ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ අනවසරයෙන් සමාජ මාධ්‍ය ජාලාහි මෙන්ම අන්තර් ජාලයේ පළ කිරීම මෑත කාල වකවානුවේදී බහුලව දැකගත හැකිව තිබේ.
DubHubLK.net යන වෙබ් අඩවිය ඒවායින් ප්‍රධාන තැනක් ගත්තේ, සිංහල චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් “අනවසරයෙන්” එනම්, චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් හෝ අධ්යක්ෂවරයාගෙන් නිසි අවසරයක් ලබා නොගෙන එහි පළ කොට තිබීම හේතුවෙනි.
මේ පිළිබඳව ‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය’ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ අතර, අදාල චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන්ගෙන් හෝ නිෂ්පාදකවරුන්ගෙන් අවශ්‍ය ලිපි එකතු කරගත් සංසදය, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ල කරන ලද්දේ පසුගිය සතියේය.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සංසදයේ සභාපති උදයකාන්ත වර්ණසූරිය මහතා, ලේකම් සුනෙත් මාලිංග ලොකුහේවා මහතා සහ භාණ්ඩාගාරික සුරංග ද අල්විස් මහතා යන අය සහභාගි වූහ.
පැමිණිල්ල ඉදිරිපත් කර පැය විසිහතරක් ගත වීමටත් පෙර DubHubLK.net යන වෙබ් අඩවියේ පළ කර තිබූ සිංහල චිත්‍රපට සියල්ලම ඉවත් කරගෙන තිබුණි. සාර්ථක සිංහල චිත්‍රපටයක් නිර්මාණය සඳහා රුපියල් ලක්ෂ 100ක සිට රුපියල් ලක්ෂ 1,000ක් දක්වා වියදම් විය හැකියි. එසේ නම් කිසියම් පුද්ගලයෙකු මිනිත්තු කීපයකින් එවැනි චිත්‍රපටයක් වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලයක පළ කරන්නේ නම් එය ඉතා බරපතල සොරකමකි.
මින් ඉදිරියටද කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිංහල චිත්‍රපට මෙලෙස අනවසරයෙන් වෙබ් අඩවිවල හෝ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත්, එවැනි පුද්ගලයින්ට විරුද්ධව රුපියල් කෝටි ගණන් ගෙවීමට සිදු වන ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය’ කටයුතු කරන බව සංසදයේ සභාපති, උදයකාන්ත වර්ණසූරිය මහතා ප්‍රකාශ කර සිටී.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු