lan englan tam

පුවත්

අඩ නිරුවතින් රිදී තිරය සැරසූ 'වනමෝහිනී'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පෙරදා හින්දි සිනමාවේ භගවාන් ප්‍රකට විකට නළුවෙකි. දක්ෂ නර්තන ශිල්පියකු හා චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයකුද වන ඔහු ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් කළේ දකුණු ඉන්දියාවටය. 1941 දෙසැම්බර් 24 වැනිදා තිරගත කරන ලද එම චිත්‍රපටය “වනමෝහිනි” නම් වෙයි. එහි කතාව රචනා කළේත් අධ්‍යක්ෂ භගවාන්ය.

මෙම චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක(ද ජංගල් ප්‍රින්සස් 1936) ඩොරති ලැමූර් රඟපෑ වනලියගේ චරිතය පාදක කොටගෙන තිබිණි. එහි අඩ නිරුවත් රංගනයක් විය. එවන් චරිතයක් රැගත් පළමු ආන්දෝලනාත්මක දෙමළ චිත්‍රපටය වන “වනමෝහිනි” ය.

කතාවේ හැටියට වසර කිහිපයකට පෙර ගුවන් යානා අනතුරකින් අතුරුදන් වූ තම මාමා, නැන්දා හා ඔවුන්ගේ සිඟිති දියණිය සොයා කැලෑවදින තරුණයෙකි. එහිදී ඔහුට මෝහිනි නම් වනලියක් හමුවෙයි. ඇය සමඟ ප්‍රේමයෙන් වෙළෙන ඔහු එම වනයේම වෙසෙන තරුණ කන්‍යාවියන් දූෂණය කොට බිලිපූජා පවත්වන ගෝත්‍රික නායකයකු පලවා හැරීමටත් සිදුවෙයි. අවසානයේ මෝහිනි තම ඥාති දියණිය බව දැන ගත්තා තරුණයා ඇයව විවාහ කරගනියි.

මෙම චිත්‍රපට කතාවේ නිළිය වූයේ කේ. තවමනි දේවිය. ලංකාවේ වැදගත්, ධනවත් පවුලක සාමාජිකාවක වූ ඇය ඉන්දීය දෙමළ සිනමාව ආක්‍රමණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි.

ඇගේ අඩ නිරුවත් රඟපෑම් සහිත වනමෝහිනි චිත්‍රපටය මෙරට පෙන්වද්දී සිනමා තිරයට ඇගේ සොහොයුරකු පිහියකින් දමා ගැසූ පුවතක් පැරැන්නෝ කියති.

මෙම චිත්‍රපටයේ තවමති දේවි සමඟ රඟපෑ සෙසු රංගන ශිල්පීන් එම්.කේ. රාධා, එස්.එස්. කොකෝ, කොලතුමනි, ටී.වී. ක්‍රිෂ්ණසාමි, කමලා බායි, කේ.ටී. සක්කු බායි, බේබි රුක්මණි, හා චන්දු නම් හස්තියා වූහ. නිෂ්පාදකවරයා එන්. විශ්වනාත අයියාර් ය.

දෙමළ වනමෝහිනි චිත්‍රපටය පෙන්වා වසර 17කට පසුව සිංහල වනමෝහිනි චිත්‍රපටය තිරගත කෙරුණේ 1958 දෙසැම්බර් 12 වැනිදාය. මෙහි මෝහිනිගේ චරිතය නිරූපණය කළ නිළිය වූයේ කාන්ති ගුණතුංගය.

සහායක රංගනයෙන් හර්බි සෙනෙවිරත්න, පියදාස ගුණසේකර, හියුගෝ ප්‍රනාන්දු, රිචඩ් ඇල්බට්, මානෙල් සමරනායක, ඇන්තනි සී පෙරේරා. වින්සන්ට් වාස්, ටි්‍රසිලා මර්ටි්‍රස්, ඩේවිඩ් ධර්මකීර්ති, වෝල්ටන් ප්‍රනාන්දු. එස්.ඩී. එළිසබෙත් එක්ව සිටියහ.

සිනමාස් සමාගමේ නිත්‍ය නිළියකව සිටි උදුලා දාබරේ අඩ නිරුවතින් රඟපෑම ප්‍රතික්ෂේප කළ හෙයින් එම චරිතය රෝහිණි ජයකොඩි වෙත පැවැරීම තවත් අතීත සිදුවීමකි.

සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් වෙනුවෙන් ටී.ආර්.සුන්දරම් ප්‍රමුඛව ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කළ වනමෝහිනි කතා පරිවර්තනය හා දෙබස් රචනය හියුගෝ ප්‍රනාන්දු කළේය.

කරුණාරත්න අබේසේකර ප්‍රබන්ධිත ගීත එස්. දක්ෂිණමූර්ති සංගීතවත් කළ අතර ලතා-ධර්මදාස වල්පොළ යුවළ, එච්.ආර්. ජෝතිපාල , ජමුණා රාණි, මොහිදින් බෙග්, කේ. රාණි ගීත ගායනය කළහ. වනමෝහිනි කැමරා ශිල්පියා සුන්දර් බාබුය. සහාය අධ්‍යක්ෂවරයා වූයේ කේ.එස්. සේතුමාධවන්ය.

වනමෝහිනි චිත්‍රපට සාර්ථක ලෙස ප්‍රදර්ශනය කෙරුණු නිසා පී සුබ්‍රමානියම් නමැති ඉන්දීය සිනමාකරුවා මෙම කතාව සුළු වශයෙන් වෙනස්කොට ආනා චලර්තය වානම්පාඩින් මලයාලම් චිත්‍රපටය 1959 නිපදවීය.

එම චිත්‍රපයම දෙමළ හඬ කවා ‘යානෙයි වලර්ත්නවාම්පාඩි’ නමින්ද ප්‍රදර්ශනය කර ඇත. එහි ප්‍රධාන නිළිය මිස් කුමාරි වූවාය. නළුවා ශ්‍රීරාම්ය. එන්.එම්. තම්බියාර් දුෂ්ට චරිතය රඟපෑ වේය.

මුල් වන මෝහිනි කතාව නැවැත ප්‍රති නිර්මාණයක් ලෙස දුටුවේ 1996 දීය. හේමසිරි සෙල්ලප්පෙරුම සිනමාවට කැඳවාගෙන ආ මෙම චිත්‍රපටය ‘මනමෝහිනි’ නම් වෙයි. එහි මෝහිනි වූයේ සබීතා පෙරේරාය. තරුණයා ලෙස රජීව් නානායක්කාර හා ගෝත්‍රික නායකයා ලෙස ඵරංජිත් පෙරේරා රඟපෑහ.

මූලාශ්‍ර : මව්බිම

Back to top
Go to bottom

Popular News