නව බදු පනත මඟින් සංගීත. සාහිත්‍ය, වේදිකා හා සිනමා යන ක්ෂේත්රයන් සඳහා එතෙක් තිබු බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් එම කලා කර්මාන්තකරුවන්ගෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදල් හා මාධ්‍ය අමත්‍යංශ ප්‍රකාශකයකු පවසා සිටියේ යම් නිෂ්පාදන ක්‍රියාවලියකින් ලාභ උපයන්නේ නම් ඒ සඳහා රජයට ආදායම් බදු ගෙවීම රටේ පොදු ප්‍රතිපත්තියක් බවත් ඒ අනුව මෙරට සියලු පුරවැසියන් ඊට බැඳී ඇති බවත් ය.
කලා ක්ෂේත්රය සම්බන්ධයෙන් වුවත් එය එසේම විය යුතු බව පෙන්වා දෙන ඔහු කලා නිෂ්පාදන වලින් අධික ලාභ ලැබීම මෙරට සිදු නොවන බැවින් කලාකරුවන්ට යම් බදු සහන අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා කොට ඒ සහන ලබා ගැනීමේ හැකියාවක් තිබිය හැකි බවත් පවසා ඇත.
නව බදු පනතින් සාහිත්‍ය කෘතියක අලෙවියෙන් ලබන ආදායමින් සියයට 50 ක බදු සහනය, වේදිකා නාට්‍යයක පළමු වසරේ ආදායමෙන් සියයට 50 ක බදු සහනය, අන්තර්ජාතික සම්මානයට පාත්රවන සිනමා හෝ වේදිකා නාට්‍යයක් වසර 5 ක් දක්වා ලබන ආදායමින් සියයට 50 ක බදු සහනය, ගීතයක ගීත රචකයා සංගීත අධ්යක්ෂවරයා ගායන ශිල්පියා ලබන ආදායමට බදු සහනත් රුපියල් මිලියන 5 ට වැඩි නිෂ්පාදන පිරිවැයක් සහිත සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදන සුදුසුකම් ලබන දීමනාවක් ලෙස බදු සහනය ද අහිමි ව ඇතැයි කලාකරුවන් පවසති.
එසේම සිනමා ශාලාවක් ඉදිකිරීමේදී ලබා දී තිබු සහන ද අහෝසිව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.