හෙළ සිනමාවේ නිර්මාණවේදීන්ගේ ලුහුඬුතා හේතුවෙන් සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා සිනමාහල්වලින් බැහැරව සිටින යුගයකි මේ.
යොවුන් ආදරය සහ ප්‍රහසනය ගැබ්වූ ඇතැම් නිර්මාණ අතරින්පතර ප්‍රේක්ෂකයා ආකර්ෂනය කර ගත්තේය. විහිළුව සපයන චිත්‍රපට ප්‍රේක්ෂකයන් ඇද ගැනීමේ ප්‍රස්තුතයක් ලෙස දුටු ඇතැම් නිෂ්පාදකවරු තම අලුත් නිර්මාණ ඒ ඔස්සේ සංවර්ධනයට යොමුවිය.
‘කාසි වාසි’ එසේ විකට හෙවත් ප්‍රහසනය මැවීමේ අරමුණු ඇතුව තැනූ සිංහල චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටයේ රංගනයේ නිරත නළු නිළි කැල විහිළුව මැවීමේ දක්ෂයන් ලෙස සමාජගත වූවෝය. අධ්‍යක්ෂවරයා වන සිවගුරුනාදන් ටෙලිතිරයේ ජනප්‍රිය නිර්මාණ ගණනාවක අදියුරුය. ප්‍රකට ප්‍රහසන පිටපත් රචක ගිරිරාජ් කෞශල්‍ය ලියූ තිරපිටපත පූර්ණ වශයෙන්ම මිනීපෙට්ටි සාප්පුව, එහි එම්බාම්කරු රියැදුරු හා සේවකයෙකු මුල් කරගත් රචනයකි. ඔහුගේ පවුලේ අය ද මෙහි චරිත ලෙස දිස්වේ.
චිත්‍රපටයේ මුල් මිනිත්තු විස්සම මියගිය පියෙකුගේ මෘත දේහය වැරදීමකින් වෙනත් නිෙවසකට යෑම කතා කරයි. එහිදී කියවෙන බාල සංවාද පමණක් නොව මෘත දේහයක් වටකරගෙන හා මෘත දේහ දෙකක් බදාගෙන ගීත ගායනා කිරීම තුළම මහජනතාවට දැඩි මානසික ආතතියට තුඩුදෙන අවස්ථාවකට සමච්චල් කිරීමේ අරමුණ දැඩිව දිස්වේ.
කිසිදු මිනිසෙකුට හෝ සත්වයෙකුට තම ළඟම සහෘදයාගේ මරණය විහිළුවක් නොවේ. එමෙන්ම මරණය හෝ මෘත දේහය දිහා දෑස් දල්වා මිහිපිට කිසිවෙකු සිනා නොවේ. මෙවැනි විෂයක රචනය විවාදාත්මකය.
චිත්‍රපටය දෙස බලමින් බොහෝ ආශාවෙන් සිනා අවස්ථා හොයමින් වෙහෙසෙන ප්‍රේක්ෂකයාට පැය දෙකක චිත්‍රපටය පුරාම ලැබෙන්නේ අවස්ථා හතරකි. තම බුද්ධි මණ්ඩලය අනුව එය ද එහි නොමැති බව කෙනෙකුට තර්ක කළ හැකිය. සිනමාහල තුළදි ප්‍රේක්ෂකයාට සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ කිතිකවාගෙන හිනාවීමටය. තවද “ඕජස් අරන් දානවා” වැනි වදන්, ප්‍රහසනය මැවීමේ අරමුණ ඇතිව මැවූ චිත්‍රපටය නරඹද්දි ප්‍රේක්ෂකයාට ඔක්කාරය ඇති කරනු නොඅනුමානය.
සිනමාහලකට යන ප්‍රේක්ෂකයා චිත්‍රපටයක් නැරඹීමට යන්නේ එම චිත්‍රපටයේ විෂය තම මනසට ගෝචර වන්නේ නම් පමණි. සිනමාහල් හිමියෙකු වන කාසිවාසි නිෂ්පාදක අනුරාධ බී. රැකව මහතාට මෙවැනි ප්‍රස්තුතයක් චිත්‍රපටයට නැඟීමේ අදහස දුන් පුද්ගලයා කවරෙක්දැයි සොයා බැලිය යුතුය.
