පසුගිය වසරේ පැවැති ලාංකේය ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උලෙළ රැසකදීම හොඳම සංස්කරණ ශිල්පියාට හිමි සම්මානය දිනාගත්, පසුගිය වසරේ පැවැති සාක් චිත්‍රපට උලෙළේදී 'හෝ ගානා පොකුණ' චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම සංස්කරණ ශිල්පියාට හිමි සම්මානය දිනාගත් නිර්මාණකරුවෙකු ලෙස තිස්ස සුරේන්ද්‍ර සැලකිය හැකිය.
එබැවින් මෑත කාලයේදී තිරගත වූ 'හෝ ගානා පොකුණ', 'පත්තිනි', 'මෝටර් බයිසිකල්' ආදී චිත්‍රපට ගණනාවකම සංස්කරණ ශිල්පියා මෙන්ම වසර ගණනාවක් පුරා වර්ණ සංයෝජනය සහ වර්ණ ශ්‍රේණිගත කිරීමේ කාර්යයේ නියැළී සිටින ප්‍රවීණ පෙළේ නිර්මාණකරුවෙකු වන ඔහු සමගින් වර්ණ සංයෝජනය සහ වර්ණ ශ්‍රේණිගතකිරීමෙහිලා ඇති වැදගත්කම පිළිබඳ කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
''අපි බොහෝ දෙනෙක් වර්ණ සංයෝජනය සහ වර්ණ ශ්‍රේණිගතකිරීම යන විෂය ගැන කතා කරන්නේ චිත්‍රපටයක පසු නිෂ්පාදන කටයුත්තක් හැටියට. ඒත් චිත්‍රපටයකදී අදාළ නිර්මාණකරුවාට පසු නිෂ්පාදනයකදී චිත්‍රපටය සඳහා කළ හැකි උපරිමය 07%ක් පමණයි. ඉතිරි සම්පූර්ණ ප්‍රතිශතයම සිදුකෙරෙන්නේ පූර්ව නිෂ්පාදනය සහ නිෂ්පාදන අවධියේදියි. ඒත් මේ කාරණාව අද බොහෝ දෙනෙක් වරද්දාගෙනයි ඉන්නේ'' යනුවෙන් තිස්ස කතාව ඇරඹුවේය.
Q වර්ණ සංයෝජනය(Colour Mixing) සහ වර්ණ ශ්‍රේණිගතකිරීම(Colour Grading) කොහොමද චිත්‍රපටයකට වැදගත් වෙන්නේ?
වර්ණය කියන්නේ වෙනමම පර්යාලෝකයක්. වර්තමාන ගීත රූප රචනාවලදී වර්ණ කියන එකට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියෙන්‍නේ මේ නිසයි.ඒ නිසා වර්ණ සංයෝජනය හෝ වර්ණ ශ්‍රේණිගතකිරීම කියන්‍නේ තවදුරටත් තාක්ෂණික කටයුත්තක් විතරක් නෙමෙයි.තාක්ෂණය සහ තාක්ෂණයට අනුව වර්ණ තෝරාබේරාගැනීමත්,එය අදාළ රූපයට පවතින සම්බන්ධතාවත් අනුව තමයි දෘශ්‍යමය නිර්මාණ සාර්ථකවෙන්‍නේ.මේවා සමගාමීව යා යුතු දේවල්.
Q ඒත් වර්ණ ශ්‍රේණිගතකිරීම කියන්‍නේ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන දෙයක්?
ඔව්. මෙය නම් ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. ඒත් දාර්ශනික කටයුත්තක්. මොකද දෘශ්‍යමය නිර්මාණයට අදාළ වර්ණය මිනිස් මොළයට දක්වන ප්‍රතික්‍රියාව අනුව තමයි වර්ණය තීරණය වෙන්‍නේ. එය රසායනික ප්‍රතික්‍රියාවක්.මේ අනුව ඔහුගේ/ඇයගේ හිතේ මේ වර්ණය පිළිබඳ දැක්මක් ඇතිවෙනවා. ඊට බලපාන්‍නේ නිර්මාණකරුවා ඒ රූපය දිහා බලන ආකාරය.
විශේෂයෙන්ම චිත්‍රපටයකදි අදාළ කතා වස්තුව දිහා නිර්මාණකරුවා බලන ආකාරය අනුවයි වර්ණය තීරණය වෙන්‍නේ. ඒ නිසයි අධ්‍යක්ෂවරයාගේ සිට කැමරා අධ්‍යක්ෂ, කලා අධ්‍යක්ෂ, වේශ නිරූපණ ශිල්පියා, ඇඳුම් නිර්මාණ ශිල්පියා, නළු නිළියන් දක්වාම මේ කාරණාව අදාළ වෙන්‍නේ. ඒත් මෙය සංස්කෘතිකමය වශයෙන් වෙනස් වෙනවා.
දේශගුණික වශයෙන් වෙනස් වෙනවා. හැබැයි සමහරු අපි ළඟට එන්‍නෙ වෙනත් විදෙස් නිර්මාණවල නියැදි උස්සගෙන.හැබැයි අපි එතැනදි සැලකිලිමත් විය යුතුයි, අපේ සමාජයට ඒ වර්ණ ගැළපෙනවද කියලා. සරලවම උදාහරණයකට අනුරාධපුරයේයි, කොළඹයි තියෙන්‍නේ වර්ණ දෙකක්. හිතන විදිහ වෙනස්.
