ගෙවී ගිය සැප්තැම්බරයේ මංජුල වෙඩිවර්ධන බොහෝ කලකට පසුව කෙටි කතා එකතුවක් පළ කරන්නට යෙදුණා. වෙඩ්ඩාගේ කතා රුචි පාඨක පිරිස කාලෙකින් ලැබුණු මේ තෑග්ග වැළඳගත්තේ ඉමහත් ආදරයෙන්. ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ වෙත ලැබුණු උණුසුම් ප්‍රතිතිචාර අතර බොහෝ අය එහි කවරයත් පොතේ නිමාවත් ගැන ඉතා උද්දාමයෙන් කතා කරන අයුරුද දකින්නට ලැබුණා. මේ කෙටි ලියමනේ අරමුණ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ ඔබ අතට පත්වන මොහොත තෙක් mooniak අපි පසුකළ අපූරු ගමන පාඨක ඔබ සමග බෙදාහදා ගැනීමයි.
‘දුස්ටකමේ සවුන්දර්ය’ එලෙස ඔබ වෙතට පැමිණියේ වෙඩ්ඩාගේ ලියවිලි කලක සිට රසවිඳන පාඨක පිරිසක් සහ වෙඩ්ඩා අතර සිදු වූ සුසංයෝගයක අතුරු ඵලයක් ලෙසයි. වෙඩ්ඩාගේ නිර්මාණ පිළිබඳව අප තුළ පවතින ඇල්ම, මේ කර්තව්‍ය ඔහුත් සමඟ ආරම්භ කරන්නට මහත් පිටිවහලක් වූ බව පැවසුවොත් එය නිවැරදියි. විශේෂයෙන්ම ‘බත්තලංගුණ්ඩුව’ හරහා ඔහු සහෘද පාඨකයාට සමීප කළ අපූරු සාහිත්‍යමය අත්දැකීම සහ පෞද්ගලිකව අප කණ්ඩායමේ සියලු දෙනාගේ ජීවිතවලට ‘බත්තලංගුංඩුව’ සැපයූ අනුප්‍රාණය, ඔහුගේ අලුත් කෙටි කතා එකතුව ගැන අපගේ උනන්දුව හා බලාපොරොත්තු තවත් වැඩි කරන්නට හේතු වුණා.
මේ පොතේ නිර්මාණ කාර්යය, වෙඩ්ඩාත් අපත් අතර විවිධ අදහස් හුවමාරු වෙමින් බොහෝ කාලයක් පුරාවට ඇදී ගිය එකක්. කතාවෙන් කතාව, එකින් එක අප වෙත එවමින් වෙඩ්ඩා ඔහුගේ කෙටි කතා එකතුවට පසුබිම් වූ කාරණා සමඟ ගැවසෙන්නට අවශ්‍ය තරම් කාලය සහ මනා අවස්ථාවක් අපට ලබා දුන් බව විශේෂයෙන් මතක් කළ යුතුයි.
ආරම්භයේදී සැලසුම්සහගතව සිදු වූ දෙයක් නොවූවත් එය මේ පොතේ අවසාන හැඩය කෙබඳු විය යුතුද යන්න වූ අදහස පෝෂණය කරන්නට නොමඳ සහයක් වුණා. ඉක්මනින් පොත නිර්මාණය කර අවසන් කරනවා වෙනුවට මුල් මාස කිහිපයම අප ගත කළේ පොතේ අන්තර්ගතය සමඟ හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්නයි. ඉතිං ගිය වසරේ මැදින් මසින් ඇරඹී පුරා මාස අටක් අප දුස්ටකමේ සවුන්දර්ය විඳිමින් ඒ සමඟ ජීවත් වුණා කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි.
අකුරු
‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ විවිධ මානයන්ගෙන් අලුත් මුහුණුවරක් ගනු ලැබුවා. ඒ අතරින් මෙහි අක්ෂර රටා භාවිතයට විශේෂ තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම කවරයේ එන නාම සටහනේ පටන් පොතේ ඇතුල් පිටුවල සටහන දක්වාම භාවිතා කර ඇති අකුරු මුහුණත් මින් පෙර කිසිදු ග්‍රන්ථයක භාවිතා වී නැහැ. කෙනෙකුට එය එක් වරම හඳුනාගන්නට නොහැකි වන්නට පුලුවන්. නමුත් සමස්ථයක් වශයෙන් පොතේ හැඩහුරුව වෙනස් කරන්නට මෙහි එන අක්ෂර රටා විශාල හේතුවක් වෙනවා.
ඩිජිටල් යුගයේ සාම්ප්‍රදායික පොත් කවර නිර්මාණ ක්‍රියාවලිය තුළ බොහෝ විට නිර්මාණකරුවන් විසින් අමතක කර දමනු ලැබූ ඉතාමත් විචිත්‍රවත් අංගයක් ලෙස අක්ෂර රටා භාවිතය හඳුනාගන්න පුලුවන්. විශේෂයෙන්ම අපට ඇති සීමිත සිංහල ඩිජිටල් ෆොන්ටවලින් එහා ගොස් නිර්මාණ කරන්නට නිර්මාණකරුවන් අතර ඇති අඩු උනන්දුව සහ එය පුරුද්දක් ලෙස කලක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබීම සිංහල පොත්වල අලංකාරයට සහ ආකර්ෂණයට සිදුකර ඇත්තේ බලවත් අසාධාරණයක්. විශේෂයෙන්ම ඩිජිටල් ෆොන්ටවල ආගමනයට පෙර සිදු වූ කවර නිර්මාණ හා වර්තමාන කවර නිර්මාණ සංසන්දනය කළහොත් මේ වෙනස වටහා ගැනීම අපහසු නැහැ.
