lan englan tam

පුවත්

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නික්ම යයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත ‘හෙළයේ ගීත කෝකිලාවිය’ ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

අද (31) උදෑසන ඇගේ දේහය බොරැල්ල ගෞරව අවමංගල්‍ය ශාලාවේ සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන එනු ලැබූ අතර, නිදහස් චතුරස්‍රයේදී අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි.

ආගමික වතාවත්වලින් පසුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට ගෙන යාමෙන් අනතුරුව භූමදාන කටයුතු සිදු කෙරණි.

ඒ සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මැදයි.

අද උදෑසන සිටම ඇයට ආදරය කළ, ඇගේ හඩින් සැණසුණ සහෝදර කලා ශිල්පීන්, දේශපාලනඥයන්, රසිකයන් ඇතුළු බොහෝ පිරිසක් ඇගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට නිදහස් චතුරස්‍රයට පැමිණ සිටියහ.

නිදහස් චතුරස්‍රයේ ඉහළ පීඨිකාවේ තැන්පත් කර තිබූ ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරු 1.00ට පහළ පීඨිකාව වෙත රැගෙන ආවේ ආගමික වතාවත් සිදුකිරීම සඳහාය.

බෞද්ධ ආගමික වතාවත්වලට අනුව පාංශුකූලය ලබාදීමෙන් පසු කිතුනු ආගමික වතාවත් සිදුකෙරුණි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අවමංගල සභාව ආරම්භ වූ අතර කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගලෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි. 

මෙලෙස දශක අටකට අධික කාලයක් ශ්‍රී ලාංකීය රසිකයන් සිය මධුර ස්වරයෙන් පිනවූ හෙළයේ ගීත කෝකිලාවිය සිය දරුවන්ට, පවුලේ ඥාතීන්ට, සහෝදර කලා ශිල්පීන්ට, සුවහසක් ලංකීය රසිකයන්ට සමුදෙමින් නික්ම ගියාය.

kemadasa

shungara

Back to top
Go to bottom