. ඔහු සමඟ යෙදුණු සල්ලාපය මෙසේ දිග හරිමු.
කෙටිකතාව යනු කුමක්දැයි යන්නට ඔබ අර්ථකථනය කරන්නේ කුමක්ද ?
සාහිත්‍යය කියන පොදු විෂයය ගත්තාම එහි තියෙන, මනරම් හා විචිත්‍ර ආඛ්‍යාන ශෛලිය තමා කෙටිකතාව කියන්නේ. 1824 ට කලින් තිබුණේ කතන්දර ලිවීමේ කලාවක්. නමුත් ඊට පසු කාලයේ එහි හැඩය වෙනස් වුණා. ආඛ්‍යාන හැඩයකට ආවා. කෙටිකතාවටම විශේෂ වූ ලක්ෂණ සහිතව විචිත්‍ර වූ ආඛ්‍යානය කෙටිකතාවයි. මේක කේවල ධාරණාවක් තුළ ලියවෙන විශේෂ හැඩයක් තියෙන සාහිත්‍ය නිර්මාණයක්. කෙටිකතාව තුළ නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඒක තමයි මේකෙ තියෙන මැජික් එක. කෙටිකතාවේ තියෙන අපූර්වත්වයත් ඒකමයි.
ඔබේ ‘ගේට්ටුව ළඟ නතර කළ රථය’ කෙටිකතා සංග්‍රහය තුළ සංකීර්ණ මනෝභාවයන් මතු කරනවා. ඔබ මේ කාර්යයට පෙලඹුණේ කොහොමද ?
මං ලබපු අත්දැකීම් තමයි. මේක මම දීර්ඝව ලිව්වා නම්, සිනමා තිර නාටකයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙටි චිත්‍රපටයක් කරන්නත් පුළුවන්. නමුත් මම මේකට තෝර ගත්තෙ කෙටිකතාවයි. ඒකට හේතුව තමයි, පාඨකයන්ට වඩාත් දනවන්නට පුළුවන් මාධ්‍යයක් වීමයි. හුදෙකලා ආත්මභාවයක තියෙන මනෝභාවයන් වඩාත්ම දනවන්න පුළුවන් වෙන්නේ කෙටිකතාවෙන්. කෙටි කතාව තුළ භාෂාව ප්‍රබල සාධකයක්. ඒ වගේම යොදාගත් වචන සහ ඒ අවස්ථාව ඉතා ප්‍රබලයි. උඩ තට්ටුවක තනිවෙලා ඉන්න වියපත් කාන්තාවක් ගැන මෙහි කතා කරනවා. එයා මුළු ලෝකයම දකින්නේ උඩ තට්ටුවේ කවුළුවෙන්. ඇගේ මනෝභාවයන් හා ජීවිතේම මම වර්ණ ගැන්වූවේ භාෂාවෙන්. ඒක කෙටිකතාවේ තියෙන අපූර්ව බවක්. එය කවියකට සමානයි. කෙටිකතාවේ ඇතැම් තැන් කාව්‍යමය බවින් යුක්තයි. මේ කාව්‍යමය බවින් එහි තියෙන සංකීර්ණත්වය හා ගැඹුර ඉස්මතු කරන්න පුළුවන්. ඒවගේම පාඨකයාට, ලේඛකයාගේ තියෙන හැඟීමම දනවන්න පුළුවන්. ඒක තමයි මෙහි තියෙන ශිල්ප ක්‍රමය.
කෙටිකතා ලිවීමේ ශිල්ප ක්‍රම ඔබ හසුරුවන්නේ කොහොමද ?
මම වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ කෙටිකතාව එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒ වගේම කෙටිකතා විශාල ප්‍රමාණයක් කියවනවා. මේවගෙන් එන ආභාසය නිසා කෙටි කතාවේ ඇතැම් ශිල්ප ක්‍රමවලට මම ආසක්ත වෙනවා. නමුත් මං කැමැති වඩාත් අධි තාත්වික ගුණයටයි. මගේ පරිකල්පනයට වැඩිපුර ඉඩ දීලා, පාඨකයාටත් අපූර්වත්වයක් ලබා දෙන්නයි මම උත්සාහ කරන්නේ. කතන්දරයක් විදියට එකම දේ නොකියා ඉන්නයි මම උත්සාහ කරන්නේ. මේ ශිල්ප ක්‍රම නිසා කෙටිකතාව තවත් රසවත් වෙනවා. මේ ආදී ලෙස මටම ආවේණික වූ ශිල්ප ක්‍රමවලට මම නිරායාසයෙන්ම යොමු වෙනවා.
