අජිත් ජීවමානව මට ඉස්සරලාම හම්බවුනේ, මරදානේ. සෝමෙ අයියා ( සෝමපාල හේවාකපුගේ ) බලාකියා ගත්ත එයාගෙ අයියගෙ IPB මුද්‍රණාලයේ. සාහින්‍යකාරයෝ, චිත්‍රපටකාරයෝ, නාට්‍යකාරයෝ කවුරුත් කොළඹ ආවහම ගොඩවෙලා, හිනාවෙලා, ප්ලේන්ටියක් බීලා යන තැන.
ඊට ගොඩක් ඉස්සර ඉදන් මං අජිත්ව අඳුරනවා. ඒත් හිතවත් උනේ ඊට පස්සෙ. එතකොටත්, කොණ්ඩෙ, ඇහිබැම සුදු, කලිසමට යට නොකර අත්කොට කමිසය අඳින මේ මනුෂ්‍යයාගෙ ඔලුවෙ ‘චන්දරේ’ මැවුනෙ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බැහැ. මං ‘චන්දරේ’ ට ආදරය කළා. ‘පාර දිගේ’ චන්දරේට ලව් කරපු මං වගේ අපේ පරම්පාරාවේ අය අතර චතුර (ජයතිලක), සර්පයා (සමන්) ප්‍රධානයි.
චතුර අජිත්ගෙ අකුරු ශෛලියම තමන්ගෙ රචනාවලට යොදාගත්ත කෙනෙක්. ඌ දැන් ලියන්නෙ නැහැ. (මොනවා කරනවාද දන්නෙත් නැහැ). සර්පයා තාම ලියනවා. අජිත්, නවගත්තේගම, සර්පයාගෙ අකුරු වාක්‍ය අස්සෙ ඉන්නවා දැනෙනවා.
මං කඩවත පදිංචි වෙලා ඉන්න කාලෙ, අජිත් එයාගෙ පුෂ්බයිසිකලෙත් පැදගන එනවා හැන්දෑවට - සමහර දාට - අපේ ගෙදර. හැන්දෑව, දවාල කියලා වෙනසක් නැහැ. ලා පාට අත් කොට කමිසයට තද පාට දිග කලිසම, සැන්ඩ්ල්ස් පාවහන් දෙක.
ඒ කීයටවත් ‘චන්දරේ’ නෙවෙයි. චන්දරේ ඉන්නෙ සුදු කෙස්වලින් වැහුන ඒ ඔලුව ඇතුලෙ. ඒ ඇඳුම් විලාසිතාව ඇතුලෙ චන්දරේ කෙනෙකුට ඉන්න බැහැ.
අලුතින් අලංකරණය කෙරුණු කොළඹ නගරයේ පාරවල්වල, ජෙල් ගා කොණ්ඩය සකසා ගත්, ටැටූවලින් ඇඟ සරසා ගත්, ඇඟලුම් ෆැක්ටරිවලින් විසිකරන branded ඇඳුම් අඳින තරුණ තරුණියන් අතරින් අජිත් සිය බයිසිකලය තල්ලුකරගෙන ගියොත්, ගොඩයා වාගේ පේන්නෙ අජිත්. ඒත් ඔලු ඇතුලට රිංගලා බලපුවාම, මොඩ් වගේ පෙනෙන ගොඩයො රොත්තක් මැද්දෙ හොයාගන්න පුළුවන් එකම නාගරික ඔලුව අජිත් බව වැටහේවි.
සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම මීට කලකට පෙර ලියූ සටහනකි.