අපේ හෙළ සිනමා රිදීතිරය මත ඔහු තබන්නට සමත් වූ ” මුද්‍රාව” තවමත් අපේ ආදරණිය රසිකයාට අමතකව නැතැයි එය අවිවාදිතය…මනා පෞරුෂයකින් හෙබි මේ අපේ කතාවේ සොඳුරු කතා නායකයාණෝ සිය රංගන ප්‍රතිභාව තුළින් දැඩි සිතැත්තකු පිළිබඳ රසික සිත්සතන්හි තැබූ ප්‍රතිරූපය කෙසේවතුදු සාමාන්‍ය ජීවිතයේදී හෙතෙම සැබැවින්ම හොඳ පියෙකි..හොඳ සැමියෙකි… කාටත් හිත ඇති අයෙකි..
මෙවර සරසවිය මවුපිය වරුණ වෙනුවෙන් ආදරණිය සංලාපයකට නිමිත්ත වන්නේ අසහාය චරිතාංග නළුවකු වන අපේ රෙක්ස් කොඩිප්පිලි මහතා පිළිබඳව ය..
තම ප්‍රේමණීය පියාණන් පිළිබඳ කතා කරන්නට මා සමීපයේ පසුවන්නේ අපේ කතා නායකයාගේ එකම පුත් ප්‍රසන්න කොඩිප්පිලි මහතාය..
මම ඔහුට සවන් දෙමි.
” අපෙ තාත්තාගෙ යහපත් ගතිගුණ අතර මම දැකපු තවත් දෙයක් තමයි තාත්තා කෙනකුට උදව් උපකාර කළාම වම් අත දුන්දේ දකුණු අත දන්නේ නැහැ කියන වටිනා ගුණය…කෙනකුගෙ දුකකදි උණුවන හිතක් අපෙ තාත්තාට තිබුණෙ…”
මිනින්දෝරුවකු වූ බදුල්ලේ දොන් හෙන්රි කොඩිප්පිලි සහ එතෙල් කොඩිප්පිලි මවුපිය දෙපළට හිමි පුතුන්ම තිදෙනකු අතර බාලම දරුවා වූයේ මේ අපේ කතා නායකයාය..ඔහුගේ ලොකු අයියා ස්ටැන්ලි කොඩිප්පිලි වන අතර දෙවැන්නා කිංස්ලි රෙක්ස් කොඩිප්පිලි ය…1938ක්වූ ඔක්තෝම්බර මස 06 දා මෙලොව එළිය දුටු අපේ ආදරණිය රෙක්ස් කොඩිප්පිලි ඉගෙනුමට අතපොත් තැබුවේ බදුල්ලේ ශාන්ත බීට් විදුහලෙනි..දෙවනුව බදුල්ල කතෝලික පාසලේය…
අපේ ප්‍රසන්න යමක් කියන්නට සැරසෙයි..
” අපෙ තාත්තා පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මිලිටරි පොලිස් සේවයට බැඳුණා…මං අහල තියෙන විදිහට එහි ක්‍රියාශීලි නිලධාරියෙක්…යතුරු පැදියකුත් රාජකාරියට දීල තිබුණාලු ..”
මිලිටරි පොලිසියේ රාජකාරියෙහි කලක් නිරතව සිටි ඔහු රස්සාවට සමුදෙමින් කොළඹ පිහිටි සලාකා ව්‍යාපාරයේ කළමණාකාර තනතුරකට පත්ව ආයේය..එතැන විවිධ ක්ෂෙත්රවල නමගිය අයවලුන් එතැනට ආ ගියේය..
එවක නමක් දිනාසිටි නෑකමක්ද ඇති අපේ ඔස්වල්ඩ් ජයසිංහ අපේ කතා නායකයා දැක පැමිණ ඔහු ළඟ නතර වූයේය… චිත්‍රපටවල රඟපාන්නට කැමතිදැයි විමසුමකින් ඔස්වල්ඩ් ජයසිංහ ප්‍රවීණ අධ්යක්ෂවරයකු වන අපේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාට හඳුන්වා දුන්නේය..
” ඔව්..අපෙ තාත්තාගෙ පළමුවන චිත්‍රපටය වුණේ..කතුරු මුවත්…චිත්‍රපටයයි..”
