lan englan tam

පුවත්

'රාණි' රඟපානකොට මට හැමදාම 'මදර් මේරි' සිහි වුණා; ස්වර්ණා මල්ලවාරච්චි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මම මේක කරනවා නම් මම හැමදාම හිතුවා මුළු ලෝකෙම දරුවන් නැති වෙච්ච අම්මලා වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා."

මෙසේ පවසන්නේ ලාංකේය සිනමා ප්‍රමුඛතම නිළි පෞරුෂය වන ස්වර්ණා මල්ලවාරච්චි වේ.
අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන, ලයිකා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදන දායකත්වය සපයන 'රාණි' චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම සඳහා පසුගියදා සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

"මට මනෝරාණි හම්බවෙලා තියෙනවා. රිචඩ් ද සොයිසා හම්බ වෙලා තියෙනවා. මනෝරාණි මට හතර සැරයක් හම්බ වුණා රිචඩ් නැති වුණාට පස්සේ. මම මනෝරාණිගෙන් ඇහුවා 'මම මේ චිත්‍රපටය කරන්න කැමතියි, මම එතකොට තරුණයි. ඔබගේ අකමැත්තක් නැද්ද' කියලා. ඇය හතරවෙනි සැරේ කිව්වා 'කමක් නෑ කරන්න, මම කැමතියි කරන්න' කියලා. පොරොන්දුව වගේම ඒක මගේ සිහිනය බවට පත් වුණා. ඊට පස්සේ අවුරුදු 27ක් මම සෑහෙන්න මහන්සි වුණා ඒක කරන්න."

යනුවෙන් ස්වර්ණා මල්ලවාරච්චි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

"මට ආරංචි වුණා 'ලයිකා' කියලා සමාගමක් ලංකාවේ චිත්‍රපටි කරන්න යනවා කියලා. ඒ ගැන හොයලා බලද්දි චන්න පෙරේරා කිව්වා ජානකී විජේරත්න තමයි මේ සඳහා සම්බන්ධීකරණය කරන්නේ කියලා. අධ්‍යක්ෂණයට අශෝකට කතා කළාට පස්සේ රෝගීව හිටියත් ඔහු එඩිතර විදිහට 'හා' කිව්වා. මම දීපු 'රිලේ ස්ටික්' එක අරගෙන ජානකී තමයි දිව්වේ අද වෙනකල්. මම මේ චරිතයෙ අවුරුදු 27ක් ජීවත් වෙවී හිටියේ."

එහිදී මව්වරුන්ගේ වේදනාවේ විශ්වීය සලකුණ වන මරියතුමිය ඇසුරේ සිය අදහසද සංවේදීව ප්‍රකාශ කළාය.

"ජීසස්ගේ අම්මා 'මදර් මේරි' තමන්ගේ පුතාව උස්සගෙන යනකොට, මරනකොට, ඇණ ගහනකොට මොනවා හිතෙන්න ඇද්ද. මම රඟපානකොට හැම 'සීන්' එකේම මට ඒ අම්මා මතක් වුණා. මම මේක කරනවා නම් මම හැමදාම හිතුවා මුළු ලෝකෙම දරුවන් නැති වෙච්ච අම්මලා වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා.
....රිචඩ් ගැන අහනකොට හැම තිස්සෙම ඇස් දෙක උස්සලා කඳුළු ආපහු ගිලවගන්නවා. කඳුළු වැටෙන්නෑ. මගෙ ජීවිතේ මං කරපු හොඳම චරිතය බවට මනෝරාණි පත් වෙනවා. මේකත් එක්ක බැලුවම දඩයම දෙවැනි තැනට යනවා." යැයිද 'රාණි' ප්‍රධාන නිළිය ස්වර්ණා මල්ලවාරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom