හොලිවුඩ් පුරවරයේ දැවැන්ත චරිතයක් වන චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට දිනෙන් දිනම අලුතෙන් ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ලවෙමින් පවතී.
ඇන්ජලීනා ජොලී (Angelina Jolie) සහ ග්විනත් පල්ට්රෝ (Gwyneth Paltrow) ඇතුළු හොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම නිළියන් ඇතුළු නිළියන් ගණනාවක් පසුගිය සතිය ඇතුළත ලිංගික හිංසන චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ඔහු විසින්ම නිර්මාණය කරන ලද 'ද වයින්ස්ටයින් සමාගම' (The Weinstein Company) විසින් හාවි වයින්ස්ටයින් (Harvey Weinstein) සිය සමාගමෙන් ඉවත් කර තිබේ.
ජනප්‍රිය ඇමෙරිකානු නිළියක වන රෝස් මැක්ගොවන් (Rose McGowan) ඔහුට එරෙහිව සිකුරාදා (ඔක්තෝබර් 13) එල්ල කළ දූෂණ චෝදනාව මේ ආන්දෝලනයේ අලුත්ම වාර්තාවය.
ට්විටර් පණිවුඩ ගණනාවක් මගින් සිය චෝදනාව එල්ල කරන හොලිවුඩ් නිළිය, තමන් ඒ පිළිබඳව චෝදනාව මුලින්ම එල්ල කළ අවස්ථාවේ එය නොසලකා හැරි බවට ඇමසෝන් ස්ටුඩියෝ (Amazon Studio) හි ප්‍රධානී රෝයි ප්‍රයිස් (Roy Price) වෙත ද චෝදනාවක් එල්ල කොට තිබේ.
චිත්‍රපට නිෂ්පාදිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට රෝයි ප්‍රයිස් ද අනිවාර්ය නිවාඩු යවා තිබේ.
හාවි වයින්ස්ටයින් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, රෝයි ප්‍රයිස් මෙතකේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත.
මේ අතර හාවි වයින්ස්ටයින් එරෙහි චෝදනා පිළිබඳව බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය විශේෂ විමර්ශන කිහිපයක්ම දියත් කොට තිබේ.
ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අමතමින් ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කළ රෝස් මැක්ගොවන් නිළිය, සිය චෝදනා නොතකා හාවි වේන්ස්ටයින් සමග දිගටම ගනුදෙනු කිරීම පිළිබඳව සමාගම දැඩි විවේචනයට ලක් කර තිබේ.
"වයින්ස්ටයින් මාව දූෂණය කළා කියල ඔබේ ස්ටුඩියෝ එකේ ලොක්කට මම කීව," ඇය සඳහන් කරයි. "දිගින් දිගටම කිවුව. ඒක ඔප්පු වෙලා නෑ කියල ඔහු කිවුව. මම කිවුව මම තමයි සාක්කිය කියල."
මේ අතර පරුෂ වචන පවා යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ ඇය එල්ල කළ චෝදනා හමුවේ ඇයගේ ට්විටර් ගිණුම තාවකාලිකව අවහිර කරනු ලැබීමෙන් අනතුරුව #WomenBoycottTwitter හෑෂ්ටෑගය යොදාගනිමින් ඇතැම් කාන්තාවෝ ට්විටර් වර්ජනයක ද නිරතව සිටිති.
වයින්ස්ටයින්ට එරෙහි චෝදනා පිළිබඳව ද නිව්යෝකර් (The New Yorker) සඟරාව පළ කළ ගවේෂණාත්මක වාර්තාවක් ප්‍රකාර කාන්තාවන් තිදෙන් මීට ඉහතදී ඔහුට දූෂණ චෝදනා එල්ල කොට තිබේ.
ඉතාලි ජාතික ආසියා අර්ජෙන්තො (Asia Argento), එවකට නිළියක වීමට උත්සාහ දැරූ ලුසියා එවන්ස් (Lucia Evans) සහ සිය අනන්‍යතාව හෙළි නොකළ කාන්තාවක් ඒ තිදෙනාය.
1990 සහ 2015 අතර කාලයේදී හාවි වයින්ස්ටයින් තමන්ට ලිංගික හිරිහැර හෝ අතවර කළ බවට තවත් කාන්තාවන් දස දෙනෙකු ලිපියේ කතුවරිය සමග පැවසූ බවත් සඟරාව වාර්තා කොට තිබේ.
පසුගිය ඔක්තෝබර් 05 වෙනි දින වයින්ස්ටයින්ට එරෙහි ලිංගික අතවර චෝදනා මුලින්ම වාර්තා කරනු ලැබුවේ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) පුවත්පත විසිනි.
සිය ප්‍රකාශකයෙකු මාර්ගයෙන් එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ වයින්ස්ට් අවධාරණය කරන්නේ ඕනෑම කාන්තාවක සමග තමන් ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් බවය.
බීබීසී සන්දේශය ඇසුරෙනි