එතැනින් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට දායකවන්නට වරම් ලද අපේ රංගවේදී රෙක්ස් කොඩිප්පිලි පිළිබඳව තුඩ තුඩ පැතිර ගියේය..ඕනෑම චරිතයකට ජීවය දියහැකි මනා හැකියාවකින් පිරිපුන් ඔහු වැඩිදිනක් නොයාම සිනමා රසික ජනතාව අතරට ගියේය..දුෂ්ටයාගේ චරිත රංගනයේදී රසික සමූහයාගේ වෛරයටද බඳුන් වූයේ ඔහුගේ තාත්වික රඟපෑම නිසාවෙනි.
” දවසක් තිස්ස නාගොඩවිතාන මහත්තයා අපට කිව්වා අපේ තාත්තා ගරු රඟපෑම් ඇතුළු චිත්‍රපට ඉහළම සංඛ්‍යාවක රඟපෑවා වගේම රන් කහවණු කියන ටෙලි නාට්‍යයකත් සාජන්ට් නල්ලතම්බි…ශේක්ස්පියර් වේදිකා නාට්‍යවලත් රඟපෑවා කියලා…..රඟපාන්න ගත්තෙ පාසල් වේදිකාවෙන්..හැබැයි..ගායකයකු වුණේ රඟපාන්නත් ඉස්සෙල්ල..ගුවන් විදුලියේ නන්දා මාලනී මහත්මියත් තරඟ කරපු ගායන තරගයකින් අපෙ තාත්තා දෙවන ස්ථානය දිනාගෙන තියෙනවා..ඒ වගේම සාගරිකා චිත්‍රපටයෙත් අපෙ තාත්තා ගී ගැයුවා..”
අපේ ආදරණිය ප්‍රසන්න ප්‍රියමනාප ස්වරයෙන් කියන්නේය…ඔහුගේ හඬ පෞරුෂය මැනවැයි මට සිතෙයි.
අපේ සොඳුරු කතා නායක තෙමේ සැබැවින්ම සංවේදී සිතැත්තෙකි..
” ඒක ඇත්තක්මයි. අපෙ තාත්තාගෙ අම්මා …ඒ කියන්නෙ අපෙ ආච්චි නැතිවූ දවසේ අනේ අපෙ තාත්තා කම්පාවෙන් හඬපු තරම මම මගෙ ඇස්දෙකින් දැක්කා..ඒ තරම් ආච්චියි අපෙ තාත්තායි අතරෙ ලොකු බැඳීමක් තිබුණා ..”
පුතු ප්‍රසන්න කියන්නේය.
සිනමාවේ ඉහළම නාමයකට හිමිකම් කියනා අපේ කතා නායකයාට චිත්‍රපටවල පසුබිමෙහි කටයුතු කරනා හැමකෙනාම පාහේ ඔහුට සමීපව සිටියහ. නිවසෙහි සාදන ලද අහරක්…විදේශයේ හිතවත් අය වෙතින් ලද රස කෑමක් ඔහු ගෙනැවිත් දෙන්නේ එම පිරිසටය..
” අපෙ තාත්තාට ඒ යුනිට් එකේ අයත් බොහොම ගරු කළා. එතරම් අපෙ තාත්තා නිහතමානියි..”
අපෙ කතානායක තෙමේ පැය විසිහතර පුරාම ගතකරන්නට කැමැත්තේ සිත පිරුණු සතුටකින්මය. ඒ බව අපේ පුතු ප්‍රසන්න සිනාබරව කීයේ මෙලෙසටය..
“අපෙ තාත්තා නිතරම ඉන්න කැමති ජොලියෙන්මයි..ඒ එයාගෙ හැටි..හැමතිස්සෙම සතුටින්. ඇත්තම කියන්නම් අමල්..අපෙ තාත්තා ජීවිතය ඉහළින්ම වින්ද කෙනෙක්..මිනිස්සු එක්ක තිබුණු සුහදකම අදටත් බොහෝ අය මතක් කරමින් කියනවා. ”
” කවදාවත් අපෙ තාත්තා අනුන්ගෙ අනම් මනම් සොයන්නෙම නැහැ..ඒ වගේම වෙලාව කිව්වනම් ඒ වෙලාවම තමයි..අට කීවොත් අටම තමයි..”
