lan englan tam

පුවත්

ඒ හැඟීම විඳින්න මම ආසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ආදරේ ආකර්ෂණය නොඅඩුව ලැබූ සංගීත් මේ කාලයේ වැඩිපුර ආදරේ ලබන්නේ සිනමා ප්‍රේක්ෂකයින් තුළින්.

ඒ මේ දිනවල තිරගත වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ කාසි වාසි චිත්‍රපටය නිසා. ඒ ගැන වගේම ඉදිරි කලා නිර්මාණ ගැන කළ කතාබහකි මේ

පුංචි තිරයෙන් සිනමාවට ඇවිත්, රිදී තිරයේ තමන්ගේ නම දකිද්දී මොකද හිතෙන්නේ?

අවංකවම පුදුම සතුටුයි. මේ මෑතකදීත් මගේ නම පුළුල් තිරයේ ආයෙමත් දැක්කා. ඒ දකින හැම වෙලාවේම මම මගේ ඇස් දෙකෙන් ඒ සතුට විඳිනවා. ඒ සතුට මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

469559902 2554988024696340 4373459904011718418 n

කාසි වාසි ඔබේ පළමු සිනමා නිර්මාණය?

ඔව්. මගේ තිරගත වන පළමු සිනමා නිර්මාණය. මින් පෙර සිනමා නිර්මාණ දෙකක් කළා. මුලින්ම කළේ මහේෂ් මුණසිංහ අයියා අධ්‍යක්ෂණය කළ සූර්යා චිත්‍රපටය. ඒ එක්කම ෂර්ලි සමරසිංහ අයියා අධ්‍යක්ෂණය කළ ‘සිලිලාරේ‘ චිත්‍රපටයෙත් මම රඟපෑවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් අධ්‍යක්ෂණය කළ ‘කාසි වාසි‘ කියන්නේ මගේ තුන්වෙනි සිනමා නිර්මාණය. ඒ එක්කම මේ මම මාව පුළුල් තිරයේ දැකපු පළමු සිනමා නිර්මාණය.

සිනමාශාලා වෙත ගියාම ලැබෙන අත්දැකීම කොහොමද දැනෙන්නේ?

පුංචි තිරයේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේට එහා ගිය ආදරයක් සිනමාවෙන් මට දැනෙනවා. මට තවම ඒ අත්දැකීම නුහුරුයි. අපිට ආදරේ කරන මිනිස්සු අපිව හොයාගෙන ඇවිත් කතා කරනවා කියන්නේ මට නම් වෙනස්ම හැඟීමක්. හැබැයි ඒ හැඟීම අත්දැකීම විඳින්න මම ආසයි.

ඔබ නළුවෙක් වෙනවා කියන එක ඔබත් එක්ක සිහින දැකපු කෙනෙක් තමයි සංගීත්ගේ අම්මා, අද මොකද අම්මා කියන්නේ?

අම්මාට පුදුම සතුටක් තියෙන්නේ. අම්මා හරි ආසාවෙන් හිටියේ මාව පුළුල් තිරයෙන් දකින්න. මම හිතන්නේ ඉතින් ඕනෙම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගේ ඕනෙම ජයග්‍රහණයකදී සතුටු වෙනවා. මගේ අම්මාත් අද මම ඉන්න තැන සහ මම කරන නිර්මාණ දිහා සතුටින් බලන් ඉන්නවා. ඒ වගේම මගේ අම්මා වගේම මගේ පවුලේ අයත් මම මේ යන ගමන දිහා සතුටින් බලන් ඉන්නේ.

පසුගිය කාලේ පුංචි තිරයෙන් දකින්න ලැබුණේ නැහැ, ඇයි ඒ?

ඇත්තටම නාඩගම්කාරයෝ එකෙන් පස්සේ ලොකුවට මම වැඩ භාර ගත්තේ නැහැ. මේ කාලය මම යෙදෙව්වේ මගේ ව්‍යාපාර කටයුතුවලට. ඒ නිසාම මට හැකියාව ලැබුණා මගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගන්න. ඒ නිසා මම ගත්ත පොඩි විරාමය තුළ මගේ වැඩ කිහිපයක්ම ඉහළට ඔසවා ගත්තා. දැන් ආයෙම මම ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා. දැන් ඔක්කොම සමබරව කරගෙන යනවා.

නළුවෙක් නොවුණා නම් කවුරු වෙයිද?

අනිවාර්යෙන්ම ඉතින් හොඳ ව්‍යාපාරිකයෙක්. මට හොඳ හැකියාවක් තියෙනවා මාර්කටින් කියන එක. මොකද මම හොඳින් කතාබහ කරන කෙනෙක්. ඒ නිසා ඒ කතාව මට පුළුවන් මගේ දියුණුව වෙනුවෙන් යොදා ගන්න.

ඉදිරියේදී සිනමාවට ද වැඩි ඉඩක් දෙන්නේ?

එහෙමම නැහැ. මම කැමති වයසට යනකම්ම රඟපාන්න. මම ආවේ නළුවෙක් වෙන්න. ඒ නිසා හැමදේම සමබරව කරනවා.

six pack 3ත් එනවා නේද?

ඔව්. ඒක ඇත්තටම දැන් බලන්න පුළුවන් වෙන්නේ යූටියුබ් හරහා. six pack 1 සහ 2 බලපු අයට දැන් six pack 3 යූටියුබ් හරහා බලන්න අවස්ථාව ලැබෙනවා. ඒකත් වෙන වැඩක්.

ඊට අමතරව මොනවද මේ කාලේ වැඩ?

මේ දවස් වල වෙනස්ම කතාවක් ලැබුණා. බුද්ධික සේමසිංහ රචනා කරපු. කොල්ලෝ හතර දෙනෙක් වටා යන වෙනස්ම කතාවක්. මේ වෙද්දී පළමු කොටස් ටික රූපගත කරලා අවසන්. ඉදිරියේදී දකින්න ලැබෙයි.

මඟ තොටේදී ලැබෙන ප්‍රේක්ෂක ආදරේට පෙරළා කියන්න දෙයක් ඇති?

මම හරි කැමතියි ඒ ආදරේ විඳින්න. මගෙත් එක්ක කතා කරන හැමෝම එක්ක මට හැකි උපරිමයෙන් කාලය ගත කරලා කතාබහ කරන කෙනෙක්. එහෙම ආදරයක් ලැබෙනවා කියන්නෙම වාසනාවක්. අපි එක්ක කතා කරන්න ඇවිත් ඡායාරූපයක් ගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ. සමහර රැකියාවල් තියෙනවා කාලයකදී ජායාරූප ගත්තත් තව කාලයක් යද්දී එපා වෙනවා. නමුත් නළුවෙක් හෝ නිළියක් කියන්නේ එහෙම නොවෙන වෙනස්ම ආදරයක් ලබන වෘත්තියක්.

 අනුෂා රණසිංහ (රසඳුන)
Back to top
Go to bottom