මහරගම ආපිකෝ එක ඉස්සරහ ඉස්සර බාර් එකක් තිබුණ..ඉස්සර කිව්වෙ දැනට අවුරුදු නවයකට දහයකට කලින්..දෑන් ඒ බාර් එක නෑ...
ඕකට ප්රියා සූරියසේන එනව කොට කලිසමක් ඇඳන් හරි සැහෑල්ලුවෙන්..ඇවිත් තනියම බාර් චෙයා එකක වාඩි වෙලා මග් එකක බීර බොන හැටි තාම මතකයි...
අපිත් බාර් එකේ අයිනෙ මේසෙක අඩියක් ගහන ගමන් ඉන්නෙ....අපේ කතාවත් මියුසික් වලින් පටන් අරන් Sex දක්වා දුර දිග යනව...
ප්රියා කියපු සින්දු අපි පෙම්පත් වල ලියල යවල තියනව සෑහෙන්න..හෙන බූට් කාපු ශෝක ජනක රාත්රී ඒ සින්දු ඇතුළෙ දියකරල දාල තියනව..
ඒ අරුමැසි වචන ලිව්වෙ ගීත රචකයො තමයි.ඒත් ඒවගෙ හුඟක් තනු ප්රියාගෙ..
ඒ තනු එයාට ආවේනික රහකට හැඩයකට ගැයුව..ඒක ඉතින් සම කරන්න බෑ..වෙනම ලකුණක්..
සුදු පරවිරෑන සේ... ඇහෙනකොට ඉස්කෝලෙ කාලෙ ආදරයේ මුල් ම පාඩම් කියල දුන්න කෙල්ලො කීප දෙනෙක්ගෙ මූණ තාම මැවෙනව..පස්සෙ කාලෙ තමයි දන්නෙ ඒක ලිව්වෙ සුනිල් ආර් ගමගේ කියල.හෙන දෛවෝපගත විදිහට ඒ සුනිල් ආර් ගමගේ පසු කාලීනව අපේ ගී මගට හෙන සපෝට් එකක් දෙනව..
මගේ ළමැද සුව යහනක්... සින්දුව ඇහෙනකොට අයිතිකරගන්න ආසාවෙන් හිටපු තවත් ගෑනු මූණු ටිකක් මතකෙට එනව..ඒ දවස්වල හිතුනෙ ආදරය කියන්නෙ අයිතිය හඟවන පදයක් කියලනෙ.
මට මතකයි මම කෙල්ලෙකුට ලියල යැව්ව
"ඔබෙ නෙත් දොළොස් මහේ පහන වේ
කළ මැන දල්වන ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්.. "
මේක ප්රේමකීර්ති ලිව්වෙ කියල පස්සෙ දන්නෙ.ඒක නම් පට්ට ම ආරාධනාවක්.කෙල්ලගෙ ඇස්දෙක වර්ණනා කරන ගමන්, පෙර භවයක වියෝගය නිවාගන්න ඒ නෙත් පහන ඉල්ලන එක නම් මාරම ඉන්විටේෂන් එකක්....ඒ දවස්වල ඕව කෙල්ලන්ට ලිව්වෙ මේ තරම් රහක් දැනගෙන නම් නෙවෙයි.ඒත් අපි රහ ම සින්දු කෙල්ලොන්ට යවල..
අඳුර අඳුර මගේ කියන සින්දුව තමයි දැන් මට වැඩිපුර සමීප.
ඒක උපේක්ෂාවක් එක්ක තමන් දෙසටම හැරෙන වෙනස් රහක් තියන සින්දුවක්...ජීවිතේ සමහර විඳීම් පරිපාකයට පත්වෙනකොට තමයි උපේක්ෂාව නමැති කවුළුව ඇරෙන්නෙ.ඒක හරි සන්සුන් ලස්සන මනෝභාවයක්..
දැන් අපි ආසම ඒකට..
මිනිස්සුන්ගෙ හිතේ ලස්සන තැනක හිටිය බවට ලකුණක් තියල යන්න හැමෝටම බෑ.
ප්රියා නැතත් හෙටත් අපි ප්රියා එක්ක ගමන් බිමන් යාවි.සමහර විඳීම් රිදීම් පිරිමැද ගනීවි.අතීත මතක කැලේ ඇවිදීවි..ඊට පස්සෙ අපිත් යන්න ම යාවි..ප්රියා ඔබට ස්තුතියි. .
රවී සිරිවර්ධන