අපේ ආදරණිය රෙක්ස් කොඩිප්පිලි මිලිටරි පොලිස් සේවයේ යෙදී සිටියදී ඔහුට හඳුනාගන්නට ලැබුණු රූපත් තරුණිය තවමත් ඔහු ඇසුෙර්ය..හේ ඇයට දිවිහිමියෙන් පෙම් බැන්දේය…ඕ තොමෝ එකසිතින්ම ඔහුට පසුවුවද චිත්‍රපට නළුවකු වීම නිසාම ඇයගේ මවුපියන් මේ ප්‍රේම සමබඳතාවට හරස් වූහ. එය මුලදී පමණි. පසුව කැමැත්ත පළවුණි…
අපේ සොඳුරු කතානායක රෙක්ස් කොඩිප්පිලි මහතාගේ ජීවන සහකාරිය වූයේද ඇයමය..ඕ නමින් කැතරින් කොඩිප්පිලි වූවාය..
ඔව්හු අතිනත ගත්තේ 1962 වසරේදීය..
එම විවාහයෙන් පසුව අප ආදරණිය කතා නායක තෙමේ රොෂාන්ති කොඩිප්පිලි …ප්‍රසන්න කොඩිප්පිලි සහ සුරේඛා කොඩිප්පිලි දියණියන් දෙදෙනාට සහ පුතුට ආදරණිය පියෙකුම විය..
” අපට කවදාවත් තාත්තා සැරපරුෂ වෙලා නැහැ..අපේ වරදකදි දඬුවමක් කළත් අනේ..පස්සෙ අපෙ තාත්තා ඒ ගැන දුක හිතිලා අපට තෑගි ගෙනැත් දෙනවා. සොරි කියනවා..මගෙ දරුවන් දෙන්නාට මම සැරවුණත් තාත්තා මා එක්ක උරණ වෙනවා..”
අපේ ප්‍රසන්න ඒ ටික කීවෙි බිමබලාගත්වනම ය..
ඔහුගේ කාලය වැඩිපුර ගතවී යන්නේ නිවසින් පිටවය..ඒ කාර්යබහුල නළුවකු නිසාවෙනි.
නළුවකු වීම ගැන ඔහු බිරිඳ කැතරින් මහත්මිය එතරම් කැමැත්තක් නැත. එහෙත් තමන් තෝරාගත් රක්තා චිත්‍රපටයේ රඟපෑමට යායුතුමය..තවත් අවුලකි. ඒ හිස මුඩුකළ යුතුමය.. ඇයට හොර රහසේ ඔහු එහි රඟපෑමට ගියද හිසමුඩු නොකොට ඉන්දියාවෙන් ගෙන්වන ලද බොරු තට්ටයක් පැලඳවීමට තැත්කළද එය නිෂ්ඵල වී..ඇත්තටම හිස බූ ගා දමන්නටම සිදුවිය. එයට හේ කැමැත්තෙන්ම ඉදිරිපත් විය..රූපගතකිරීම් අහවරව නිවසට පැමිණි කළ සියල්ලෝම පුදුමයට පත්ව බලා සිටින්නට වූ විටදී ඔහු සිනාවකින් මුවසරසා සිටියේය.
දැන් අපේ කතා නායකයාගේ දූ දරුවන්ගේ දූ පුතුන්..නොඑසේනම් රොසෙල් ඩී. සිල්වා ..රයන් ද සිල්වා …ජනිඳු කුමාර දේවගේ..සෙනාරා කුමාරි දේවගේ ඔහුගේ මුනුපුරු මිනිබිරියන් ඔහු තුරුලේමය…
එතෙර වාසය කරන දියණියන් තම මුනුපුරු මිනිබිරියන් සමඟ ආ කළ ඔහුට ඉමහත් ප්‍රීතියකි. තම මවුපියන් තමන් සන්තකයේ තබා රැකබලා ගන්නා පුතු අපේ ප්‍රසන්නගේ දියණිය යලින්දි කොඩිප්පිලි හා පුතු නුරාන් කොඩිප්පිලි තම සීයාගේ තුරුලේම සැනැහෙයි. අපූරුය!
