'අඹ යාළුවෝ', 'මඩොල්දූව' වැනි යුගයක් අමරණීය කළ සුන්දර මතක තැනූ සුදත් දේවප්‍රියගේ නවතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වන 'හඳයා' ලබන මස පළමු වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30ට හිරු ටී.වී. තුළින් විකාශය කෙරේ.
වර්ෂ 1979දී සිනමා ආදායම් වාර්තා තබමින් තිරගත වූ 'හඳයා' හෙළ සිනමාවේ දැවැන්තයෙකු වූ ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානනීය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ඉතාලියේ ලෝක ළමා චිත්‍රපට උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙසින්ද මෙරට පැවැති සිනමා උලෙළයන්හි ප්‍රධාන සම්මානයන්ටද පාත්රවිය. 'හඳයා' ටෙලිනාට්‍යය නිර්මාණය කෙරෙන්නේද 'හඳයා' චිත්‍රපටය ඇසුරු කරගනිමිනි.
1979 සිටි දරු පරපුර විඳි අභියෝගයන්ට වඩා වැඩි අභියෝග රාශියකට මුහුණ දෙන වර්තමාන දරු පරපුර උත්තේජනය කිරීම වෙනුවෙන්, සමාජ සාරධර්ම දරුවන්ට කියාදීම අරමුණු කරගනිමින් 'හිරු ටී.වී.' නවතම නිෂ්පාදනයක් වශයෙන් 'හඳයා' කරළියට ගෙන එනු ලැබේ. 'හඳයා' චිත්‍රපට නිර්මාණය තුළ කතාබහ කළ ජයග්‍රහණය, ශක්තිය, අභියෝග, ආදරය යන තේමාවන් එලෙසම ගනිමින් මෙම ටෙලි නිර්මාණය හිරු ටී.වී. වෙතින් වර්තමාන ළමා පරපුරට දායාද කරයි.
විශේෂයෙන්ම මෙහි අරමුණ වනුයේ, වර්තමාන සංකීර්ණ ප්‍රශ්න හමුවේ ළමයාට ළමා කාලය අහිමි වීම, ආදරය, සෙනහස, රැකවරණය අහිමි වීම, වත්මන් සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුබිම තුළ ඇතිවන ප්‍රතිඵලය, කොළඹ කේන්ද්‍රීය නගරවාසී, පැල්පත් දූදරුවන්ගේ ජීවිත තුළ සැබෑ ප්‍රශ්න මතුකරමින්, ළමයින් කවුද? සහ ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගැනීම මෙන්ම ඒවාට පිළියම් සොයා දී දරුවන්ගේ ඇතුලාන්තය සන්තර්පනය කිරීමයි.
'හඳයා' සිනමා පටයේ සිටි චරිතවලට අමතරව එහි අදහස සහ මුඛ්‍යාර්ථයට හානි නොවන සේ අලුත් චරිතයන්ද මුසු කරගනිමින් දරුවන්ගේ ජීවිතවලට පැමිණෙන අභියෝගයන්ට පිළිතුරු ලබාදෙන නාට්‍යක් වශයෙන් 'හඳයා' නාට්‍යය නිර්මාණය වීමද මෙහි විශේෂත්වයකි.
මේ සඳහා දයාදේව එදිරිසිංහ, කුමාර තිරිමාදුර, සරත් කරුණාරත්න, දිලිනි ලක්මාලි තිරිමාන්න, නිමන්ති පෝරගේ, දිමුතු චින්තක යන නළු නිළියන් සමග හඳුන්වා දෙන දක්ෂ ළමා නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.