ඉතිං වෙඩ්ඩාගේ අලුත් පොත නිර්මාණයේදී අකුරුවලින් කළ හැකි උපරිම දේ කරන්න අපි තීරණය කළා. ඒ අනුව ‘දුස්ටකමේ සවුන්දර්ය’ වෙනුවෙන්ම නිර්මාණය වූ අලුත්ම සිංහල අක්ෂර රටාවක් එහි ග්රන්ථ නාමය සඳහා යොදා ගැනුණා.
මෙම අක්ෂර රටාව නිර්මාණයේදී පොතේ නම හා සැසඳෙන පරිදි ඊට සෞන්දර්යාත්මක දුෂ්ඨකමක් ආරෝපණය කරන්නට අප උත්සාහ දැරුවා. අනවශය රළු පෙනුමකින් තොරව සියුම් ලක්ෂණ හරහා එය ඉටු කරගැනීම අපගේ අරමුණ වුණා. කෙසේ හෝ එම ප්යත්නය ප්රශස්ත මට්ටමකින් සාර්ථක කරගන්නට හැකි වුණායැයි අප විශ්වාස කරනවා.
මෙහි අන්තර්ගතය සඳහා උපයෝගී කරගත් ‘අභය ලිබ්රේ’ අක්ෂර රටාවද හේතු කිහිපයක් නිසා විශේෂයි. පුෂ්පානන්ද ඒකනායකගේ එෆ් එම් අභය අක්ෂර රටාවේ යුනිකෝඩ් අනුකූල අකුරු මුහුණත වන ‘අභය ලිබ්රේ’ ප්‍රථම වටාවට පොතක් සඳහා යොදා ගැනුනේ ‘දුස්ටකමේ සවුන්දර්ය’ සඳහායි. මෙහි පිටු සැකසුමේදී අප ගොඩනගාගත් විවිධ විලාසයන් (layout) එකිනෙකින් වෙන් වෙන්ව හඳුනාගත හැකිවන පරිදි දැක්වීමට අභය ලිබ්රේ සතු නව ලක්ෂණ බොහෝ සේ උපකාරී වුණා. යුනිකෝඩ් ෆොන්ටයක් වන ‘අභය ලිබ්රේ’ භාවියේදී සිංහල භාෂාව සඳහා බොහෝ මෘදුකාංග සපයා ඇති සීමිත පහසුකම් ප්මාණය යම් අවස්ථාවලදී තරමක් බාධා පැමිණුවද නිදහස් මෘදුකාංග භාවිතයෙන් එවන් සමහර ගැටලු නිරාකරණය කර ගැනීමට අපට හැකිවුණා.
කවරය සහ රූප
අකුරු රටාවෙන් පසුව කවරයේ අනෙකුත් ආකර්ෂණීය අංගය එහි එන විත්රණයයි. ‘ආදම් හමුවීම’ කෙටි කතාව පාදක කරගිනිමින් නිර්මාණය වූ එය පොතට එක් කරන්නේ අපූරු සෞන්දර්යයක්.
කෙසේ වුවත් ‘දුස්ටකමේ සවුන්දර්ය’ පුරා හමුවන සංකල්ප රූප ගොඩනගා ගැනීම තරමක් සංකීර්ණ කටයුත්තක් වුණා. වෙඩ්ඩාගේ රචනාවට හානියක් නොකර, පාඨකයාගේ පරිකල්පනයටද බාධා නොකර ඒවා පොතට ඇතුළත් කිරීම ඒදණ්ඩේ යනවා මෙන් අසීරු කටයුත්තක් වූ බව නම් මතක් කළ යුතුයි.
හැකි තරම් සරලව හා රචනාවේ එන සිදුවීම් සමඟ ළඟ සම්බන්ධයක් ගොඩ නොනැගෙන පරිදි ඒවා සම්පූර්ණ කිරීමයි අපේ අරමුණ වුණේ. මින් පෙර නවකතා සහ කෙටිකතා පොත් සඳහා මෙවැනි රූප භාවිතා කළ අවස්ථා පිලිබඳව ද යම් සොයා බැලීමක් කරන්න අපට සිදු වුණා. මෙහි එන සියලුම සිතුවම් අවම වශයෙන් තෙවරක්වත් නැවත නැවත වෙනස්කම්වලට භාජනය වෙමින් සංස්කරණය වන්නට ඇති.
කාමර සිගරට් දුමෙන් පුරවමින්, කෙටි කතා එකින් එක නැවත නැවත කියවමින්, කටුසටහන්වලින් කොල පුරවමින් ගත කළ රාත්‍රීන් බොහොමයක ඵල ඔබට මෙහි කවරයේත් ඇතුල් පිටු අතරේත් හමුවේවි.
mooniak අපි