ඒ දරුවන් නටන විට සීයාද දරුවන් හා කරට කර නටන්නේය..ගයන්නේය….. යටගිය රසකතා කියාදෙන්නේය…
විමෝදයට…ගීතයටද වඩාත් පෙම්බැඳී අපේ ආදරණිය රෙක්ස් පැදුරු සාජ්ජ සංගීතයටද ඇලුම් කළේය…රෑ බෝවී නිවසට එනවිට තමන් හොඳීන් දන්නා පැදුරු සංගීත ශිල්පීන් ද රියෙහි නංවා පැමිණ සියළු පහසුකම් සපයා දී ඔවුනට ගයන්නැයි වයන්නැයි කියන්නේය..මැදියම් රැයද පසුවෙමින් ඇතත් කතා නායකයා නැති..ගයන වයන ඔව්හු ” කෝ අපේ සර්” කියා විමසන විට අපේ ආදරණිය කතා නායකයාණෝ නින්දේය..
“ගාමිණි අන්කල් එක්ක සමීප සබඳතාවක් තාත්තාගෙ තිබුණා ..මට මතකයි අප පොඩි කාලෙ නත්තලට එහෙම ගාමිණී අන්කල්ගෙ ගෙදර එක්ක යනවා. ”
” අපෙ තාත්තා ගෙදරට කෙනකුට එන්න කියන්නෙ විශේෂ කෙනකුට විතරයි. හැබැයි ගෙදරින් බාහිර හැමෝම එක්ක සුහදයි. අපෙ තාත්තාට පැදුරු සාජ්ජ වලටත් ආරාධනය කරනවා..අර සැන්ඩෝ හැරිස්ගෙ නාට්‍යවලත් තාත්තා රඟපෑවා..”
පුතු ප්‍රසන්න කියන්නේය.
අපේ ප්‍රේමණීය කතා නායක රෙක්ස් කොඩිප්පිලි කලාකරුවාණන්ගේ සිනමා දිවියෙහි 40 වසර සපිරෙනදා හරසරින් සම්මානිත වූයේය..නවලෝක අධිපති ධර්මදාස මහතා ඒ වෙනුවෙන් නිවසේ සාදයක් සූදානම් කළේය..කලාකරුවන් රැසක්ද සහභාගි වූයේය..
අනතුරුව සිනමා මෙහෙවරෙහි 50 වන සැමරුම වෙනුවෙන් හෙතෙම මුදලින් හා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය..
” අපෙ තාත්තා ආපු ගමන ගැන තෘප්තිමත් බව තාත්තා නිතර කිව්වා..දැන් ඉන්න කලාකරුවන් වෙලාවට වැඩක් කරන්නෙ නැති පිරිසක් කියලත් අප සමග කිව්වා..දැන් ඉන්නෙ මොක්කුද කියලත් කියනවා..නව පරපුර ගැන කලකිරිමක්ද තිබුණා . නවකයන් පැරණි අයට රෙස්පෙක්ට් කරන්නෙවත් නැහැ කියලත් කියල තියෙනවා. ”
සිනමාවට පැමිණ නමහදාගෙන දේශපාලනයට පිවිස සිනමාව අතහැර දමනු විනා සිනමාව දියුණු කරවන්නට කැපනොවීම ගැනද ඔහු තුළ අසතුටක් තිබුණේය.
අප ප්‍රිය පිළිසඳරට අපේ ප්‍රසන්න ගේ ආදරණිය බිරිඳ දිලිනි මහත්මිය ද වරින්වර එකතුව සිය හිමිට යටගිය තතු සිහිපත් කරවන්නීය.. පෙර පාසල් ගුරුවරියක වන ගායන කුසලතාවෙන් පිරිපුන් ඕ කතෝලික දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ ගායිකාවකි.
අපේ කතා නායකයාණෝ වියපත්ව ගියද ඇස් කන්නාඩි පැලැඳුවේ නැති. ඔහු වඩාත් කැමති අහර රසට පිසදෙන්නට පුතු ප්‍රසන්න හා බිරිඳ දිලිනි කැපවී සිටිති.