කාලය අතර පරතරයක් තියෙනවා. ඒ නිසා කතා වස්තුව එක්ක වර්ණයේ තියෙන සබැඳියාව ගැන අපි සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම චිත්‍රපටවලදී අපි ඉලක්කගත ප්‍රේක්ෂක කොටස ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසයි මෙය සංකීර්ණ විෂයයක් වෙන්‍නේ.
Q බොහෝ දෙනෙක් වර්ණ සංශෝධනය(Colour Correction) ගැන අද එතරම් සැලකිලිමත් වෙන්‍නේ නැහැ?
ඔව්. ඒක ඇත්ත. ඒත් මෙය තාක්ෂණික කටයුත්තක්. හැබැයිමීට ජාත්‍යන්තර වර්ණ සම්මුතියක් තියෙනවා. උදාහරණයකට කැමරාවක් පණ ගැන්වීමට කලින් අදාළ වර්ණ හඳුන්වාදීමට සමාන ක්‍රියාවලියක් වර්ණ සංශෝධනය තුළ සිදුවෙනවා. විශේෂයෙන්ම නිර්මාණය සඳහා භාවිත කරන කැමරාව කුමක්ද යන්න පවා මෙහිදී ඉතා වැදගත්. කැමරාවේ පවතින සීමා,කැමරාවෙන් සංස්කරණ මැදිරියට රැගෙන එන තොරතුරුවල තත්ත්වයත් ඉතා වැදගත්.
Q කොහොම වුණත් වත්මන් සිනමාකරුවන් මුහුණදෙන ප්‍රබලතම ගැටලුව තමයි කැමරාවේදී පෙන්වන වර්ණය සංස්කරණ මැදිරියේදී නොපෙනීමත්,සංස්කරණ මැදිරියේදී සංයෝජනය කළ වර්ණය සිනමා ශාලාවට ගෙන ඒමේ අපහසුවත්?
ඔව්. ඒක අද විශාල ගැටලුවක්. දත්ත මාරු කිරීමේදී පැන නගින තාක්ෂණික ගැටලු තමයි මීට බලපාන්‍නේ. ඊට වර්තමානයේදී ලංකාවේ සිනමා කැමරාකරුවන් භාවිත කරන කැමරා වර්ග තමයි බලපාන්‍නේ. ඒ වගේම කැමරාව සමග යොදාගන්නා අනෙකුත් තාක්ෂණික මෙවලම් පවා මේ සඳහා බලපානවා.
මොකද අද ලංකාවේ ඩිජිටල් වෙලා තියෙන්‍නේ කැමරා පමණයි.එහෙම නැතුව අනෙකුත් ශිල්පීන් තාම ඊට හරියාකාරව සූදානම් වෙලා නැහැ. ඩිජිටල් සංවේදීතාවක් තියෙන නිර්මාණාත්මක පදනමක් සහිත ශිල්පීන් පවා තාමත් අපට හරියට නැහැ. අනික ලංකාවේ සිනමාව ගොඩනැගෙන්‍නේම වේදිකාවෙන්. සිනමාවෙන් තමයි රූපවාහිනිය ගොඩනැගෙන්‍නේ.
ඒක හරිම භයානක තත්ත්වයක්.මොකද අපි නරක තැනකින් තමයි මේ විෂයයන් ආරම්භ කරගෙන තියෙන්‍නේ. ඒත් මේවා පැහැදිලිව වෙන්කර ගත යුතු විෂයයන්. ඒ නිසා අපි සිනමාව, සිනමාව විදිහට හඳුනාගත යුතුයි. ටෙලිනාට්‍ය, ටෙලිනාට්‍ය විදිහට හඳුනාගත යුතුයි. වේදිකාව, වේදිකාව විදිහට හඳුනාගත යුතුයි. ඒ නිසා අපි තාමත් ඉන්‍නේ අන්තර්භවයක කියලයි මට හිතෙන්‍නේ.
Q 'සිනමාව' විෂයයක් වශයෙන් පවතින විශ්වවිද්‍යාලවලින් පවා මෙවැනි විෂයයකට අදාළ නිසි ගරුත්වය නොලැබීමත් ඊට බලපානවා නේද?
ඔව්. පැහැදිලිවම.ඒ සඳහා එම විශ්වවිද්‍යාලවලට අදාළ ආචාර්ය මහාචාර්යවරුන් වගකිව යුතුයි. එහෙම නැතුව එය විද්‍යාර්ථීන්‍ගේ ගැටලුවක් නෙමෙයි. විෂය නිර්දේශ සකස් කිරීමේදී පවා ඒ ගැන අදාළ බලධාරීන් සැලකිලිමත් විය යුතුයි. සිනමාව කොතැනද ස්ථානගත කළ යුත්‍තේ යන්න පවා එතැනදි ඉතා වැදගත්.එහෙම නැතුව අහුලගෙන විතරක්ම ඉගෙනගන්න බැහැ.