ඔබේ අපූර්වතම වූ මේ කෙටිකතාවලට වස්තු විෂයයන් තෝරා ගන්නේ කොහෙන් ද ?
මේ කෙටිකතා පොතේ තියෙන කෙටිකතා දහය අතරින් සමහර ඒවා වසර දහයක් තිස්සේ ලියවුණු ඒවා. සමහර කතා වස්තූන් මගේ හිතට ආවම මම ඒවා සටහන් කර ගන්නවා. පසුකාලීනව ඒ සටහන් කියවනකොට මට ඒවා ලියැවෙනවා. සමහර ඒවා මම වසර පහකට කලින් තෝරාගත් ඒවා. නමුත් ලියැවෙන්නේ මෑතකදී. සමහර දේවල් හිතේ තැන්පත් වෙලා තව අත්දැකීම් එකතු වෙලා. එතකොට හිතෙනවා පසුව ලියැවුණු එකයි හොඳ කියලා.
ඔබේ කෙටිකතා ලිවීමේ ක්‍රියාවලිය කුමක්ද ?
මම මේවා වරින්වර ලියනවා. එක දවසකට පිටු තුන හතරක් ලියලා නවත්වනවා. සමහර වෙලාවකට මම ඒකට අතගහන්නේ වසරකට පස්සෙයි. සමහර ඒවා එක තැන නැවතිලා. මුලදී ලියනකොට හිතේ තිබ්බ අවසානය නෙවෙයි, පස්සේ ලියනකොට ඒවා වෙනස් වෙනවා. සමහර ඒවාගේ අද පටන් ගත්තනම්, දෙවැනි කොටස ලියැවෙන්නේ හෙට. කොහොමහරි ලියලා ඉවර වෙනකම් මට නිදහසක් නෑ. මගේ “අතුරුදහන් වූ ගැහැනිය” කියන නිර්මාණ මගේ යටි හිතේ නිර් මාණය වුණු දෙයක්.
නිර්මාණයක් අවසන් කළාම සංස්කරණ ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද ?
ව්‍රිටින්ග් ඉස් ර්‍එව්‍රිටින්ග් කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ලිවීම යනු නැවත නැවත ලිවීමයි. ඇන්ටන් චෙකෝෆ් ඇතැම් කෘතිවල පේළි පිටින්ම කපා දාලා තියෙනවා. ඒ වගේම මමත් කෙටිකතාවක නම්, පළ කරන්නත් කලින් අඩුම තරමේ දෙවතාවක්වත් සංස්කරණයට ලක් කරනවා.
ඔබ අත් සියයක් තියෙන ලේඛකයෙක් වගෙයි. සෑම නිර්මාණාත්මක අංශයක්ම ස්පර්ශ කරනවා. මේ ආකාරයට ලිවීම පවත්වාගෙන යන්නේ කොහොමද ?
ඒක මගේ සතතාභ්‍යාසයයි. පාසල් යන කාලයේ මම චිත්‍රවලට දක්ෂ ළමයෙක් විදියටයි ප්‍රසිද්ධවී හිටියේ. ඊට පස්සේ මම කියවන කෙනෙක් වුණා. කියවීමත් එක්ක මම ලියන්ට පෙළඹුණා. මම නාට්‍ය බලනකොට, මට නාට්‍ය කරන්න හිතුණා. මම කොළඹට එන්නේ, පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කරන්නයි. ඒ අතරේ මම පළමුවෙන්ම කළේ නාට්‍යයක්. ඊට ගොඩක් කලකට පස්සේ පළමුවැනි කෙටිකතා සංග්‍රහය කළා. නමුත් ඒ අතර වෙනත් වෙනත්, මාධ්‍යයන්ට යොමු වුණා. ගීත රචනා කළා. තිර රචනා කළා. ඒ ඒ යුගවල සමීපව හිටපු පුද්ගලයන් සහ ආයතන නිසා ඒ දේවල් කරන්න මාව පෙළඹුණා. මම නවකතා ලියන්න පෙළඹුණේ අවුරුදු පනහක් ගෙවුණටත් පස්සෙයි. මේ රටේ එක් එක් යුගවලදී එක් එක් සමාජ, ආර්ථික, දේශපාලන වාතාවරණය විසින් මට යෝජනා කළ දේ අනුවයි මම ඒ ඒ නිර් මාණවලට යොමුවුණේ. ඒවගේම මට උප්පත්තියෙන්ම යම්කිසි හැකියාවක් තියෙනවා කියලත් මම විශ්වාස කරනවා.