” ගෙදරට අඳීන ඇඳුම වුණත් තාත්තා අයන් කරලයි අඳීන්නෙ..හරිම පිළිවෙළයි..අසනීපයක් කියා මුකුත් නැතිවුණත් මම තාත්තාව වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් අනිවාර්යයෙන් එක්ක යනවා..”
අපේ කතා නායක තෙමේ මේ අපූරුවට ලකලැහැස්ති වන්නේ තම පුත් ප්‍රසන්නගේ බිරිඳගේ ජා ඇල මහගෙදරට යන්නටය..එහි ගියද ඔහු ගැවසෙන්නේ පුතුගේ දරුවන් සමඟය ..
” අපෙ තාත්තා නිතරම අපේ ආගමේ හැටියට කොන්තයක් අතේ තියන් නිදහසේ ඉන්න වෙලාවට යාඥා කරනවා..මියගිය අයට පින්දෙනවා..!”
පාන්දරින්ම අවදි වූ අපේ රූපණවේදියාණෝ අලුත් සරමකින් හා කමිසයකින්ද සැරසී කාමරයක යහනෙහි වැතිර සිටියේය..හදිසියේ තම පුතු දිවැවිත් කී පුවතින් ප්‍රසන්න පුතු සැලී ගියේය..
” තාත්තෙ..අපෙ සීයා කතා කරන්නෙත් නෑ..හුස්ම ගන්නෙත් නෑ කියල මගෙ පුතා කිවාම මමත් ගිහින් තාත්තාට කතා කළා..අනේ අපි එවෙලේම රෝහලට අරන් ගියා..අනේ..ඒ වනවිටත් අපෙ රත්තරන් තාත්තා අපිව දාල ගිහින්..”
ආදරණිය ප්‍රසන්න කීවේ බිඳුණු ස්වරයකිනි.
” අපට මේ දුක නම් අපි ජීවත්ව ඉන්නතාක් කල් අපේ හිත්වලින් නැතිවෙන්නෙ නැහැ.. තාත්තා දීල ගිය ගොඩාක් මතක සටහන් අපට තියෙනවා..ගෙදර සින්දුවක් දාල තිබුණත් අපෙ තාත්තා ඒකට නටනවා..තාත්තාට දුක්වෙන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ..අවුරුදු 50ක අම්මා එක්ක ගෙවාපු තාත්තා ගෙ පවුල් ජිවිතය හරිම ආදර්ශවත්..”
අපේ සොඳුරු කතා නායකයාණෝ සිය දිවිසිරිත අතහැර ගියේ 2023ක්වූ දෙසැම්බර් මස 24වනදාය..ඒ වනවිට ඔහු පසුවූයේ 85 වන වියේය..මේ එළැඹෙන 24 වනදාට වසරකි…ඒ නිමිත්තෙන් පුතු ප්‍රසන්න සමඟින් දියණියන් දෙදෙනාද එක්ව පින්කම් රැසක් සිදුකරන්නට යුහුසුලු වෙති.
මම ප්‍රසන්න දෙස බලමි. ඔහු දෑස රත්පැහැව තෙමී ඇතිවාසේය..
” මේ 24වනදා උදේ තාත්තා නමින් රෝෂාන් සමින්ද පියතුමාගෙ මූලිකත්වයෙන් ජා ඇල වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදි වර්ෂ පූර්ණ විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙනවා. එදිනම ජා ඇල කන්‍යා සොයුරියන්ගේ වැඩිහිටි නිවාසයට දහවල් දානය පිරිනමනවා.. මේ සියලු පින් අපෙ තාත්තාට හිමිවේවා කියා අපි ප්‍රාර්ථනය කරනවා…”
හෙළ සිනමාව චරිතාංග නිරූපණයෙන් පුරා වසර 50ක් හැඩකළ….ජනාධිපති …සරසවි..සහ තවත් සම්මාන රැසකින් පිදුම් ලද අපේ ආදරණිය රංගවේදී රෙක්ස් කොඩිප්පිලි මහතා නිවී නිවේවා…!
අමල් යශෝමන් ජයසිංහ - - සරසවිය