ඩෙඩ්පූල් 2 චිත්රපටය රූගත කරමින් සිටියදී සිදුවූ යතුරුපැදි අනතුරකින් ස්ටන්ට්කාරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැනඩාවේ, වැන්කූවර් නගරයේදී මෙම රූගත කිරීම් සිදුව ඇති අතර, කැනේඩියානු පොලීසිය මෙම කරුණු තහවුරු කළේය. එමෙන්ම, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔවුහු පැවසූහ.
ඇසින්දුටු සාක්ෂිකරුවන් පවසා සිටියේ යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වූ එම කාන්තාව, මාර්ගයේ වූ ගැටියක වැදී අසල වූ ගොඩනැගිල්ලක් වෙතට වේගයෙන් වීසිවී ගොස් තිබේ.
චිත්රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධව සිටි කැනේඩියානු රංගන ශිල්පී රයන් රෙනෝලඩ්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, "ඩෙඩ්පූල් රූගත කරමින් සිටියදී අපේ කණ්ඩායමේ සගයෙකු ඉතා අවාසනාවන්ත ලෙස අපෙන් සමුගත්තා."
"අපේ හදවත් සසල වෙලා. මේ සිදුවීම අදහාගත නොහැකියි. අතිශය කණගාටුදායකයි. නමුත්, මේ මොහොතේ ඇයගේ පවුලේ සහ ඇයගේ ආදරවන්තයන් සමග මේ කනගාටුදායක අවස්ථාව බෙදාගැනීම හැර අපට කිරීමට කිසිවක් ඉතිරිවෙලා නැහැ."
මේ අතර, චිත්රපටයේ නිෂ්පාදක ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් පවසා සිටියේ, "මේ අතිශය අසීරු අවස්ථාවේදී අපේ හදවත් සහ අපේ කනගාටුව බෙදාගැනීම ඇයගේ පවුලේ අය, හිතවතුන් හා සමීපතමයන් සමගයි" යනුවෙනි.