මෙවැනි සංවේදී විෂයක් තුළ මැවිය හැකි ප්‍රහසනයක් ඇතැම් විට තිබිය හැකිය. එනමුදු රචකයා හැමවිටම දක්වා ඇත්තේ මරණය අබියස සිටින මිනිසෙකුට සිනාසීම මිනී පෙට්ටි සාප්පු හිමිකරුවෙකුව පාච්චල් කරන අරමුණුය. නළු නිළියන්ගේ මුවට නංවා ඇති ඇතැම් ඕලාරික දෙබස්, රචක ගිරිරාජ්ට තරම් නොවේ. කුමක්දෝ හදිසියකින් පිටපත ලියා හදිසියේ රූපගත කිරීමක සියලු සාක්ෂි චිත්‍රපටය පුරාම පවතී.
අද බිහිවන බොහෝ චිත්‍රපටවල වෘත්තීය කැමරාකරුවන්ගේ සේවය ලබා ගැනීමට නිෂ්පාදකවරු මැළිකමක් දක්වන බව පෙනේ. ටෙලි තිරයට රූගත කිරීම වෙන දෙයකි. සිනමා රූගත කිරීම වෙනම කලාවකි. කාසිවාසි චිත්‍රපටයේ ද අංකුර කැමරාකරුවෙකුගේ ලුහුඬුතා දැඩිව ප්‍රදර්ශනය කරයි.
ආචාර්ය රෝහණ වීරසිංහ කතුරු මිතුරු චිත්‍රපටයට කළ තනුවක් අමු අමුවේ කොපි කිරීමට දුහුනෙකුට ඉඩදීම නිෂ්පාදකවරුන්ට හා නිර්මාණකරුවන්ට තරම් නොවේ.
සම්මානිත සංස්කරණ ශිල්පී අජිත් රාමනායකගේ සේවය චිත්‍රපටයට ලබාගෙන තිබුණ ද දර්ශන පුරුද්දනවා හැර වෙන කළ යුතු නිමැවුමක් චිත්‍රපටයේ රූගත කිරීම්වල ඇති බවක් නොපෙනේ.
රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, නිරෝෂා තලගල, අමන්ද්‍යා උත්පලීගේ රංගනය අවබෝධාත්මකය. සංගීත් ප්‍රභූ තම චරිතයේ මුවට නංවා ඇති දෙබස් පැවසීමට කුමක්දෝ හදිසියකට මැදිවී ඇති බව පෙනේ. හිස මුඩුකරගත් ගිරිරාජ් සුපුරුදු රංගනයේය. වර්තමානයේ චිත්‍රපට නිපදවීම සූදුවකි. තමන් සූදුවට අවතීර්ණ නොවී අන් අයෙකු ඊට බිල්ලට දී බලා සිටීම සමාජයේ සම්ප්‍රදායයි. මිතුරු වේශයෙන් පැමිණ උපදෙස් දෙන්නෝ ද නිෂ්පාදකවරු විනාශ කොට කර්මාන්තය ද විනාශ කරති. කාසිවාසි නිපදවූ අනුරාධ බී. රැකව ආදායම් වාර්තා තැබූ ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ සිකුරු හතේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය.
රුවන් කොස්තා, ආචාර්ය රෝහණ වීරසිංහ, විජය නන්දසිරි ඇතුළු කර්මාන්තයේ මිල අධික අන්තයේ සිටි විශාල කාර්මික හා නළු නිළි කැලක් විවේක බුද්ධියෙන් තැනූ තිර රචනයකින් විවේකීව නිර්මාණය කොට ලාභ ලැබූ ඔහු අද අඩු ලංසුවේ සිනමාවට නැඹුරු වී, බාලයන් අත නැළවීම කනගාටුදායකය.
චිත්‍රපට හැදීම සූදුවක් වුවද කලබලයේ කළ හැකි නිමැවුමක් නොවේ. සිනමාවට සම්බන්ධ වන සැමටම නිවැරදිව මුදල් ගෙවන අනුරාධ බී. රැකව වැනි නිෂ්පාදකවරු ළඟින් සිටින කේවට්ටයන්ගෙන් බැහැරවී දුරින් සිටින විවේචකයන් සමඟ එක්වීම ඇතැම්විට ඔහුගේ සිනමා ගමනට අලුත් ආලෝකයක් ලබාදෙනු ඇත.
පද්මකුමා පී. මෙත්තසේන (රසඳුන)